14
අප්‍රේල්
18

සමබිම, පෙරසම, සර්පයා සහ පුක් ගැසීමට රාජ්‍ය අනුග්‍රහය

මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්‌ඩායමක්‌ ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීමට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස්‌ ආකාරයකට සැලකීම වැළැක්‌වීමය. කෙසේ වෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හඳුන්වන වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත කණ්‌ඩායම් වෙනුවෙන් බව සඟවන්නේ නැත. දෙවැනි සංවිධානය සෘජුව එම සමාජ කණ්‌ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුහු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්‌වරයෙන් ලිපියක්‌ උන්වහන්සේ වෙත යෑවීමට පවා දිරිමත් වූහ. (2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක්‌ අප සතුව ඇත. )

එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැඳින්වෙන පුද්ගල සමූහයන්ට ස්‌ත්‍රී, පුරුෂ සමලිංගිකයන්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස්‌ හා ලිංග බේදය වෙනස්‌ කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්‌තියෙන් හුවා දක්‌වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්‌ෂණ අනුව එම ප්‍රතිශතය 3% වේ. බොහෝ විට එම ඉහළ ප්‍රතිශතය සාධාරණීයකරණය කෙරෙන්නේ ඕනෑම සමාජයක කුමන හෝ මානසික ආබාධවලින් පෙළෙන 10% පමණ සිටින බවට හෙළිදරව් වී ඇති දත්ත අනුවය. ඒ මගින් වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් යම් මානසික ආබාධවලින් පෙළෙන බව පිළිගැනෙයි. පසුගිය 90 දශකය තෙක්‌ ලෝකයේ ප්‍රමුඛ මනෝ වෛද්‍ය සහ මනෝවිද්‍යා සංගම් විසින් ඒ බව පිළිගනු ලැබීය. ඊට අනුව මානසික සහ පෞරුෂ ආබාධ වර්ගීකරණය කිරීම ද සිදුවිය.

නමුත් මෑත කාලීනව විශාල දේශපාලන බලයක්‌ සහිතව එල්.ජී.බී.ටී කණ්‌ඩායම් විසින් දියත් කරන ලද විරෝධතා සහ මතවාදී සටන් නිසා දැන් එම පිළිගැනීම් වෙනස්‌ වී ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණයන් ද වෙනස්‌ විය. එම නිසා පොදුවේ සමලිංගික කණ්‌ඩායම් ලෙස හඳුන්වන ලිංගික හැසිරීම්වල වෙනස්‌කම් සහිත එම සමාජ කණ්‌ඩායම්වලට අයත් වන පුද්ගලයකු විසින් පෙන්වන මානසික හෝ පෞරුෂ ආබාධ හෝ මත් ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධ ආදිය එම ලිංගික හැසිරීම් වලින් ව්‍යqක්‌තව නිර්වචනය කෙරෙයි. එසේ වුවත් විවිධ මානසික චිකිත්සාගාරවලට පැමිණෙන රෝගීන් සහ විවිධ පර්යේෂණ අනුව මෙම වෙනත් ලිංගික හැසිරීම් සහිත පිරිස්‌ ඉතා බහුලව මානසික හෝ පෞරුෂ ආබාධ වලින් පෙළෙන බවට පැහැදිලිව ඔප්පු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට වෙනස්‌ හෝ විෂම ලිංගික හැසිරීම රෝගී තත්ත්වයක්‌ නොවන බව තහවුරු කිරීම සඳහා ප්‍රබල උවමනාවක්‌ සහිත රාජ්‍ය නොවන සංවිධාන රාශියක්‌ ලෝකයේ ක්‍රියාත්මක වේ. එම සංවිධාන මගින් ගොඩනගන සමාජ මතය අනුව එම පිරිස්‌වලට මානසික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නොවේ. එනම් ඔවුන් “ලිංගිකත්ව අවධාරණය- අනුව වෙනස්‌ පුද්ගලයින් පමණි. එසේ නම් අවශ්‍ය වන්නේ ඒ වෙනස්‌ පුද්ගලයන්ට සෙසු අයට මෙන් සමානව සැලකීමය. එම මූලික තර්කය පිළිබඳව විශාල ගැටලුවක්‌ පැනනැඟෙන්නේ නැත. එනම් වෙනස්‌ චර්යාවන් සහිත පුද්ගලයන්ට වෙනස්‌කම් කිරීමෙන් වැළකී සිටීම දියුණු මිනිස්‌ ගුණාංගයකි. විශේෂයෙන් එම වෙනසට යම් ජානමය හේතු බලපාන බවට විද්‍යාත්මක සාක්‌ෂි ඉදිරිපත්ව තිබෙන බැවින් එම පිරිස්‌වලට කරුණාව, මෛත්‍රිය දැක්‌වීම සහ සමානව සැලකීම පිළිබඳව බෞද්ධ සභ්‍යත්වය විසින් මෙහෙයවන සමාජයක්‌ තුළ ගැටලුවක්‌ පැනනඟින්නේ නැත.

 

නමුත් එසේ සමානව සැලකීම මගින් පමණක්‌ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔවුන්ගේ පුද්ගලික ගෞරවයට හානියක්‌ නොවන ලෙස සහ රහස්‍යභාවය ආරක්‌ෂා වන ලෙස යම් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක්‌ ලබා දීම ද අවශ්‍ය වේ. ජනගහනයෙන් 3% ට පමණ විය හැකි එම පිරිසට විධිමත්ව මානසික සෞඛ්‍ය සේවා සැපයීම මගින් පොදු සමාජයට ද විශාල යහපතක්‌ සිදුවේ. විශේෂයෙන්ම සමාජ විරෝධී පෞරුෂ ආබාධයකින් පෙළෙන යම් පුද්ගලයෙක්‌ විසින් සමාජයට කළ හැකි හානිය අතිමහත් විය හැක. ඒ නිසා බදු ගෙවන ජනතාව එම සේවා කටයුතු සඳහා කරනු ලබන වියදම් සැබෑ ලෙසම සමාජ ආයෝජනයකි. එසේම යම් පෞර්ෂ ආබාධයකට ගොදුරු වී සිටින වෙනස්‌ ලිංගික හැසිරීමක්‌ සහිත පුද්ගලයෙක්‌ට සමාජය විසින් වෙනස්‌කම් සිදු කළහොත් ඒ පුද්ගලයා තුළ පවතින සමාජ විරෝධී මනෝභාවය තවදුරටත් වර්ධනය විය හැක. එවැනි තත්ත්වයකදී ඔහු විසින් සමාජයට කරනු ලබන හානිය ඉතා බලවත් විය හැක. ලෝකයේ සමූල ඝාතනවලට යොමු වූ පුද්ගලයන් පිළිබඳ කරනු ලැබූ යම් පර්යේෂණ අනුව ඒ අයගෙන් 30%ක්‌ පමණ ජානමය හේතු නිසා ඇති වන සැක ඉපදවීමේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයයි. තවත් එවැනිම පිරිසක්‌ විවිධ පෞරුෂ ආබාධ වලින් පෙළෙන අතර තවත් පිරිසක්‌ විෂම ලිංගික හැසිරීම් නිසා ඇතිවන පෞරුෂ ආබාධ වලින් පෙළෙන අය බවට ද පර්යේෂණ සාක්‌ෂි ඇත. ඕස්‌ටේ්‍රලියාව සහ ඇමරිකාව වැනි රටවල මානසික වෛද්‍යවරුන් ඒ ආශ්‍රිතව පර්යේෂණ සිදුකොට ඇත. ඒ අනුව විෂම ලිංගික හැසිරීම් නිසා මානසික හෝ පෞරුෂ ආබාධයන්ට ලක්‌වන පිරිස්‌වලට සමාජය විසින් අයුතු ලෙස හෝ අසමානව සැලකීම සමස්‌ත සමාජයටම ඉතා හානිකර විය හැක. නමුත් එවැනි තත්ත්වයක්‌ වැළැක්‌වීම සඳහා උපාය උපක්‍රම තේරීමේදී ඉතා පරිස්‌සම් විය යුතු බවට සැකයක්‌ නැත.

උදාහරණයක්‌ ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමට ජානමය හේතු බලපාන බව විද්‍යාත්මක සත්‍යයකි. එවැනි දරුවකු කුඩා කල සිට මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ එම හැසිරීමෙන් මිදීමට නොහැකි සමාජ සංස්‌කෘතික පරිසරයක ජීවත් වන විට ඔවුහු මත්ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධවලට ගොදුරු වේ. එසේම මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන සංස්‌කෘතියකදී ජානමය බලපෑමක්‌ නොමැතිව වුවද පුද්ගලයකු ඊට ගොදුරු විය හැක. ඒ ආකාරයට ජානමය හේතුවක්‌ නොමැතිව වුවද සමලිංගිකත්වය සාමාන්‍ය චර්යාවන් ලෙස උගන්වන සමාජයක දී කුඩා දරුවන් එම චර්යාවන් අත්හදා බැලීමට මෙන්ම ඊට පුරුදුවීමට ද හැකියාවක්‌ ඇත. එම නිසා ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ ඉහත සඳහන් කළ මහා පින්තූරය සැලකිල්ලට ගනිමිනි.

“සමාන බව සිතන්න” නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ලෙස්‌ලි උඩ්වින් මහත්මිය චිත්‍රපට තිරපිටපත් ලියන්නියක්‌ මෙන්ම අධ්‍යක්‌ෂකවරියක්‌ ලෙස ද කටයුතු කොට ඇත. නමුත් ඇයට මනෝ වෛද්‍ය හෝ මනෝ විද්‍යා ක්‌ෂේත්‍රයේ ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ හෝ අත්දැකීම් තිබෙන බවක්‌ වාර්තා වන්නේ නැත. ඇයට අනුව සමාජය තුළ සමලිංගිකත්වය ඉවසීමට දරුවන් පුහුණු කළ යුත්තේ වයස අවුරුදු 3 සහ 7 ත් අතර කාලයේදීය. ඇයගේ ප්‍රකාශ අනුව සමලිංගිකත්වය පිළිබඳ දැනුම ඒ දරුවන්ට ලබාදීම සඳහා නාට්‍යානුසාරයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීම් වැනි විවිධ නිර්මාණශීලී ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. එම ක්‍රමවේද අනුව සමලිංගිකත්වය සහ අසමලිංගිකත්වය අතර වෙනස කියා දීමට සිදු වෙයි . එමෙන්ම ඊට අදාළ ජීවවිද්‍යාත්මක හා චර්යාමය පැතිකඩ ගැන ද ඒ කුඩා දරුවන්ට ඉගැන්වීමටද සිදුවනු ඇත. එවැනි කුඩා වයසකදී ඒ දැනුම ලබාදීමේ ක්‍රියාකාරකම් අත්විඳින දරුවන්ගේ මානසික ස්‌වභාවය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳව පර්යේෂණ දත්ත සොයා ගැනීමට නැත. එම සංවිධානය දීර්ඝකාලීනව එවැනි පර්යේෂණවල නියුක්‌තවී නැත.

සමාන බව සිතන්න සංවිධානයේ ප්‍රධානියා සහ එම සංවිධානය ප්‍රචලිත කරන “සමලිංගික තානාපතිවරුන්ට” අනුව පසුගිය වසර දෙක ඇතුළත ලෝකයේ යම් රටවල මෙම අධ්‍යාපන වැඩසටහන් කුඩා නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කොට ඇත. එහෙත් ඔවුන් ඒවායේ ප්‍රතිඵල හෝ පසුවිපරම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත. නමුත් ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙහෙයවනු ලබන වැඩසටහන ලෝකයේ දියත් කෙරෙන පළමු මහා පරිමාණ වැඩසටහන ලෙස හැඳින්විය හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ කිසිදු නියමු ව්‍යාපෘතියක්‌ හෝ පර්යේෂණ කාලයකින් තොරව එකවරම මහා පරිමාණ වැඩසටහන් දියත් වේ. එමගින් ශ්‍රී ලංකාව පුරා පෙර පාසල් 19,000 ක්‌ සහ ප්‍රාථමික පන්ති සහිත පාසැල් 9000 ආවරණය වේ. මෙම සමලිංගික අධ්‍යාපන වැඩ සටහනේ පළමු පියවර සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනටමත් ආරම්භ කොට ඇත. එහි පළමු වටයේදී ඊට සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර පාසැල් ගුරුවරුන් බව වාර්තා වේ. පුවත්පත්වල පළ වූ එම ගුරුවරුන්ගේ ප්‍රකාශ අනුව මුල් වටයේ දී එම දැනුම සහ ක්‍රියාකාරකම් යොදා ගැනීම අපහසු වුවත් පසුව ක්‍රමයෙන් ඔවුන් ඊට අනුගත වී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක එවැනි ගුරුවරියක්‌ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ එම පාසල තුළ දැන් ගැටලුවක්‌ නැතිව මේ වැඩසටහන ආරම්භ කොට ඇති බව ය. එසේ වුවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හෝ එය අධීක්‌ෂණය කෙරෙන ආකාරය හෝ කළමනාකරණය හා පසුවිපරම් කරන ආකාරය ඉතා රහසිගත තොරතුරු බව පෙනේ. ඊට අදාළ අනුමැතිය ලබාගත් සහ ලබාදුන් පුද්ගලයකුගේ හෝ වැඩසටහන අධීක්‌ෂණය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ නැත. එසේම අඩු මතරමින් එම ව්‍යාපෘතිය දියත් කොට ඇති පුද්ගලික ජාත්‍යන්තර පාසල්වල හෝ එවැනි ආන්දෝලනාත්මක වැඩසටහනක්‌ දියත් කිරීමේදී පෙන්විය යුතු සැලකිලිමත්භාවය දක්‌නට ලැබෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා දෙමාපියන් දැනුම්වත් කිරීමක්‌ හෝ සිදුකළ බව වාර්තා වන්නේ නැත. එවැනි පර්යේෂණාත්මක වැඩසටහන් සඳහා දරුවන් යොදා ගැනීමේදී දැනුම්වත් කිරීමක්‌ පමණක්‌ සෑහෙන්නේ නැත. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබාගත යුතුය. එසේ නොකිරීම මගින් පෙනී යන්නේ මෙම වැඩසටහන් ඉතා බලවත් ආකාරයට දියත් කෙරෙන බව ය. ඊට අමතරව ගුරුවරුන් ඊට දායක කර ගැනීම සඳහා අතපය දිගහැර වියදම් කරන බවට සැකයක්‌ නැත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත්කරන ආන්දෝලනාත්මක වැඩසටහන්වලදී ඊට එරෙහිව කෙරෙන සමාජ විරෝධය සමනය කිරීම සඳහා එම ව්‍යාපෘතිවල පිරිවැයෙන් විශාල කොටසක්‌ වෙන්කෙරේ. ශ්‍රී ලංකාවේ දී එම තත්ත්වය වඩා ප්‍රබල විය හැක්‌කේ අදාළ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවීම නිසා ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය තුළ දරුවන්ට සහ ගුරුවරුන්ට මෛත්‍රිය කරුණාව සහ සමානව සැලකීම ගැන ඉගැන්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනීම නම් හාස්‍යජනක තත්ත්වයකි. මෙම ව්‍යාපෘතිය සාධාරණීයකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්‌ෂණයක ප්‍රතිඵලද වැරදි ආකාරයට භාවිතාවේ. ඊට අනුව ලංකාවේ පාසල්වල “බුලින්” හෙවත් බලහත්කාරී හැසිරීම ඉතා බහුලව පැතිරී ඇත. ඊට හේතුව ලෙස දැක්‌වෙන්නේ පැසැල් දරුවන් අසමානයන්ට සමානව සැලකීමට නොදැනීමය. ඒ නිසා දැන් ජාත්‍යන්තර සංවිධාන අවශ්‍ය වන්නේ එම අඩුව පිරවීම සඳහා ය. දරුවන්ගේ බලහත්කාරී හැසිරීම් අවම කිරීම සඳහා සමලිංගිකත්වය අවධාරණය වන ආකාරයට සමාජයේ 3% ප්‍රතිශතයක පවතින චර්යාමය වෙනකම් පිළිබඳ මහාපරිමාන අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කුමක්‌ නිසාද? මෛත්‍රිය, කරුණාව ගැන ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීම සඳහා සමලිංගිකත්වය පිළිබඳ විශේෂ අවධාරණයක්‌ අවශ්‍යවන්නේ නැත.

මෙම වැඩ සටහනේ යටි අරමුණ තේරුම් ගැනීම සඳහා ඒ ආශ්‍රිත සමස්‌ත ක්‍රියාවලිය විමසා බැලිය යුතුය. මීට පෙර වෛද්‍යවරුන් ලවා සමලිංගිකත්වය නීතිගත කිරීමේ වැදගත්කම පුවත්පත් හරහා අවධාරණය කිරීම සඳහා ව්‍යාපෘතියක්‌ දියත් විය. යම් පිරිස්‌ විවිධ තාක්‌ෂණික කරුණු ඉදිරිපත් කරමින් සමලිංගිකත්වය ස්‌වභාවික තත්ත්වයක්‌ බවත් එය නීති ගත නොකිරීම නිසා ඒඩ්ස්‌ හෙවත් HIV ආසාදනය පැතිරීම වැඩි වීමේ අවධානමක්‌ තිබෙන බවද සඳහන් කළහ. ඊට අමතරව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට පවා සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය. ඒ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී විසින් සමලිංගිකත්වය නිර්අපරාධකරණය කිරීම සඳහා රජයට බලපෑම් කරයි. සමලිංගික හැසිරීම් අශීලාචාර හැසිරීමක්‌ ලෙස දණ්‌ඩ නීති සංග්‍රහයේ වරදක්‌ ලෙස දක්‌වා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අයට සමාජයේ බහුතරයක්‌ මිනිසුන් විසින් අසාධාරණකම් කරන බවක්‌ වාර්තා නොවේ. ඒ අනුව නැති ප්‍රශ්නයක්‌ මවන්නේ එම හැසිරීම් සාමාන්‍යකරණය කිරීමට සහ නීතිගත කිරීමට නොවේද? මේ වන විට ආසියාවේ එකම රටක්‌ හෝ සමලිංගිකත්වය නීති ගතකොට නැත.

මීට පෙර 2003 දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව විසින් කෙටුම්පත් කිරීම ආරම්භ කොට පසුව 2005 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීමේ- පනත මගින් ඉටු කරගැනීමට අපේක්‌ෂා කළ යටි අරමුණු මෙම වැඩසටහනේ යටි අරමුණට බොහෝ දුරට සමාන වේ. එම පනතේ ලේබලය අනුව පවුල්වල භාර්යාවන් හා සැමියන් අතර සිදුවන අඬදබර වැළැක්‌වීම එහි මූලික අරමුණ වේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් ගැටුම් වැඩීවීම සහ ඒ තුළින් දික්‌කසාද වීමට ඇති පෙළඹවීම වැඩි වීමයි. කෙසේ වෙතත් එම පනත ශ්‍රී ලංකාවේ පවුල් කඩා ඉහිරවීමේ පනතක්‌ බව තේරුම් ගත් මහින්ද රාජපක්‌ෂ මහතා එය අත්හිටුවීය. ඊට සමානව සමලිංගිකයන්ට සමානව සැලකීම පුරුදු කිරීමේ උත්සාහය තුළින් අපේක්‌ෂා කරන්නේ එම හැසිරීම් සමාජය තුළ හුවා දැක්‌වීම මගින් පවතින සමාජීය වටිනාකම්වලට අභියෝග කිරීම නොවේද? ඊට අමතරව ක්‍රියාකාරකම් යොදා ගනිමින් ලබාදෙනවා යෑයි කියන සමලිංගිකත්වය පිළිබඳ ඊනියා අධ්‍යාපනය මගින් සිසු දරුවන්ට ඇතිවන මානසික බලපෑම කුමක්‌ වනු ඇතිද? මේ වනවිට ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල රාජ්‍ය ලේඛනවල මව සහ පියා වශයෙන් තොරතුරු ලබාගන්නේ නැත. ඒවායේ සඳහන් වන්නේ “පළමු දෙමාපිය” සහ “දෙවැනි දෙමාපිය” වශයෙනි.- ඒ සමලිංගික විවාහය සාධාරණීයකරණය කිරීම සඳහාය. ශ්‍රී ලංකාව ද දැන් ගමන් කරන්නේ ඒ දෙසට නොවේද?

 

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්‌ඩාර

– Divaina

Advertisements


අනවශ්‍ය දේවල්

  • 182,167 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2018
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: