04
මාර්තු
18

ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව සහ රෝහණ විජේවීර.

77’ සිට 83’ ජුලි තහනම දක්වා ජවිපෙ ගමන් මඟ
ධර්මන් වික්‍රමරත්න         

 ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරමින් තාවකාලික මධ්‍යම කමිටුවක් 1975 මාර්තු 18වැනිදා පිහිටුවන ලදී. රෝහණ විජේවීර එහි සභාපතිවූ අතර වැඩබලන ලේකම් වූයේ උපතිස්ස ගමනායකය.

වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සියළුම සැකකරුවන්ට විරුද්ධව නඟා තිබූ චෝදනා අපරාධ යුක්ති විනිශ්ව කොමිසම මගින් විභාගකර මුළුමනින්ම අවසන් වූයේ 1976 නොවැම්බර් 4වැනිදාය. අවසාන නඩුව වූයේ දැදිගම ජී කුලරත්න සහ ඩබ්ලිව් ඒ. සීමන්ට එරෙහිවය. අපරාධ යුක්ති විනිශ්ච කොමිසම යටතේ  වසර 2 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිරදඬුවම් විදි සංඛ්‍යාව 248කි. ඔවුහු උපන් දිස්ත්‍රික්ක වශයෙන් ගාල්ල 46, මාතර 42, අනුරාධපුර 38,  කොළඹ 25, කෑගල්ල 25, කුරුණෑගල 18, මොනරාගල 14, හම්බන්තොට 10, රත්නපුර 8, යාපනය 7, පොලොන්නරුව 5, වව්නියාව 2, පුත්තලම 3, බදුල්ල 2, අම්පාර 2 සහ නුවරඑළිය 1 වශයෙන් වේ.

ධර්මන් වික්‍රමරත්න විසිනි.

අප්‍රේල් කැරැල්ලට සහභාගිවීම නිසා රැකියා ආදී අහිමිවූ තරුණ තරුණියන්ට පිලිසරණක් වීමට යැයි කියමින් අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පුත්‍රයාවන අනුර බණ්ඩාරනායක විසින් සහයෝගිතා පෙරමුණ නමින් සංවිධානයක්ද පිහිටුවා ගන්නා ලදී. එවකට අනුර බණ්ඩාරනායක ශ්‍රිලනිප තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සහ ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ තරුණ කටයුතු උපදේශක විය. එම සහයෝගිතා පෙරමුණේ සම ලේකම්වරුන් වූයේ ආරිය බුලේගොඩ සහ නවරත්න බණ්ඩාය. එහි කාර්යාලය කොළඹ ගාලු මෝදර අංක 49/15 දරණ ස්ථානයේ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටා තිබුණි.

කොළඹ කිරුළ පාරේ අංක 65/4 දරන ස්ථානයේදී 1977 පෙබරවාරි 19වැනිදා ජවිපෙ විසින් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථමවරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ජවිපෙ ප්‍රකාශයට පත්කළේ ඉදිරි මහා මැතිවරණයේදී ජවිපෙ තරඟකරන බවය. ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් කල බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ මුලසුන දැරූ ජවිපෙ වැඩබලන ලේකම් උපතිස්ස ගමනායක එහිදී කියා සිටියේය. පාදුක්ක වේරගලදී 1948 ඔක්තෝබර් 17වැනිදා උපන් ගමනායක හැදී වැඩුනේ කන්තලේ ගොවි ජනපද ආශිතවය.  ගමනායක කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවෙකුව සිටියදී අප්‍රේල් කැරැල්ලට අත්අඩංගුවට පත්ව මාස 6ක් රිමාන්ඩ් බාරයේ සිටි අතර පසුව නිදහස් විය.  පසුව පූර්ණකාලීනව 1971දීම යළිත් ජවිපෙට එක්වූ ගමනායක කැරැල්ලෙන් විපතට පත් ජවිපෙ පවුල්වල සුභසාධනය සඳහා අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ගණනාවක් දියත් කළේය. එහි අරමුදල් තරකර ගැනීම සඳහා යටියන්තොට මලල්පොල පාරේ වතුයායක වැටුප් සඳහා රැගෙන ආ රුපියල් 40,000ක මුදලක් මංකොල්ල කෑමේදී අවිස්සාවේල්ල සාලාව කම්හලේ කලක් සේවකයෙකුව සිටි කොට්ටාවේ මාලපල්ල පදිංචි විතානගේ ධර්මසේන(ඉතාලි ධර්මේ නමින් පසුකාලීනව ඉතාලියේදී හැදින්වූයේ ඔහුය.) සමඟ යටියන්තොටදී 1973 අත්අඩංගුවට පත්විය. පොලිස් සාජන්ට් කුමාරගේ ඝාතනය කිරීමට තැත් කිරීම, වතු වැටුප් කොල්ලකෑමට තැත් කිරීම ඇතුළු චෝදනා මත ගමනායක සහ ධර්මසේනට එරෙහිව අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු පැවරූ අතර පසුව 1976දී ඔවුහු නිදහස් විය. එම නඩුවට ගමනායක වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ බාලා තම්පෝ ඇතුළු නිතිඥයින්ය. 

71 කැරැල්ලේ සිරදඬුවමින් 1977 නොවැම්බර් 2 නිදහස්වූ විජේවීර 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගරසභා පිටියේදී ජනතාව අමතමින්.

එම ජවිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවට ජවිපෙ තරුණ ලීගයේ ලේකම් කෙලී සේනානායක, කාන්තා විප්ලවීය සංගමයේ ලේකම් වල්පොල බටුවත්තේ පදිංචි උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලීද, සෝමවංශ අමරසිංහද සහභාගි විය. කැරැල්ලේ 26වැනි විත්තිකරුවූ කෙලී සේනානායක 1971 මාර්තු 13වැනිදා විජේවීර සමඟ අම්පාරේ අත්අඩංගුවට ගනු ලැබූවෙකි. පසුව සිරදඬුවම් විද 1976 දෙසැම්බර් 24 නිදහස් විය. අගමැතිනිය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ රොස්මිඩ් ප්‍රහාරයට චෝදනා ලැබූ සෝමවංශ අමරසිංහද 1976 දෙසැම්බර් 24වැනිදා නිදහස් වී තිබිණි. අප්‍රේල් කැරැල්ලේදී කොළඹ සරසවියේ පලමු වසරේ උපාධි අපේක්ෂිකාවක් ලෙස එයට එක්වූ නන්දසීලි වසර හතරහමාරක සිර දඬුවමකින් පසුව නිදහස් වී තිබිණි. 

ජවිපෙ සතිපතා පුවත්පත ලෙස නියමුවා පුවත්පත 1977 මාර්තු 10 කොළඹ මහා තැපැල්හලේදී ලියාපදිංචි කරන ලදී. අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථම ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීමද 1977 මාර්තු 10 සවස 3.30ට වැඩබලන ලේකම් උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේදී පැවැත්විණි. ඉන් දෙදිනකට පෙර ඒ පිළිබඳව කොළඹ නගරය පුරා පෝස්ටර් අලවා තිබිණි. කොළඹ සහ විද්දෝදය(ජයවර්ධනපුර) සරසවි සිසු කණ්ඩායම් එහි මූලිකත්වය ගනු ලැබීය.  සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ප්‍රථම වතාවට මහා ශිෂ්‍ය සභාවක සභාපති තනතුරකට තරඟකර ජයග්‍රහණය ලබා ගැනීමට ජවිපෙට 1977 අප්‍රේල් 6වැනිදා පැවති පේරාදෙණිය සරසවියේ පැවති ශිෂ්‍ය සභාවේදී හැකිවිය.

ස්වභාවික විපත් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භවූ ජවිපෙ සහන සේවා බලකායයේ මංගල පියවර 1976 මඩකලපුව අකරපත්තුව ගංවතුරෙන් පීඩාවට පත් ජනයා සඳහා දෙසතියක් පුරා ජවිපෙ සාමාජිකයන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අක්කරපත්තුවේ පැවති අවස්ථාවේදී එයට සහභාගිවූ කණ්ඩායම.

එතෙක් කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට බලය තිබූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලය ජවිපෙ විසින් සතු කරගන්නා ලදී. වසර 1986 නොවැම්බර් 12වැනිදා සිදුවූ වීරසූරිය ඝාතනයෙන් පසු රටපුරා ඇතිවුණු සරසවි සහ පාසැල් උද්ඝෝෂණ වලට නායකත්වය දෙනු ලැබුවේද ජවිපෙ සහ ජවිපෙට හිතවත් සරසවි සිසුන්ය. මේ අනුව පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට ජවිපෙන් අනුරාධපුර විලච්චියේ කේ. ඒ. චන්ද්‍රපාල පත්විය. ලේකම්වරයා වූයේ වමේ කණ්ඩායමේ බී. රාජසිංහ බණ්ඩාරය. ජවිපෙ විසින් 1977 මැයි 1 පැවති මැයි දිනය වෙනුවෙන් දෙමටගොඩ පිටියේ මැයිදින රැස්වීමක්ද පවත්වන ලදි.  අනතුරුව 1978 සිට 1982 දක්වා වාර්ෂිකව මැයි 1 සෑම මැයි දිනයක්ම විජේවීරගේද සහභාගිත්වයෙන් සුවිශේෂි අන්‍යතාවයක් තහවුරු කරගනිමින් ආකර්ශනීය ලෙසද සංදර්ශනවාදී ස්වරූපයකින්ද පවත්වන ලදී.

වසර 1977 ජුලි 21 පැවති මහා මැතිවරණයටද ජවිපෙ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ආසන 4කට ඉදිරිපත් විය. ඒ අනුව තංගල්ලේදී විජිත රණවීරට 1234ද අනුරාධපුර බටහිරදී කේ.ඒ චන්ද්‍රපාලට ඡන්ද 797ක්ද හක්මනදී රොබට් ජයසේකරට 727ක්ද හොරොව්පතානේදී කේ. රණතුංගට 687ක්ද ඡන්ද වශයෙන් හිමි විය. ඒ අනුව මැතිවරණ දේශපාලනයට ප්‍රථමවරට ජවිපෙ එක්විය. එම මහා මැතිවරණයෙන් ආසන 168න් ආසන 140ක් දිනා ගනිමින් එජාපය පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකර ගත්තේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18ක්ද ශ්‍රිලනිපයට ආසන 8ද හිමිවිය.

ජවිපෙ ලන්ඩන් ශාඛාව විජේවීරගේ මැදිහත්වීමෙන් 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් ගොඩනැගීමෙන් පසු එයට මුල්වූ පෝල් පීරිස්, ආවාද ලැනරෝල් ඇතුළු පිරිස සමඟ.

ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළුව 1971 අප්‍රේල් රාජ්‍ය විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සිරදඬුවම් විදිමින් සිටි 125 දෙනෙක් 1977 නොවැම්බර් 2 නිදහස් කරන ලදී. ඔවුහු මෙසේ නිදහස ලැබුවේ අපරාධ යුක්ති විනිශ්ච කොමිසම් සභා පනත 1977 ඔක්තෝබර් 27වැනිදා අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වන විට 1971 අප්‍රේල් කැරැල්ලට හසුව කෙටිකාලීනව සිරදඬුවම් විදි 123ක් නිදහස් වී තිබිණි.

නිදහස් වීමෙන් පසු විජේවීර රටපුරා ප්‍රසිද්ධ රැස්වීම් ගණනාවක් ඇමතීය. ප්‍රථම රැස්වීම 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවති අතර එයට විශාල ජනකායක් සහභාගි විය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ 60වැනි සමරුව නිමිත්තෙන් එය කලින් සංවිධානය කර තිබුණකි. එහිදි විජේවීර පැය තුනක් පමණ සිය කථාව කළේය. තවත් දේශපාලන සිරකරුවන් 20ක් පමණ නිදහස් කර නැතැයි විජේවීර එහිදී කියා සිටියේය. කතරගම ප්‍රේමවතී මනම්පේරි සිහිකිරීමේ රැස්වීමක්ද 1977 දෙසැම්බර් 03වැනිදා කතරගමදී පැවැත්විණි. නුවර බෝගම්බර ඇතුළු රටපුරා රැස්වීම් ගණනාවක් විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජවිපෙ මංගල මහා සමුළුව විජේවිරගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඔමාරගොල්ලේදී 1978 ඔක්තෝබර් 19 ආරම්භවූ අවස්ථාව.

විජේවීරගේ නිදහසින් පසු ජවිපෙ ප‍්‍රථම මංගල සමුළුව 1978 ඔක්තෝබර් 19 සිට සිව් දිනක් මුළුල්ලේ කුරුණෑගල ගල්ගමුවේ ඕමාරගොල්ලේදී පැවැත්විණි. එහිදී දයා වන්නිආරච්චි ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. පසුව 1980 සිට ජවිපෙ තහනම දක්වා ප්‍රධාන ලේකම් වූයේ ලයනල් බෝපගේය. සෑම වකවානුවකම අභ්‍යන්තර ලේකම්වරයෙක්ද ජවිපෙ තුළ විය. ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මහා සමුළුව 1981 පෙබරවාරි 25 සහ 26 දිනයන්හි කොළඹ නගර ශාලාවේදීද සමාජවාදී කම්කරු සංගමයේ මංගල මහා සමුළුව 1981දීද, සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 දිනයන්හිද පැවැත්විණි. රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1දිනයන්හි පිහිටුවන ලදී.  එමෙන්ම සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී භික්ෂු සංගමය, සමාජවාදී කලා සංගමය එම කාලයේදී ආරම්භ විය.

විජේවීර 1978 මැයි 29 සිට අගෝස්තු 23 දක්වා විදේශ සංචාරයකද නිරත විය. රුසියාව, කියුබාව, බ්‍රිතාන්‍යය සහ පෘතුගාලය යන රටවල කල එම සංචාරයේදී ලංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විදේශීය වාමාංශික පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමඟද සාකච්ඡා කර තිබිණි. මෙහිදී විජේවීරගේ මැදිහත්වීමෙන් ජවිපෙ ලන්ඩන් ශාඛාව 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදි ගොඩනඟන ලදි. ජවිපෙ වෙත 1971 අප්‍රේල් කැරැල්ලේ සිට සහාය පළකල ගිනිපුපුර කණ්ඩායමට අයත්වූ පෝල් පීරිස්, ගුවන් ඉංජිනේරු සී. අයි ප්‍රනාන්දු, ආවද ලැනරෝල්, චන්දන පීරිස්, නීතිඥ රංජිත් මෙන්ඩිස් ඇතුළු කිහිප දෙනෙක්ම ඒ  අතර විය. කියුබාවේ හවානා නුවර ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙලටද ජවිපෙ නියෝජිතයින් 4දෙනෙකු සමඟ විජේවීර සහභාගි විය. 

1981 ජුනි 04 පැවති සංවර්ධන සභා ඡන්දයෙන් ජවිපෙ ප්‍රථමවරට පත්වූ ජනතා නියෝජිතයින් 13. වමේ සිට බෝපගේ, ගමනායක, වාස්, ශාන්ත, රාමනායක, මහින්ද, ධර්මදාස, සිසිර, වින්සන්ට්, ජයතිස්ස, වික්‍රමපාල සහ යසපාල වේ. ගුණරත්න වනසිංහගේ ඡායාරූපය යමෙකු සතුනම් අපවෙත යොමුකරන්න.

පීඩනය සහ සමගිය තේමා කරගත් ගීත පදනම් කරගෙන විමුක්ති ගී ජුලි 26 ව්‍යාපාරය සැමරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ 1978 පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ජනගත කරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනම වන විට ලංකාව පුරා විමුක්ති ගී ප්‍රසංග 118ක් පවත්වා තිබිණි. දිනපතා, සතිපතා සහ මාසික පුවත්පත් කිහිපයක්ද පළකරන ලදී.

ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීර ජවිපෙ රැස්වීම් මාලාවක් රටපුරා පවත්වනු ලැබූ අතර එහි ප්‍රථම රැස්වීම 1979 සැප්තැම්බර් 26වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. සාම්ප්‍රදායික වම පරාජයට පත්කර ඇති බැවින් ශ්‍රිලනිපයට ප්‍රහාර එල්ලකර ප්‍රධාන විපක්ෂයවීම එහි අරමුණ විය. වාම සදාචාරයටද පටහැනිව ජවිපෙ සිදුකල එම මෙහෙයුම හේතුවෙන් සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට පදනමක් එජාප ආණ්ඩුවට හිමිවිය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7කට තහනම් කිරීම 1980 ඔක්තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ආණ්ඩුව මගින් ගෙනආ යෝජනාවක් මගින් සම්මත විය. ශ්‍රිලනිපයට එරෙහි ජවිපෙ මෙහෙයුම මගින් අවසානයේදී ශ්‍රිලනිප බලවේගයන් ජවිපෙ දිනාගැනීම වෙනුවට ඔවුන් පෙළ ගැසුනේ එජාප ආණ්ඩුව වටාය.

ගී ප්‍රසංග 118ක් පැවැත්වූ විමුක්ති ගී ප්‍රසංගයක දර්ශනයක්. විමුක්ති ගී සඳහා  නායකත්වය දුන් ලයනල් බෝපගේ, පූරකවරයාවූ බුද්ධදාස විතානාරච්චි, සුවිශේෂි කැපකිරීමක් කල නන්දන මාරසිංහද මෙහි වේ.

කොළඹ නගර සභා මැතිවරණයට 1978දී උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් ජවිපෙ විසින් කණ්ඩායමක් ඉදිරිපත් කලද ආසනයක් හිමි නොවීය. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා ලදී. එජාප ආණ්ඩුව මගින් අතුරු මැතිවරණ 1977 නොවැම්බර්  දෙහිවල, 1978 මාර්තු බටහිර කොළඹ, 1979 දෙසැම්බර් ගාල්ල, 1980 මැයි ආනමඩුව සහ 1981 ජනවාරි කලවාන යන ඡන්ද කොට්ඨාශවල පැවැත්වූ අතර එහිදී ජවිපෙ ආනමඩුව සහ ගාල්ල ආසන 2ක සඳහා ස්වාධින කණ්ඩායමක් වශයෙන් සිනුව ලකුණෙන් තරඟ කරන ලදී. ආනමඩුවට තරඟකල උපතිස්ස ගමනායකට ඡන්ද 857ක්ද ගාල්ලට තරඟකල ලයනල් බෝපගේට ඡන්ද 3,366ක්ද හිමිවිය. ගාල්ල ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරඟකල 1971 කැරැල්ලේ 7වන විත්තිකරු වික්ටර් අයිවන්ට එහිදී ඡන්ද 634ක් හිමිවිය.

ජවිපෙ රැස්වීම් ගණනාවකටද ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ගේ මැදිහත්වීම් මත මැර පිරිස් විසින් ගල් මුල් ප්‍රහාර වේදිකාවට එල්ලකර තිබිණි. කොළඹ කැම්බල් පිටියේදී 1978 සැප්තැම්බර් 22, යාපනයේදී 1978 සැප්තැම්බර් 24, පුංචි බොරැල්ලේදී 1981 මැයි 28, හක්මන ගංගොඩගම හන්දියේ 1981 අගෝස්තු 13, මිහින්තලේ, දොම්පේ එවැනි සිද්ධීන් ඇතිවූ ස්ථාන කිහිපයකි.

1982 ඔක්තෝබර් 20 පැවති ජනාධිපතිවරණයට 1982 සැප්තැම්බර් 17 නාමයෝජනා දුන් අවස්ථාවේදී එජාප ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රිලනිප හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ රෝහණ විජේවීර.

අසූවේ ජුලි වැඩ වර්ජනයටද ජවිපෙ එක් නොවූවද වෘත්තිය අංශයේ ඉහළ නායකයින්ට වර්ජනයට එක්වන ලෙසට ඉල්ලීමක්කර තිබිණි. ලංකා ගුරු සංගමය සහ ජවිපෙ අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගුණු අතර වර්ජනය පාවාදුන් බවට ජවිපෙට එරෙහි මතයක් එච්. එන්. ප්‍රනාන්දු ආදීහු විසින් සමාජගත කරන ලදී. එය ජවිපෙට පසුකාලීනව සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නක් විය.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීමෙන් 1981 පෙබරවාරි 26වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවති රැස්වීම අමතමින් ජවිපෙ නායක විජේවීර කියා සිටියේ එජාප රජය ශ්‍රීලංකාව කාබාසිනියා කිරීම සඳහා කටයුතු කරන බවය. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඩී.එම් ආනන්දගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම පැවැත්විණි. අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට රජයට සිදුවූයේ ජවිපෙ නායකත්වයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගෙනගිය දැවැන්ත උද්ඝෝෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. පසුකාලීනව ජවිපෙ 2වැනි කැරැල්ලේ නායකයින් බවට පත්වූ ඩී. එම් ආනන්ද, එච්.බි හේරත්, කේ. ඩබ්ලිව්  සමරනායක අමරසිරි, උපාලි ජයවීර ආදීහු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටනේ නායකයින් විය. 

1982 දෙසැම්බර් 22 ජනමත විචාරණයේදී එයට එරෙහිව කලය සලකුණ වෙනුවෙන් රූපවාහිනියෙන් ජනතාව අමතන විජේවීර.

දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය 1981 ජුනි 04 පැවති අතර එහි අරමුණ වූයේ ආණ්ඩුවේ පරිපාලනය විමධ්‍යගත කිරීමය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය එම සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කල අතර එයට තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමල විමුක්ති පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සමඟ ස්වාධීන කණ්ඩායම්ය. මැතිවරණයට සතියකට පෙර 1981 මැයි 26 වැනිදා උතුරේ එජාප නාමයෝජනා ලැයිස්තුවේ ප්‍රමුඛයෙකුවූ වඩුක්කෝඩෙයි හිටපු මන්ත්‍රී ඒ ත්‍යාගරාජා දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් 1981 මැයි 24වැනිදා ඝාතනය කරන ලදි. පොලිස් භටයින් දෙදෙනෙකුද මැයි 30වැනිදා වෙඩිතබා මරා දමන ලදී. උතුරේ එම සංවර්ධන සභා මැතිවරණය එජාප මැදිහත්වීම මත අන්ත දූෂිතවූ බවට වාර්තා විය. කොළඹින් ගිය දේශපාලන මැර පිරිස් විසින් යාපනය පුස්තකාලයද ගිනිබත් කරන ලදී.

එම සංවර්ධන සභා ඡන්දයට දිස්ත්‍රික්ක 8කින් තරඟකල ජවිපෙට ඉතිහාසයේ ප්‍රථමවරට ජනතා නියෝජිතයින් 13ක් සංවර්ධන සභා මන්ත්‍රී වශයෙන් හිමිවිය. එම දිස්ත්‍රික්ක 8 ජවිපෙට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327,149කි. ඒ අනුව ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වශයෙන් කොළඹින් උපතිස්ස ගමනායක, ජයසිංහ(මහින්ද) පතිරණ, ශාන්ත බණ්ඩාර, වින්සන්ට් සමරසේකරද, ගම්පහින් වාස් තිලකරත්න, ජයසිංහ ලොකුතාඹුගල, ගුණරත්න වනසිංහද ගාල්ලෙන් ලයනල් බෝපගේ සහ ධර්මදාස ජයසිංහද, බදුල්ලෙන් වික්‍රමපාල හේරත් සහ ජී. යසපාලද හම්බන්තොටින් පියසේන රාමනායකද, අනුරාධපුරෙන් සිසිර(කුමාර) රන්දෙණියද තේරී පත්විය. ජවිපෙ එහිදී තරඟකල කළුතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසනයක් දිනා ගැනීමට ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් හිමිනොවිණි. කළුතර කණ්ඩායම් නායකයා සෝමවංශ අමරසිංහවූ අතර මාතලේ කණ්ඩායම් නායකයා වූයේ කලක් පේරාදෙණිය සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කූඹියන්ගොඩ ලලිත් සේනාරත්නය.  අළුතින් පත්වූ ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් මාසික දීමනාව ජවිපෙ පක්ෂ අරමුදලට බැරවිණි. මෙම සංවර්ධන සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරිම, ඉවත්වීම සහ ජවිපෙ තහනමින් පසු රැස්වීම් වලට සහභාගි නොවීම නිසා ඔවුන්ගේ ධූරයන් අහෝසිවූ අතර කණ්ඩායමේ සෙසු අය ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් විසින් ඡන්ද ලබාගත් අනුපිලිවෙල අනුව පත්කරන ලදී. එසේ පසුව පුරප්පාඩුවලට පත්වූ අය අතර පියසෝම මල්ලිකාරච්චි, ජී. ඩබ්ලිව් ගාමිණී ජයලත්, බී. විතානාරච්චි, අයි. කුවින්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 1978 සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුව නාම යෝජනා කැඳවීම 1982 සැප්තැම්බර් 17වැනිදා සිදුවූ අතර ඒ සඳහා ජවිපෙ වෙනුවෙන් රෝහණ විජේවීරද තරඟ වැදිණි. ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 පැවැත්වූ අතර එහි ප්‍රතිඵල අනුව එජාපයේ ජේ.ආර් ජයවර්ධනට ඡන්ද 3,450,811, ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්ද 2,548,438, ජවිපෙ රෝහණ විජේවීරට ඡන්ද 273,428ක්ද, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ කුමාර් පොන්නම්බලම්ට ඡන්ද 173,934ක්ද, ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වාට 58,531ද නව සමසමාජයේ වාසුදේව නානායක්කාරට ඡන්ද 17,005ක්ද හිමිවිය. සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ජවිපෙට සියයට 2.67ක් හිමිවූ අතර සමසමාජය සහ නසසප යන පක්ෂ දෙකටම හිමිවූයේ සියයට 1ක් පමණය ජවිපෙට වැඩිම ඡන්ද ප්‍රමාණක් වූ 28,835 හිමිවූයේ හම්බන්තොට ප්‍රදේශයෙනි. ඡන්ද 20,000කට වඩා හිමිවූ දිස්ත්‍රික්ක වූයේ කොළඹ(28,580), ගම්පහ(23,701), මාතර(22,117), කුරුණෑගල(21,835) සහ ගාල්ල(20,962) වශයෙනි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල ජවිපෙ තුළ අභියෝගයකට ලක්වූ අතර එය එහි ඇතැම්  නායකයින් සහ ක්‍රියාකාරින්ගේ ඉච්ඡාභංගත්වයටද හේතුවිය. ජවිපෙ බිඳ වැටීමකට ලක්ව දුර්වලවී, මූල්‍ය සහ පුද්ගල සදාචාරයන්ද පිරිහිමකට ලක්විය. ඇතැම් නායකයින් සහ ක්‍රියාකාරිකයින් ඉවත්කිරීමට සිදුවූ අතර එමගින් සංවිධාන ක්‍රමවේදයන්ද පසුබෑමකට ලක්විය.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආයු කාලය තව වසර 6කින් දිගු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජාතික ජනමත විචාරණයක් 1982 දොසැම්බර් 22වැනිදා පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය කල් ඉකුත්වීමට තිබුණේ 1983 අගෝස්තු මාසයේදීය. එජාප ආණ්ඩුව මුහුණදුන් ගැටළුව වූයේ මහ මැතිවරණයක් පැවැත්වූවහොත් එජාපය පරාජයට පත්වී අති බහුතර පාර්ලිමේන්තු බලය අහිමිවීමේ අවදානමක් පැවතීමය. මැතිවරණයේදී ඡන්ද දායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවේ ආයුකාලය දිගු කරලීම සඳහා යෝජනාවක් වන අතර එයට පක්ෂව ඔව් ලෙසින් කියන අයට ලාම්පුව ඉදිරිපිට කතිරයක්ද එයට විපක්ෂ අයට කලය ඉදිරියේ කතිරයක්ද මගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය. ඡනමත විචාරණයට එරෙහිව ශ්‍රිලනිප සිය වගකීම් පැහැර හැරියද ජවිපෙ එහිදී  ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. 

එජාප ආණ්ඩුවට පක්ෂව ඡන්ද 3,141,223ක්ද විපක්ෂව ඡන්ද 2,605,983ක් ලැබී තිබිණි. ජනමත විචාරණයෙන් වැඩි ඡන්ද 535,240කින් එජාප ආණ්ඩුව ජයගත් අතර එය අන්ත දූෂිත ඡන්දයක් බවට චෝදනා රැසක් එල්ල විය. එහිදී ශ්‍රිලනිප හිටපු ජනාධිපති අපේක්ෂකයාවූ කොබ්බෑකඩුවගේ ඡන්දය පවා ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට පෙරවරු 11.15ට ඡන්දය දීමට යනවිට වෙනත් අයෙකු එයට කලින් දමා තිබිණි. ජවිපෙ නායක රෝහණ විජේවිර විසින් ජනමත විචාරණයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්ද නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ මැදිහත්වීමෙන්  නීතිඥ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මගින් පවරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු පෙත්සම්කරුවන විජේවීර යටිබිම්ගත වූ හෙයින්ද පෙත්සම්කරුගේ නීතිඥ ෆිලික්ස් ඩයස් තාවකාලිකව විදේශ පදිංචියට යෑම නිසාද පෙත්සම නිශ්ප්‍රභා කිරීමට අධිකරණයට සිදුවිය. 

ජනමත විචාරණයේදී මැතිවරණ ආසන 168න් ආසන 48ක් ආණ්ඩුව පරාජයට පත්වී තිබිණි. ඉන් උතුරු සහ නැගෙනහිර ආසන 19ක හැර සෙසු ආසන 29න් ආසන 18 සඳහා අතුරු මැතිවරණයක් 1983 මැයි 18 පැවැත්වීමට ජනාධිපති ජයවර්ධන විසින් තීරණය කරන ලදි. අතුරු මැතිවරණ පවත්වන එම ආසන 18න් ආසන 5ක් සඳහා ජවිපෙ තරඟ වැදිණි. හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකරට සහාය පළකරන ලදී. ඒ අනුව ජවිපෙන් තරඟ කල විජිත් රණවීරට තංගල්ලේදී ඡන්ද 5,840ක්ද , වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දුට රත්ගමදී ඡන්ද 1,582ක්ද, ප්‍රේමචන්ද්‍ර මුණසිංහට අකුරැස්සේදී, ඡන්ද 2,062ක්ද, කේ.එච් ජයන්තට දෙවිනුවරදී ඡන්ද 3,591ක්ද, ඊස්වරගේ එස්.අයි. ආරියසේනට බෙලිඅත්තේදී ඡන්ද 2,550ක්ද හිමිවිය. ජවිපෙ හබරාදූවේ සහාය දුන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරඟ වැදුණු හිටපු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකරට හිමිවූයේ 1,163කි. එම අතුරු මැතිවරණ 18න් 14ක්ම එජාපය ජයගනු ලැබීය. විපක්ෂ මන්ත්‍රීවරුන් වශයෙන් මහරගමට මඑපෙ දිනේෂ් ගුණවර්ධන වැඩි ඡන්ද 5,791කින්ද මතුගමට ශ්‍රිලනිප අනිල් මුණසිංහ වැඩි ඡන්ද 964කින්ද, අක්මිමනට ශ්‍රිලනිප රිචඩ් පතිරණ වැඩි ඡන්ද 2,778කින්ද බද්දේගමට ශ්‍රිලනිප අමරසිරි දොඩන්ගොඩ වැඩි ඡන්ද 1,093කින්ද ලබා තේරී පත්විය. මහර ඇතුළු ආසන ගණනාවක අතුරු මැතිවරණ ඡන්දය දා දූෂණ චෝදනා රැසක් සිදුවූ බවට චෝදනා විය.

ජවිපෙ 1983 ජුලි තහනම් කිරීමට පෙර අවසන් මධ්‍යම කාරක රුස්වීම 1983 ජුලි 21වැනිදා සිට තෙදිනක් පැවැත්වූයේ තංගල්ල විතාරන්දෙණිය විජිත රණවීරගේ නිවසේ පිහිටි පක්ෂ පාසැලේදීය.

උතුරේ දෙමළ බෙදුම්වාදීන්ගේ බිම් බෝම්බයකින් හමුදාවේ 13දෙනෙකු ඝාතනයට පත්වී ඔවුන්ගේ සිරුරු බොරැල්ල කනත්තට ගෙන ඒමත් සමඟම ඇතැම් දෙමළ ජන කොටස් වලට එරෙහිව කළු ජූලිය 1983 ජුලි 24වැනිදා ඇරඹුණු අතර එහිදි එජාප රජයට එල්ලවූ විවේචන වලට පිලිතුරක් වශයෙන් ආණ්ඩුව සිදුකලේ ජවිපෙ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය 1983 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. කොමියුනිස්ට් සහ නවසමාජ පක්ෂ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවූහ. ජවිපෙ සිය පක්ෂ තහනම ඉවත්කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී. පක්ෂ තහනම මගින් රහසිගත දේශපාලනයකට ජවිපෙ තල්ලු කරන ලදී. එජාප ආණ්ඩුව 1983 අගෝස්තු 8 සම්මත කර ගන්නා ලද වෙනම රාජ්‍යයක් රාජ්‍යයක් පිහිටුවීමට සහාය නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 6වැනි සංශෝධනය හේතුකොටගෙන එයට පක්ෂව දිවුරුම් නොදීම නිසා දෙමළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය.

 ජවිපෙ ඉතිහාසය තුළ 1977 සිට 1983 ජුලි දක්වා කාලය වූ කලී සංකීර්ණ අත්දැකීම් සහිත එක් යුගයක නිමාවකි. ජවිපෙ පක්ෂ තහනමෙන් පසු එහි ඊළඟ ඇරඹුම වූයේ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලට පෙර ප්‍රතිසංවිධානයන් හරහා රහසිගතව සහ ප්‍රසිද්ධියේ දෝලනය වූ ක්‍රියාකාරිත්වයයි.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, 434/3 ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 178,601 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2018
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: