22
පෙබ.
18

දෙමල ජාතිවාදයේ සෙක්සි කතා

 
යුද්ධයේ අවසන් දිනවල ඇදහැලුණු මහ වැසි නොතකා වෙල්ලමුල්ලිවයික්කාල්වලට කොටු වී කුසගින්නේ සිටි සාමාන්‍ය ජනතාවට සහලින් පිසූ කැඳ ලබා දීමට එල්. ටී. ටී. ඊ. කැරලිකරුවෝ කටයුතු කළහ.
මේ සඳහා අවශ්‍ය අඩුම කුඩුම සපයා ගැනුණේ ඔවුන් අවසන් සටන කළ ප්‍රදේශයෙනි.
මුල්ලිවයික්කාල්හි සිටි සියලුම දෙනාට එම කැඳ ලබා දෙන ලදී.
යුද්ධය බිහිසුණු වූ 2009 මැයි මාසයේදී තම පාලනය යටතේ තිබූ සෑම ප්‍රදේශයකම සෑම සියලු පවුලකටම එම කැඳ ලැබෙන බවට එල්. ටී. ටී. ඊ. ය වග බලා ගත්තේ යැයි දැනට කතුවරයකු ලෙස ජීවත් වන හිටපු එල්. ටී. ටී. ඊ. කැරලිකරුවකු වන කර්ණන් අප සමඟ පැවසීය.
යුද්ධයේ අවසන් අදියර ඉතා බිහිසුණු හා
දුෂ්කර අත්දැකීමක් වූ අතර මළ සිරුරු, විනාශ වූ නිවාස, තුවාලකරුවන් සේම ඛේදවාචකය ගැන විලාප තියන්නන්ගෙන්ද වෙල්ලමුල්ලිවයික්කාල් පිරී ගොස් තිබිණි.
අවසන් අදියරේදී සෑම තැනම තිබුණේ කායික හා මානසික වේදනාවන් හේතුවෙන් මිනිසුන් නඟන අ‍ෙදා්නාවන්ගේ දෝංකාරයයි.
යුද්ධයේ අවසානය 2009 මැයි 18 උදෑසන වෙද්දී දැක ගැනීමට හැකි වූ අතර අහස තද අළු හා කළු පැහැ දුමෙන් වැසී ගොස් තිබිණි. වැස්ස ඇද වැටෙමින් පවතිද්දී එක් පසෙකින් මිනිසුන් ආණ්ඩුවේ පාලන ප්‍රදේශයට ඇතුළු වෙමින් සිටිනු දැක ගත හැකි වූ අතර අනෙක් පසින් මළ සිරුරු බවට පත්ව බිම පතිතව තිබූ තමන්ගේ ආදරණීයයන්ගේ මෘත දේහයන්ට අවසන් ගෞරව දක්වන හෝ අවසන් මොහොතේදී ඔවුන් අසල අ‍ෙදා්නා දෙමින් හා සුසුම්ලමින් ළතවෙන පවුලේ සාමාජිකයන් හා නෑසියන් දැකගත හැකිවිය. යුද්ධය මැයි 18 වැනිදා අවසන් වූ නමුදු කර්ණන්ට අනුව එහි සිටි ජනතාව වට්ටුවහල් පාලම (Vattuvahal Bridge) හරහා ආණ්ඩුවේ පාලන ප්‍රදේශයට ගෙන යෑමට ආරක්‍ෂක හමුදාවන්ට තවත් දින දෙකක් ගත වී තිබේ.
වට්ටුවහල් පටු පාලමකි. මුලතිව් නගරය හා මුල්ලිවයික්කාල් ප්‍රදේශය නන්දිකඩාල් කළපුව හරහා යා කෙරෙන්නේ මෙම පාලමෙනි. මිනිසුන්ට ආණ්ඩුවේ පාලන ප්‍රදේශවලට බේරී පලා යෑමේ වුවමනාව තිබුණද කුමන ආකාරයකින් ඔවුනට සලකාවිදැයි ඔවුන් බිය වූ බව කර්ණන් කියයි.
එල්. ටී. ටී. ඊ. යද ජනතාවට ආණ්ඩුවේ පාලන ප්‍රදේශවලට බේරී පලා යෑමට ඉඩ නොදුන් අතර ඊට හේතුව වූයේ මිනිසුන් වැඩියෙන් ඉන්නා තරමට එල්. ටී. ටී. ඊ. යේ ආරක්‍ෂාවද තහවුරු වූ බැවිනි.
2009 මාර්තු හා අප්‍රේල් මාසවලදී යුද්ධය දරුණු අතට හැරී යද්දී වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර හිඟය ඇති වීම නිසා මිනිසුන්ට එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශ හැර දමා යෑමට අවශ්‍ය වූ බව කර්ණන් කියයි. බොහෝ පවුල්වල සාමාජිකයන් කොටි සංවිධානයට සේවය කරමින් සිටි අතර ඒ නිසාම ඔවුන් බියට පත්ව ආණ්ඩුවේ පාලන ප්‍රදේශවලට යෑමට බිය වූ බවත්, ආරක්‍ෂක හමුදා පාලනය යටතේ කවදාවත් ජීවත් වී නැති ඔවුන් තුළ හමුදාව ගැන බොහෝ වැරැදි විශ්වාසයන් වූ බවත් කර්ණන් කියයි. කෙසේ වුවත් තම ජීවිත ආරක්‍ෂාව ගැන සිතූ හා හමුදාව යටතේ ඇති ප්‍රදේශවල වඩා හොඳ ආරක්‍ෂාවක් ඇතැයි සිතූ පිරිසක්ද සිටි බව කර්ණන් කියයි.
ආහාර, නිවාස, වෛද්‍ය ප්‍රතිකාර ආදී කුමන ප්‍රශ්නවලට මුහුණ පෑවත් එසේම බොහෝදෙනා ගැටුම්වලින් තුවාල ලැබුවත් එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශ හැරදා පලා යන්නට මිනිසුන් අකැමැත්තක් දැක්වූයේ ආරක්‍ෂක හමුදාවන්ට ඇති බිය නිසා බවද කර්ණන් සඳහන් කරයි.
“ඒ වාගේම එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශවලින් හමුදාව යටතේ පවතින ප්‍රදේශවලට පලා යද්දී එල්. ටී. ටී. ඊ. ය තමන්ගේම මිනිසුන්ට වෙඩි තිබ්බා… ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” කර්ණන් පැවසීය.
තමන් හැර දමා යන අයට එල්. ටී. ටී. ඊ. ය සැලකූ අන්දම ගැන කීමට කර්ණන්ට පෞද්ගලික අත්දැකීම්ද ඇත. “මම 2003 සාම ක්‍රියාදාමයේදී එල්. ටී. ටී. ඊ එකෙන් ඉවත් වෙන්නේ ප්‍රතිපත්තිමය ගැටුම් මත බහින් බස් වීමෙන් පසුවයි. අප හමුදා පාලන ප්‍රදේශවලට ගියොත් අපේ ජීවිත ගැන වගකීමක් නැහැ. මා 2005දී මා උපන් ප්‍රදේශය වන යාපනයට එනවා. පසුව මට එරෙහිව සැකයක් ඇති වෙන්න ගත්තා. මේ කාලේ යාපනයේ තනි පුද්ගලයන්ව වෙඩි තබා මරණ එක සිදු වුණා. ඒ නිසා මට යාපනයේ ආරක්‍ෂාව නැති බව තේරුණා. මා කිලිනොච්චියට ඇවිත් තනිවම ජීවත් වුණා”.
යුද ගැටුම් වර්ධනය වෙද්දී මිනිසුන්ට මුහුණපෑමට සිදු වූ ඛේදජනක තත්ත්වය භයානක බව කර්ණන් කියයි. “හමුදාව මිනිසුන්ව තමන්ගේ පාලන ප්‍රදේශවල තබා ගැනීමට උත්සාහ කළා. මම දැක්කේ සිවිල් මිනිසුන් ගැටුමේ සිටින මේ පාර්ශ්ව දෙක අතර අරගලයක යෙදී සිටින හැටියි.
යුද්ධයේ පසු භාගයේදී 2009 අප්‍රේල්වල ඇරැඹී, විශාල ලෙස වර්ෂාව පැවතුණා. එනිසා අවතැන් වූ මිනිසුන්ට ආරක්‍ෂිත තැන් ලැබුණේ නැහැ. අවසන් එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශ වන පුදුමාතලන්, පොක්කනයි, වලිග්නාර්මඩම් සහ මුල්ලිවයික්කාල් ප්‍රදේශවල අධික ජනගහනයක් වර්ධනය වුණා. හමුදාව මිනිසුන් 1,90,000ක් සමඟ පුදුමාතලන් අල්ලා ගත්තට පස්සේ ඔවුන්ව හමුදා පාලන ප්‍රදේශවලට ගෙන ගියා. මේ වෙලාවේ තමයි මිනිසුන්ට ආහාර හා බෙහෙත්වල පුදුමාකාර හිඟයක් ඇති වුණේ. මුල්ලිවයික්කාල් අල්ල ගන්න කොට එහි මිනිසුන් 40,000ක් හිටියා.”
“මම එළියට බහින හැම වෙලාවකදීම පාරේ තුවාල ලැබූ හෝ මැරුණු මිනිසුන් දකින්න පුළුවන් වුණා. මා විතරක් නොවෙයි හැමෝටම සිදු වුණා මළ මිනී හෝ තුවාලකරුවන් පසුකර යන්න. ඒ වෙලාවේ තිබුණේ මිනිසුන් තමන්ගේ පණ බේරගන්න ආරක්‍ෂිත ස්ථානයකට යෑම ගැන විතරක් හිතන තත්ත්වයක්. තුවාලකරුවන් ගැන කරදර වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ”.
යුද්ධයේ අවසන් කාලයේදී අවුරුදු 11, 12 වයසේ සිටින ළමයින් බොහොමයක් එල්. ටී. ටී. ඊ. යට බඳවා ගත් බව කර්ණන් කියයි. එම නිසා මෙවැනි ළමයින්ගේ මාපියන් එම ප්‍රදේශවලින් බැහැර යෑම ප්‍රතික්‍ෂේප කළ අතර එල්. ටී. ටී. ඊ. ය යුද්ධය දිනනු ඇති බවටද ඔවුන් තුළ විශ්වාසයක් තිබිණි. මේ මිනිසුන් පමණක් නොව යුද්ධය විශ්ලේෂණය කරමින් සිටි යුද විශේෂඥයෝ පවා කුමන ආකාරයෙන් හෝ එල්. ටී. ටී. ඊ. ය ජය ලබනු ඇති බව විශ්වාස කළහ.
“තමන්ට විශාල වශයෙන් අලාභහානි සිදුවී ඇති බව පිළිගත් එල්. ටී. ටී. ඊ. ය ජාත්‍යන්තරය මැදිහත් වුවහොත් තව මාස හයක්වත් නිරුපද්‍රිතව සිටිය හැකි බව විශ්වාස කළා. යුද්ධයේ අවසන් අදියරේදී එල්. ටී. ටී. ඊ. දේශපාලන නියෝජිතයන් මෙම පණිවුඩය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන යමින් සිටි අතර සාමාන්‍ය මට්ටමේ සෙබළුන් ජනතාව වෙත පණිවුඩය ගෙන යමින් සිටියා. මා අවුරුදු 15දී සංවිධානය සමඟ එක්වූ නිසා මගේ මිතුරන් සියල්ලන්ම එල්. ටී. ටී. ඊ. කවයේ අය වුණා. මම ඔවුන් වෙතින් සිදුවන්නේ මොනවාදැයි දැන ගත්තා. මම පැවැති තත්ත්වය ගැන සටහන් තබමින් සිටියේ. එම නිසා එල්. ටී. ටී. ඊ. යේ දේශපාලන ස්ථාවරත්වයට එහා බොහෝ දේ මා දැන සිටියා”.
සමහර අවස්ථාවලදී පවුල්වල වූ අඬදබර හේතුවෙන් එල්. ටී. ටී. යට බැඳී අත්අඩංගුවට පත් වූ අයත් හිටියා. කෙසේ වුවත් එවැනි පවුල්වල උදවිය පවා පසුව සංවිධානයට උදවු කරන්න ගත්තේ එල්. ටී. ටී. ඊ. ය ජය ගනු ඇතැයි බලාපොරොත්තුවෙන්” බව කර්ණන් කියයි. කෙසේ වුවද ජනතාවට ගැටලු ඇති කිරීමේ හෝ ඔවුනට මුවා වී තම ආරක්‍ෂාව තහවුරු කර ගැනීමේ මානසිකත්වයක් එල්. ටී. ටී. ඊ. ය ට මුල් කාලයේ “කිසිසේත්් තිබුණේ නැහැ. නමුත් පසුව එල්. ටී. ටී. ඊ. ය මුහුණපෑ දරුණු දුෂ්කරතාවන් හේතුවෙන් සියල්ලම නොපිට පෙරළුණා. ජනතාව තැති ගත්තා. තමන් යුද්ධය ජයග්‍රහණය කළහොත් මිනිසුන් තමාගේ වැරැදි තේරුම් ගනු ඇතැයි එල්. ටී. ටී. ඊ. ය විශ්වාස කළා. එයයි ඔවුන් සතුව තිබූ එකම උද්දීපකය වුණේ ඉදිරියට යන්න”.
එල්. ටී. ටී. ඊ. ය සතුව තිබූ භට සංඛ්‍යාව හා නිවැරැදිව ගණනය කිරීම ඉතා අසීරු වූ බව කර්ණන් කියයි. දැඩි ක්‍රියාකාරීන් ගණන 800ත් 1,000ත්් අතර පමණක් වූ බව කර්ණන් කියයි. අවසන් සමයේ ඔවුහු යුද පිටියේ බැරෑරුම් අන්දමින් සටන් කළහ. මෙම ගණන 2,000ක් හෝ ඊට වැඩි ගණනක් දක්වා වැඩි වූයේ සාමාජිකයන් බලෙන් මොළ සේදීමට ලක් කොට ඔවුන් යුද්ධයට බඳවා ගැනීමට කටයුතු කළ හෙයිනි. කර්ණන්ට අනුව එල්. ටී. ටී. ඊ. යට කිසිදු විටෙක 10,000කට වැඩි සාමාජිකත්වයක් නොවීය.
එල්. ටී. ටී. ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රහාකරන්ගේ පවුලේ සාමාජිකයන් ගැන කතා කරන කර්ණන්, ඔහු ප්‍රභාකරන්ගේ බිරිය, දුව හා පුතුන් දෙදෙනා දැක ඇති බව කියයි. ප්‍රභාකරන්ගේ බිරිය හා දුව යුද්ධය අතරතුර ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගියහ. ඔවුන් මියගිය පෙදෙසේම ඔවුන්ව වළ දමන ලදී. කර්ණන් කියන අන්දමට ප්‍රභාකරන් තමාව වහලුන් වෙනුවෙන් සටන් කළ “ස්පාර්ටකස්” ලෙස දැක ඇත. 2009 අප්‍රේල් දිනෙක, යුද්ධයේ අවසන් කාලයේ ඔහු රැස්වීමක් පවත්වා තම භටයන්ට ස්පාර්ටකස් චිත්‍රපටයේ කොටස් කිහිපයක් පෙන්වා ඇති අතර මරණය දක්වාම සටන් කළ යුතු බව තම භටයන් පහදා දී ඇතැයි කර්ණන් කියයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව 2009 ජනවාරි මාසයේදී යුද පිටියෙන් ඉවත් වීම එල්. ටී. ටී. ඊ. ය අපේක්‍ෂා නොකළ දෙයකි. එහෙයින් තම ආරක්‍ෂාව තහවුරු කර ගැනීම සඳහා එම සංවිධානයන්හි නියෝජිතයන් කිහිප දෙනකු තම අත්අඩංගුවේ තබා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය කටයුතු කරන ලදී.
“මම සංවිධානයට බැඳුණේ ඒ ගැන කිසිම අවබෝධයක් නැතිවයි. දෙමළ ඊළම දිනා ගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් සමඟ මම ඊට එක් වුණා යැයි කියන්න බැහැ. මම දැනගෙන හිටියෙ ප්‍රභාකරන් ගැනයි, එල්. ටී. ටී. ඊ. ය හමුදාව සමඟ යුද්ධයක් කරන බවයි, මගේ මාමා කෙනකු එල්. ටී. ටී. ඊ. යේ ඉහළ තනතුරක් දරන බවත් පමණයි. මම 1995 සිට 2003 දක්වා එහි සිටියා. බිම් බෝම්බයක් පුපුරා යෑමෙන් ඔඩ්ඩුසුඩාන් – මුලතිව් සටනේදී අවාසනාවන්ත අන්දමින් මට මගේ කකුලක් අහිමි වුණා. 1997දී එය සිදුවන විට මට වයස 19යි. එල්. ටී. ටී. ඊ. ය මට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඔවුන් මා වගේ අයට අපගේ අධ්‍යාපන කුසලතාවන් නංවාගන්න මධ්‍යස්ථානයක් විවෘත කර තිබුණා. මට එහිදී වැඩිදුර ඉගෙනීමට ඉඩ ලැබුණා” කර්ණන් නැවත සිය අත්දැකීම් එක් කළේය.
ජනතාවගේ දුක් ගැනවිලි සමාන ලෙස අවබෝධ කරගන්න පුළුවන් කරුණාවන්ත අය එල්. ටී. ටී. ඊ. යේ වගේම හමුදාවෙත් ඉන්නවා කර්ණන් අවසානයේ පැවැසීය

 

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 174,447 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: