31
ජන.
18

මරුවා ගැන විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 සහ : ejournalists@gmail.com විමසිය හැකිය

harman Wickremaretne
Sunday Lankadeepa, Diyatha 2018/ 01/ 28 …ධර්මන් වික්‍රමරත්න විසිනි… “ඉන්දියාවේ “රෝ” ලංකාවේ වහෙන්ඔරෝ වැඩ කළ හැටි – 3” @ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඉන්දීය රෝ ඔත්තු සේවයේ හැසිරීම”@ ශ්‍රී ලංකාවේ විවිධාකාර රහස් ඔත්තු සේවාවන් වර්තමානයට වඩා අසූව දශකයේදී ක්‍රියාත්මක විය. ඒවා අතර මුල් තැනක් ගත්තේ ඉන්දියානු රෝ ආයතනය, ඇමරිකානු සී.අයි.ඒ, ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවය, බ්‍රිතාන්‍යයේ එම්. අයි. 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්ය. ශ්‍රී ලංකාවේ සිටින මෙම විදේශ ඔත්තු සේවාවන්හි නියෝජිතයෝ අනුයුක්තව සිටින්නේ මෙරට සිටින අදාල තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රික නිල නාමයන් යටතේය. ඔවුන්ගේ තානාපති නිලධාරි නිලය වූ කලී හුදු ආවරණයක් පමණි. මෙම චරපුරුෂ සේවාවන් ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු(මෙරට හමුදා කටයුතු, විශේෂ‍යෙන් පකිස්ථානය සහ චීනය සමඟ ජාත්‍යන්තර සබදතා, ඉරණවිල ඇමරිකානු හඬ, ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි බදු ගිවිසුම්, දේශපාලන ක්ෂේත්‍රයේ චලනයන් වැනිදෑ) ලබාදීමට හැකි මෙරටෙහි ඉහළ පෙළේ පිරිස් යොදාගනු ලැබේ. රාජ්‍ය නායකයින්, ආරක්ෂක ප්‍රධානීන්, දේශපාලඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පිරිස් එයට අයත් වෙති. ඔවුන් සඳහා විදේශ ශිෂ්‍යත්ව, චාරිකා, මුදල්, ත්‍යාගයන් ඇතුළු විවිධ වරදාන ප්‍රදානය කරනු ලබයි.

ජවිපෙ මගින් 1971 සිදුකරනු ලැබූ කැරැල්ල මර්ධනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට යුධ උපදෙස් සැපයූයේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය බව වෙහෙසකර පර්යේෂණයකින් පසු බ්‍රිතාන්‍යයේ ෆීල් මිලර් වසර 40කට පසු සිය පර්යේෂණය මගින් 2015 මුල්භාගයේදී අනාවරණය කළේය. ජවිපෙ නැගිටීම මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හමුදාව සහ පොලිසිය සන්නද්ධ කිරීමටද ඔවුන්ට උපදෙස් ලබාදීමද බ්‍රිතාන්‍ය මගින් ඉටුකල රහසිගත කාර්යභාරය එහිදී ඔහු හෙළි කළේය. ඉන්දියානු සාගරයේ වෙළෙඳ මුහුදු මාර්ග මැද ලංකාවේ භූ දේශපාලන පිහිටීම සහ ත්‍රිකුණාමලය වරායේ යුධමය වැදගත්කම නිසා බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය වැදගත් බව එහිදී අනාවරණය වී තිබේ.ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භා‍ගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලේ 9වැනි මහලේය. මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහෙත් හෝටල් සේවිකාවක් මරමුවට පත්විය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ට් ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධකාරකවරිය ලෙස සේවය කළේ මොනිකාය. වික්ටර් ඔස්ට්‍රොව්ස්කි විසින් ලියන ලද වේ ඔප් ඩිසෙප්ෂන් ග්‍රන්ථයේදී ඊශ්‍රායල් රජය මොසාඩ් ඔත්තු සේවාව ශ්‍රී ලංකා හමුදා භටයින්ට මෙන්ම දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ් සහ කොටි සංවිධානයේ සාමාජිකයින්ටද ඊශ්‍රාලයේදී අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා කළේය.

ඉන්දියානු රෝ සංවිධානය යනු රහසිගත මෙහෙයුම් වල නියැලුනු ඉන්දියානු බලගතුම ඔත්තු සේවාව ලෙස හදුන්වන පර්යේෂණ හා විමර්ශන අංශය නම් වේ. රෝ යනු එහි කෙටි යෙදුමයි. ඉන්දියානු රෝ සංවිධානය යනු සෘජු ලෙසින්ම ඉන්දිය අගමැති කාර්යාල ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වූවක් වන අතර අන් කිසිවෙකුට සහ කිසිවකට එහි බැදීමක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන තීරණ වහාම දැන ගැනීමට සහ එම තීරණ ඉන්දියාවට හිතවාදී නොවන අවස්ථාවන්හි මැදිහත්ව ක්‍රියාකිරීම රෝ සංවිධානයේ අරමුණ වේ.
ඉන්දු සෝවියට් මිත්‍රත්ව ගිවිසුම 1971 අත්සන් කිරීමෙන් පසු එක්සත් ජනපදයට ඉන්දියාවේ අසල්වැසි රටක සහාය අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාව එයට බළල් අතක් සේ යොදා ගත්තේය. ශ්‍රී ලංකාවට සෘජුව අත පෙවීම ඇරඹුණේ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් පසුවය. එයට හේතු වූයේ එතෙක් ශ්‍රී ලංකාවේ පැවති නොබැදි විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවද නොසලකා හරිමින් ඇමරිකාවට ගැති ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම නිසා එය ඉන්දිරා ගාන්ධි අගමැතිනිය නොඉවසීමය.දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ටෙලෝ සමඟ මුලින්ද පසුව ඊ.පී.ආර්.එල්.එෆ්, ඊරෝස් සහ එල්.ටී.ටී.ඊ සමඟද ඉන්දිය ඔත්තු සේවය සබඳතා ඇතිකර ගත්තහ. එම බෙදුම්වාදී දෙමළ සංවිධාන රෝ සරණ පතා ගියා නොව රෝ ඔවුන් සොයා ගෙන පැමිණි බව යථාර්ථය විය.

දෙමළ බෙදුම්වාදීන්ට වෙඩි පුහුණුව ලබාදෙන ලද්දේ ඉන්දීය යුද හමුදාව මගිනි. ඒ දලායි හා අහමද්නගර් යන ප්‍රදේශ වලදීය. මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්‌කු, ස්‌වයංක්‍රීය රයිපල, පිස්‌තෝල හා ඒ.කේ. 47 රයිපල පරිහරණයද ඊට ඇතුළත් විය. තවද සිතියම් කියවීම, යුධෝපායයන්, යුද කටයුතු සැළසුම් කිරීම, කැලෑ සටන්, ගරිල්ලා උපක්‍රම යනාදී වශයෙන්වූ අංග සම්පූර්ණ පුහුණුවක්‌ එමගින් බෙදුම්වාදීන්ට ලැබිණ. ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කලක් රහසිගතව කරගෙන ගිය කටයුතු පසුව විවෘත රහසක් බවට පත්විය. දෙමළ බෙදුම්වාදීන් පුහුණුකල අය අතර ඉන්දීය බ්ලැක්‌ කැට්‌ කොමාන්ඩෝ ඒකකයේ ප්‍රධානියකු වන නග්රානි සහ ඉන්දීය පොලිස්‌ සේවයේ කටයුතු කරන ඒ. අර්ජුන්ද විය.
ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලියේ කලබල වන විට ශ්‍රී ලංකාවේ රෝ සංවිධානයේ ප්‍රධානියා වූයේ මැතිව් ඒබ්‍රහම්ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි රෝ නියෝජිතයා වූයේ රොමේෂ් ෂන්මුගම්ය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29 බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව සමඟ අත්සන්කර ගැනීමෙන් පසු ඉන්දීය ‘සාම’ සාධක හමුදා භටයින් 90,000ක් පමණ මෙරටට ගොඩ බැස්සේය. ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව රජීව් ගාන්ධිගේ තනි තීරණයකට ශ්‍රී ලංකාවට හමුදාව යැවූ බව ඉන්දීය විදේශ ඇමති වරයෙකු වූ නට්වාර් සිං 2014 අගෝස්තු 1 නිකුත්කල සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ.

වඩමාරච්චි මෙහෙයුම අතරතුරදී තමිල්නාඩු රජය මගින් උතුරේ දෙමළ ජනයා සඳහා අතවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් බෝට්ටු 19ක් සහනාධාර ලෙස 1987 ජුනි 2 නීති විරෝධී ලෙස මුහුදෙන් එවීමට තැත් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවට 1987 ජුනි 3 පස්වරු 6ට පැමිණියද ඇතුල්වීම නවතනු ලැබීය. පසුව ඉන්දියාව 1987 ජුනි 4 පස්වරු 3.15ට අනවසරයෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන යානා 5ක් ගුවන් මගින් පැමිණ උතුරට වියලි ආහාර සහ ඖෂධ ටොන් 25ක් හෙළුවේය. ජවිපෙ ආරම්භ කල කාලයේ සිටම ඉන්දීය ආක්‍රමණයක් පිළිබඳව අනතුරු ඇගවීමක් කර තිබිණි.අවසානයේ ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවෙන් 1990 මාර්තු 24 මුළුමනින් පිටව යෑම සිදුවූ අතර රෝ සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම කොටි සංවිධානය හමුවේ අසාර්ථක විය. ඉන්දිය හමුදාව උතුරු නැගෙනහිර සිටි කාලය තුළ සාමාන්‍ය වැසියන් 6,000කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කර ඇතැයි කොටි සංවිධානයේ දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් 1990 අප්‍රේල් 3 ප්‍රකාශ කළේය. මෙම ගැටුම් වලදී කොටි සංවිධානයේ සාමාජිකයන් අතින් ඉන්දිය සෙබළු 3000ක් මිය ගිය බවද තවත් ඉන්දිය භටයින් 4,000කට තුවාල සිදුවූ බවද බාලසිංහම් කියා තිබිණි. වර්තමාන ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිංද ඉන්දීය හමුදාවේ පවන් මෙහෙයුම සඳහා 1987දී යාපනය ඇතුළු උතුරු නැගෙනහිර මෙහෙයුම්වලට එක්වූවෙකි.

ශ්‍රී ලංකාවේ නේවාසික රෝ ඔත්තු සේවා ප්‍රධානියාවූ කේ. ඉලගෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අවසාන භාගයේ කල ඉල්ලීමටද අවසානයේ ඉන්දීය තානාපති කාර්යාලයට එකඟ වීමට සිදුවිය.අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ගනුදෙනු කල නිලධාරින් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමඟ තිබුණද ජවිපෙ සමඟ ඇයි හොදැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය.ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිප දෙනෙකි. ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිංගේ නායකත්වය යටතේ සේවය කල බ්‍රිගේඩියර් ජේ.එස්. ඩිලෝන්ද සහභාගිවී තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව පළාත් සභාවට 1988දී තරඟ කිරීමට ඉන්දියාව මගින් රුපියල් ලක්ෂ 400ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයට දෙවරකට ලබා දුන්නේය. පක්ෂය වෙනුවෙන් එය ලබා ගැනීමේ සාකච්ඡාවන්ට එක්වූයේ එහි ජේෂ්ඨ උප සභාපති ඔසී අබේගුණසේකර, ප්‍රධාන ලේකම් යකුපිටි පියසේන ද සිල්වා, ප්‍රේමසිරි පෙරේරා ඇතුළු කිහිප දෙනෙකි. එමෙන්ම රුපියල් ලක්ෂ 200 මුස්ලීම් කොංග්‍රසයටද වෙන් වෙන්ව තවත් පක්ෂ 3කට පමණ රුපියල් ලක්ෂ 50 බැගින්ද පළාත් සභාවට තරඟ කිරීමට අනුග්‍රාහක දායකත්වයක් ඉන්දියාවෙන් ලැබිණි. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම සඳහා කොටි සංවිධානයට ඉන්දිය රුපියල් දශ ලක්ෂ 520ක්ද ලබාදී තිබිණි. මේ පිළිබදව 1987 සැප්තැම්බර් 28 රජීව් ගාන්ධි සහ ප්‍රභාකරන් අතර එකඟත්වයක්ද ඇතිවී තිබිණි.ඉන්දු ලංකා ගිවිසුමෙන් 1987 ජුලි මස ගිවිස ගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කල 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 පළාත් සභා සංස්ථාපනය කරන ලදි.ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ සියළුදෙනා ජවිපෙ මගින් දේශදෝහීන් ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබලා ශ්‍රී ලාංකික අන්තිම දේශදෝහීයාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට ජවිපෙ සපථ කළේය.පළාත් සභා මැතිවරණයෙන් උතුරු නැගෙනහිර ජයගත් ඊ.පී.ආර්.එල්. එෆ් සංවිධානය වෙනුවෙන් එහි මහඇමති වූයේ වර්ධරාජා පෙරුමාල්ය. ඉන්දීය හමුදා සහායට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය හරහා ද්‍රවිඩ විමුක්ති හමුදාව නමින් 10,000ක් පමණ වූ දෙමළ පිරිසක් පුහුණු කරන ලද්දේද රෝ සංවිධානය මගිනි. මෙම කණ්ඩායම යටතේ ත්‍රී ස්ටාර් නමින් කණ්ඩායමක් පිහිටවූ අතර දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ තිප්පොලවල් සහ සාමාජිකයන් හඳුනා ගැනීමට එයට නායකත්වය දෙනු ලැබුවේද රෝ සංවිධානය මගිනි. මොරවැව සිංහල ගම්බිම්වලට පැන ඔවුන් සංහාරය කළේද මෙම ද්‍රවිඩ විමුක්ති හමුදාව මගිනි. උතුරු නැගෙනහිර පළාත් සභාව 1990 මාර්තු 1 ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මන්ත්‍රණ සභාව ලෙස නම්කල මහඇමති වර්ධරාජා ඊළමක්ද ප්‍රකාශ කළේය. ඔවුන් විසින් රජයට ඉල්ලීම් 19ක් ඉටුකිරීමට වසරක් කල් දුන් අතර ඒවා ඉටුකලහොත් නැවත පළාත් සභාව පිහිටුවන බවද ප්‍රකාශ කළේය. ජනාධිපති ප්‍රේමදාස රජයේ ආශිර්වාදය සහ අනුග්‍රහය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වෙත දැඩි ප්‍රහාර එල්ල කල අතර මහ ඇමති වර්ධරාජා ඉන්දියාවට පැනගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේය.ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය කුමාරතුංග විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව විජය කුමාරතුංග විසින් 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනයවීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් යවා තිබුණේද ඉන්දීය මැදිහත්වීමෙනි. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ඉන්දිය රෝ හරහා නඩත්තු විය.

ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්දිය භාණ්ඩ 1989 මැයි 14 සිට වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජවිපෙ ශ්‍රී ලංකාවේ සිටින සියළුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කළේය. ශ්‍රී ලංකාවට ආනයනය කරන සියළුම ඉන්දිය භාණ්ඩ 1989 ජුනි 14 සිට නතර කිරීමටද නියෝග කෙරිණි. එය ප්‍රකාශයට පත්කළේ 1989 ජුලි 6 නුගේගොඩදී 70,000කින් පමණ සහභාගි වූ දැවැන්ත රැළියේදීය. එමෙන්ම ඉන්දියාවේ සිට ආනයනය කරන බොම්බයි ලුනු, මයිසූර් පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළේ අළෙවිය තහනම් කළේය. ඉන්පසු වෙළෙන්දෝ බොම්බයි ලූනු ලොකු ලුනූ ලෙසද, මයිසූර් පරිප්පු පොඩි පරිප්පු ලෙසද හැදින්වීය. ජංගම වෙළෙඳන්දෝ බොම්බයි මොටයි සීනුව ගසමින් අළෙවි කළේ නයිස් මොටයි කියාය. ජවිපෙ ඉන්දියන් විරෝධයෙන් ජනයා භීතියට පත්වී තිබුණේ එසේය. ඉන්දීය භාණ්ඩ ආනයන කරන ව්‍යාපාරිකයින් ඒවා නතර නොකල විට ඔවුන්වද ඝාතනයට ලක්විය.ඒ අනුව පිටකොටුව 4 වන හරස් වීදියේ පී. බී. උම්බිච්චි සමාගමේ ගොඩනැගිල්ලේ දී එහි හිමිකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන හෝටන් පෙදෙසේ පදිංචි 9 දරු පියෙකු වූ ඉලේතම්බි ශන්මුගම්(72) සහ වැල්ලවත්තේ පදිංචි දෙදරු පියෙකු වූ ඉලේතම්බි සුබ්‍රමානියම්(70) යන සොහොයුරන් දෙදෙනා 1989 පෙබරවාරි 6 දහවල් 11.20ට වෙඩිතබා ඝාතනය කරන ලදී. ස්වයංක්‍රීය රිවෝලර් අතැතිව පැමිණි තරුණයින් තිදෙනා වෙඩි තැබීමෙන් පසු ඕල්කට් මාවත දිගේ කොටුව දුම්රිය පොළ දෙසට පළා ගොස් තිබිණි. කේ. ගුණරත්නම් 1989 අගෝස්තු 9 මරදානේදී, හෙප්තුල්ලාබොහී සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන් 1989 අගෝස්තු 18 කොහුවලදීද නාගින්ද්‍රාස් දෙහිවල පිහිටි ඔහුගේ කාර්යාලයේදී 1989 මාර්තු 31 පස්වරු 1.30ටද ඝාතනය කරන ලදී.

සීමාසහිත මොණරාගල සීනි සමාගමේ සේවය කල ඉන්දීය ජාතික නිලධාරින් වූ සීනි සමාගමේ ප්‍රධාන කෘෂි විශේෂඥ එස්. කේ. බන්සාල්(50), ඔහුගේ බිරිඳ(45), රාණි කෝටා යන තිදෙනා 1988 නොවැම්බර් 23 රාත්‍රී 12.30ට කැරළිකරුවන් විසින් වෙඩිතබා මරාදමන ලදී. එදින රාත්‍රී සමාගම භූමියට පැමිණි කැරළිකරුවන් කණ්ඩායම සමාගම සතු ඩෝසර් උපයෝගි කර ගොඩනැගිලි සහ කාර්යාල බිමට සමතලා කොට නිල නිවාස වල සිටි මෙම ඉන්දිය ජාතිකයින් තිදෙනා වෙඩිතබා ඝාතනය කරන ලදී. එහිදී සමාගමේ ඉඩම් කළමනාකරු සිංහ සේනානායකද ඝාතනයට ලක්විය. එම සිව් දෙනාගේ මළ සිරුරු මොණරාගල සිට ගුවන් මගින් 1988 නොවැම්බර් 26 කොළඹට ගෙන එන ලදී. එමෙන්ම ඉන්දීය ව්‍යාපාරිකයින්වූ ඩී.කේ. සුන්දරම් සහ පී. නඩාර් වීරමුණි 1989 ජුනි 23 හලාවතදීද ඉන්දිය භාණ්ඩ තහනමට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පලකල කොරියානු ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වූ කොරියානු ඉංජිනේරු ආන් හෝචි 1989 නොවැම්බර් 23 ගොකරැල්ලේදී ඝාතනයට ලක්විය.

පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි පේරාදෙණිය ඉංජි‍නේරු සිසු ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ සාමාජිකයින් 221 දෙනෙකු ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 මැගසින් බන්ධනාගාරයට කඩාවැදි නිදහස්කර කරගනු ලැබීය. අනතුරුව 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ සන්නද්ධ නායකයා ලෙස සිටියේ ප්‍රේමකුමාර්ය. ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ ආයුධ පැහැර ගැනීම ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් ප්‍රේමකුමාර්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම් කනුව අසළදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමටද ප්‍රේමකුමාර් ඇතුළු පිරිස සමත්වූහ. ප්‍ර ථමයෙන්ම සිදුකළේ කොනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දිය භටයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන අවි පැහැරගෙන මුහුදට දමන ලදි. එක් ඉන්දිය භටයෙකු එහිදී මියගොස් තිබිණි. පසුව පොලිස් සුනඛයින් යොදා පරික්ෂණ කිරීමේදී එම ප්‍රදේශයේම සඟවා තිබූ අවි දෙක සොයා ගැනීමට ඉන්දිය හමුදාව සමත් විය.ත්‍රිකුණාමල චින වරාය තෙල් සංකීර්ණයට අයත් ඩොල්ෆින් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේදී පැති බෝම්බ දෙකක් පිපිරවිමෙන් ඉන්දිය හමුදාවේ මේජර්වරයෙකු සහ ඉන්දිය හමුදා භටයින් 6 දෙනෙකු 1989 මැයි 22 ඝාතනය කිරිමටද ජවිපෙ කැරළිකරුවන් සමත් විය. ඉන්දිය භටයින් ශ්‍රී ලංකාවට ගෙන එන සහ ගෙන යන ඉන්දිය නැවට ගොඩවන සෙබළුන් මෙහි ඉලක්කය විය. ප්‍රථම බෝම්බය පිපිරී විනාඩි 20කට පසු දෙවන බෝම්බය පිපිරිණි. දිග වයරයකින් රේල් පාරේ සිට බිම් බෝම්බ පුපුරුවා හරින ලදි. මෙම බෝම්බය ආරක්ෂක අමාත්‍යාංශයද මුලදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය කැරළිකරුවන්ගේ සැලසුමක් නොවන බවය. මෙය කොටි සංවිධානය මගින් සිදුකර එකක් යැයි සැකකර දේවරාජා නැමැත්තෙකු අත්අඩංගුවට ගත් නමුත් පසුව සත්‍ය තොරතුරු අනාවරණය විය. සේරුනුවර දෙහිවත්තේ කුරේ හෙවත් කරූ, මනෝජ්, ටිරෝන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලයේ ජවිපෙ 5 කණ්ඩායමට ඇතුළත් විය. මේ අතර හමුදාවෙන් පැන ආ සෙබළුන් 2ක්ද විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජවිපෙ දිසා ලේකම් වූයේ සේන මච්චාගම හෙවත් කපිලය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රේමකුමාර් හෙවත් ගැමුණුය.

ත්‍රිකුණාමලය මුහුදේ ගිලි තිබූ පැරණි නැවකින් කැරළිකරුවන් විසින් ගොඩගත් වෙඩි බෙහෙත් තොගයක් ඇසුරෙන් සෙරඩෙක්ස් නම් රසායනික ද්‍රව්‍යය මගින් රොකට්ද නිපදවීම සාර්ථක ලෙස අත්හදා බලා තිබිණි. මෙය සිදුකළේ ඉංජිනේරු සිසුවෙකු වූ ශාන්ත ඇතුළු පිරිසක් විසිනි.
එමෙන්ම චීන වරාය ධ්‍යානාගම නිවාස සංකීර්ණයේ පොදු ලිඳ අසළ මුල්ලක ටයිම් බෝම්බයක් බේසමක බහා බාල්දියක බහා උඩ තුවායකින් ආවරණය කර පුපුරුවා හැරීමට 1989 මැයි මස 6 පස්වරු 4.10ට කැරළිකරුවන් සමත්වූ අතර එහිදී එම ලිදේ ස්නානයට පැමිණි ඉන්දිය හමුදා භටයින් 9ක්ද ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයෙක්ද, සිවිල් වැසියන් 2ක් ඇතුළු 12 දෙනෙකු මරුමුවට පත්විය. එම ලිඳට සාමාන්‍යයෙන් සවස්වරුවේ 20ක් පමණ ස්නානය සඳහා පැමිණේ.වසර 1989 මැයි 12 කන්තලේ ත්‍රී’මලේ පාරේ බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ටක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය හමුදා මේජර්වරයෙකු ඇතුළු සෙබළු 13ක් ඝාතනය කර ඔවුන් සියලු ආයුධ පැහැර ගැනීමටද ජවිපෙ කැරළිකරුවන් සමත් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ බලකාය 1989 මැයි 14 එහි වගකීම භාරගෙන පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශය නිදහස් කර ගැනීමේ අරගලයේ ඓතිහාසික පියවරක් ඉදිරියට තබමින් බිම් බෝම්බ තාක්ෂණය උපයෝගි කොටගෙන සිය සංවිධානයේ නැගෙනහිර පෙරමුණු බලඇණි විසින් මෙය සිදුකල බවය. අවසන් ඉන්දියන් සෙබලාත් පලවා හැර මාතෘ භූමියේ උතුම් නිදහස ස්ථාපිත කරන තුරු අරගලය ඉදිරියට ගෙන යන බව එහි වැඩිදුරටත් සදහන් විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ කැරළිකරුවන් විසින් සිදුකල ප්‍රහාරවලින් මියගිය ඉන්දිය හමුදා භටයින්ගේ සංඛ්‍යාව 29කි.

ඉන්දීය රෝ නිලධාරින් එම ප්‍රහාරය ජවිපෙ කල බව දැනගත් වහාම එය නතර කරන ලෙසට ජවිපෙ ඉහළ නායකත්වයෙන් ඉල්ලා සිටි බවද ජවි‍පෙ එම ආයාචනයට අනුගත වෙමින් ඉන්දීය හමුදාවට එරෙහි නැගෙනහිර සියළු ප්‍රහාරයන් නතර කල බවට මතයක් පවතී. එහෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුල් පෙළේ සන්නද්ධ කැරළි නායකයෙකු ලේඛකයා සමඟ පැවසුවේ ප්‍රහාර නතර වූයේ ප්‍රේමකුමාර් සහ දෙහිවත්තේ කුරේ අත්අඩංගුවට ගැනිමෙන් පසුව බවය.එකල ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ දකුණු ඇතුළු පළාත් 7 භාර දේශපාලන ලේකම්වරයා ලෙස මහ කොමසාරිස් ඩික්සිත් විසින් පත්කර තිබූ සික් ජාතිකයෙක් වූ ගුරුජික් සිංය. උතුරු නැගෙනහිර භාරව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ලේකම් ලෙස කටයුුතු කළේ දෙමළ බ්‍රහ්මණ වංශිකයෙකු වන එස්. අයි ශංකර්ය. කේරල ජාතික කතෝලිකයෙකු වූ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් වූයේ රෝ සංවිධානය සමඟ සම්බන්ධීකරණ කටයුතු වල නිරත වූ ජෝෂොප් තරිලාල්ය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වූයේ නිරුපන් සෙන්ය. ඉන් පසු කිසිදිනක ඉන්දීය හමුදාවට එරෙහිව ජවිපෙ මගින් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුමක් සිදු නොකරන ලදී.

ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24 ශ්‍රී ලංකික හමුදා අත්අඩංගුවට පත් වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. එයට පෙර 1987 ඔක්තෝබර් 25 ජවිපෙ මගින් මහනුවර පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ජවිපෙ ඩී.එම්. ආනන්ද ඇතුළු ඉහළ පෙළේ නායකයින් දෙදෙනෙකු කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ රෝ නියෝජිත ජෝෂප් තරිලාල්, දකුණු ඇතුළු පළාත් ලේකම් ගුරුජිත් සිං සහ නියෝජ්‍ය මහා කොමසාරිස් නිරුපන් සෙන් සමඟ සබදතා ගොඩනගා ගෙන තිබුණ බව කියති.ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර ප්‍රධාන සම්බන්ධකම ගොඩනගන ලද්‍දේ කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ මැදිහත්වීමෙනි. ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු ආරක්ෂක හමුදා මගින් 1989 දෙසැම්බර් 27 රාත්‍රී නාවල කොස්වත්තේදී අත්අඩංගුවට ගනු ලැබුවේද රිචඩ් ද සොයිසා විසින් සොයාදුන් කුලී නිවසක සිටින විටය. සෝමවංශ අමරසිංහට සහ ඔහුගේ දරු පවුලට කැළණිය ප්‍රදේශයෙන් රහසිගතව ජීවත්වීමට 1989 අවසාන භාගයේදී නිවසක් සොයා දුන්නේද රිචඩ් ද සොයිසාය. ජවිපෙ-රෝ කපුකම කල වරදට අවසානයේදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට නාවල වැලිකඩ වත්තේ නිවසින් රිචඩ් ද සොයියා ආණ්ඩුව මගින් පැහැරගත් අතර ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 19 පස්වරු 4ට මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ මුහුදු වෙරළින් මතුවිය.

ජවිපෙ දේශපාලන සභික සෝමවංශ අමරසිංහට ඉන්දියාවට යාමට වීසාද ඉන්දීය තානාපති කාර්යාලය මගින් 1989 දෙසැම්බර් මස ලබා දෙන ලදී. සෝමවංශ ඉන්දිය තානාපති කාර්යාලයට ඒ සඳහා ගියේ ඊශ්වර් බ්‍රදර්ස්හි තොග කලමණාකරුවෙකු වශයෙන් කලක් සේවය කල කොටහේන අල්විස් ඇවනිව්හි පදිංචි මාතලේ වික්‍රමසිංහම් නොහොත් සෙල්වා සමඟය. සෝමවංශ අමරසිංහ විසින් කුරුණෑගල ලිපිනයක පදිංචි මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් 1989 නොවැම්බර් 23 මෙම ගුවන් බලපත්‍රය සියළු රටවල්වලට වලංගු පරිදි ලබාගත්තේ හැදුනුම්පත් 470721049V මගිනි. එහෙත් ඉන්පසු ආරක්ෂිත පියවරයක් ලෙස ඉන්දියාවට බෝට්ටුවක් මගින් පලායන සෝමවංශට සෞදි අරාබියේ සේවය කරන ඉන්දියානුවෙකුගේ නිවසේ රැකවරණය දෙනුයේද ඉන්දියානු සහායෙනි. සෝමවංශගේ බිරිඳ සහ දරුවාද කලින් එහි ගොස් තිබිණි. ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු 1989 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්වා ඉන්දියාවට ගිය ජවිපෙ ක්‍රියාකාරිකයින් 400කට ආසන්න පිරිසකට තාවකාලික දේශපාලන රැකවරණය ලබාදීමට මැදිහත් වූයේද ඉන්දියානු රෝ සංවිධානය වේ. එම ජවිපෙ ක්‍රියාකාරීන් පසුව යුරෝපයේ රටවල් වලට විවිධ මාර්ග වලින් සංක්‍රමණය විය. සෝමවංශ අමරසිංහට ඉන්දියාවේ සිට තායිලන්තයට ආරක්ෂිතව යාමට පහසුකාරකයා වන්නේද ඉන්දියාවය.

අබ්දුල්ලා වෙනුවෙන් මාලදිවයිනේ බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්ලොට් සංවිධානය 1988 නොවැම්බර් 3 මාලදිවයිනට කල සංවිධානාත්මක ප්‍රහාරය සිදු කළේද රෝ සංවිධානයේ සැලසුමක් අනුවය. ඒ සඳහා ප්ලොට් සංවිධානයට ගෙවන ලද මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හය හමාරකි. එය පරාජය කිරීමට අවසානයේ හැකිවූයේ එයට පසුදින ඉන්දියානු ගුවන්යානා වලින් මාලදිවයිනට පැමිණි ඉන්දිය පැරෆුට් භටයින් 150ක‍ගේ කණ්ඩායමකටය. එම ප්ලොට් සාමාජිකයින් මාලදිවයින ආක්‍රමණය සඳහා පිටත්ව ගොස් තිබුණේ කල්පිටිය සහ මන්නාරම මුහුදු තීරය ඔස්සේ බහුදින යාත්‍රා මගිනි. එකල ප්ලොට් සංවිධානයේ කඳවුරක් පිහිටා තිබුණේ පුත්තලම මන්නාරම පරණ පාරේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මරිච්චිකට්ටියේය. එකල මාලදිවයිනේ සිටියේ 1,200ක පමණ වූ සිවිල් ආරක්ෂක බලකායේ පිරිසකි. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියානු ‘රෝ’ භූමිකාව ‍කොතරම් සංකීර්ණදැයි මින් පැහැදිලිය.ජගත් දේශපාලනයේ ප්‍රතිවිරෝධයන්ට අනුරූපීව කලාපීය දේශපාලනය තුළ බලවේගයන්ගේ හැසිරීම සිදුවේ. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාවේ බලහත්කාරී දේශපාලන භූමිකාව තහවුරු කරන බොහෝ සාධක ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබද ඉන්දියාව සිදුකල මැදිහත්වීම් තුළ ඉතා පැහැදිලිව විද්‍යාමාන විය……”ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙනි”(වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන ‘ජවිපෙ 2වැනි කැරැල්ල” ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1,289ක් ඇතුළත්ය.මිල රුපියල් 1,500/-කි. “ජවිපෙ 2වැනි කැරැල්ල” ග්‍රන්ථය මිලදී ගන්නේනම් නුගේගොඩ සරසවි සහ දිවයින පුරා පිහිටි එහි ශාඛා වලින්ද, මරදාන සුරස, ගොඩගේ, දයාවංශ ජයකොඩි, නුගේගොඩ කියවන නුවණ, රාජගිරියේ සුපිපි, කොටුවේ එම්. ඩී. ගුණසේන සහ එහි සියළුම ශාඛා වලින්ද, කොහුවල විජිත යාපා සහ සියළු ශාඛා ඇතුළු පොත් සාප්පු වලින්ද ලබාගත හැකිය. වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 / 011-5234384 යන දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com විමසිය හැකිය.)

Image may contain: 1 person
Advertisements


අනවශ්‍ය දේවල්

  • 184,007 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2018
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: