28
ජන.
17

ගැහැනු දරුවන්ට වැල්ලේ හෙලුවෙන් සිටින්නට අවසර දිය යුතු ය.

http://www.helabima.lk/

යුද්ධ කා‍ලයේ දේශීය, විදේශීය වෙබ්, පුවත්පත්, සගරාවල පළ වූ ලිපි 2000ක පමණ එකතුවක් මා සතුව තිබේ. ඒවා නැවත විමර්ශනය කරන විට ඉස්මතු වන්නේ ඇත්තටම, ‘යුද්ධය කළේ කොහොමද?’ කියන ගැටලුව ය. මහින්ද පාවා දුන් මෛත්‍රී වැන්නෝ ය. ගෝඨා ගේ අණට කීකරු නැති ෆොන්සේකා වැන්නෝ ය. සියල්ලට කට දාන ජේ.වී.පී. වැන්නෝ ය. මහින්ද ගේ ජන්මාන්තර ‍වෛරක්කාරයකු වන පාඨලී වැන්නෝ ය. මහින්ද, වහකදුරු කරගත් රතන හිමි වැන්නෝ ය. දිය යටින් ගින්දර ගෙන යන රාජිත වැන්නෝ ය. අමෙරිකාව ප්‍රමුඛ බටහිරට අවශ්‍ය දේ කරන රනිල් වැන්නෝ ය. ජාත්‍යන්තර න්‍යායපත්‍ර අතට ගත් ටී.එන්.ඒ. වැන්නෝ ය.

එහෙත් කිසිදු පාවා දීමක් සිදු වූ බවක් පෙනෙන්නට නැත. කොටි සංවිධානයේ ප්‍රධාන නායකයන් 50 දෙනෙකු සමග ඔවුන් ගේ පවුල් බේරා ගැනීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මැලේසියාවේදී සැලසුම් කළ lock off සැලසුම ද ව්‍යර්ථ කරමින්, යුද්ධයට නායකත්ව දුන් රජයේ සහ හමුදා ප්‍රධානීන් ගේ පවුල්වල ජීවිත පරදුවට තබමින් ප්‍රභාකරන් ඇතුඵ කොටි නායකයන් සමූල ඝාතනය කිරීමට ගත් තීරණය සැබැවින්ම පුදුම සහගත ය. ඒ මොහොත කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමේ මොහොත ම ය. සියල්ල ටක්කෙට හරි ගියේ ය.

එහෙත් අද?

රට කැද හැලියකි.

මාගේ ලිපි එකතුවේ තිබෙන වැදගත් ලිපි අතර, ගෝමින් දයාසිරි මහතා, 2009 ජනවාරි 13 වැනිදා Asian Tribune වෙබ් අඩවියට ලියා තිබෙන After Prabhakaran-what next? මාගේ අවධානයට ලක් වූ එක් සුවිශේෂී ලිපියකි. එය ආරම්භ කර තිබෙන්නේ මෙසේ ය.

A Prabhakaran dead can be more menacing than a Prabhakaran alive. (ජීවත් වන ප්‍රභාකරන් කෙනකුට වඩා, මියගිය ‍ප්‍රභාකරන් කෙනකු බෙහෙවින් තර්ජනකාරී විය හැකි ය.)

ගෝමින් මහතා මේ ලිපිය ලියා තිබෙන්නේ, 2009 ජනවාරි මාසයේ ය. එනම් ප්‍රභාකරන් ඝාතනය වන්නට මාස 4කට පමණ පෙර ය. ඔහු ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතු සැබෑ බුද්ධීමතකු වන්නේ ඒ නිසා ය. ජාතියට සිදු කළ මෙහෙවරක් ලෙස, ගෝමින් මහතා, ලියූ මේ තනි වාක්‍යය පමණක් වුව සෑහේ. ඔහු 2009 දැක ඇත්තේ, අද, එනම් 2015දී සිදු වෙමින් පවතින තිත්ත ඇත්ත ය.

අන්තර්ජාතික දේශපාලන ක්‍රියා ගැන නිසි අවබෝධයක් නැති, ගොබ්බ සිංහලයන් බහුතරයකට නො වැටහෙන යථාර්ථය ද මෙය ය. වැටහෙන්නෝ පැස්බර ව්‍රතයෙන් හිස වැල්ලේ ගසා ගෙන, රටට පශ්චාත්භාගය පෙන්වමින් සිටිති. අජූව ය.

යටත්විජිත සමයේ මෙරටට ආ ජොන් ඩොයිලිලා, සිංහල, පාලි, සංස්කෘත භාෂා මැනවින් හදාරා, ගැමියන් මෙන් හැසිරෙමින්, විට කමින්, කඩපොළවල රංචු ගැසෙමින් සිංහල සමාජයේ ඇතුළාන්තය හොදින් වටහා ගන්නට වැඩ කළේ ය. සිංහලයන් ගේ දක්ෂතා ද, හැකියාවන් ද, ප්‍රබලතා ද, දුර්වලතා ද, මැනවින් හැදෑරුවේ ය. අවසානයේ සියල්ල එංගලන්තයට වාර්තා කළේ ය.

ඔහු ගේ කෛරාටිකම, කොපමණ ද යත්, අදටත් සිංහලයන්ට තේරුම් ගත නො හැකි වන ආකාරයේ, ජනකතා වර්ග නිර්මාණ ක‍ළේ ය.

මහදැනමුත්තා ගේ කතා, ගමරාළ ගේ කතා යනු ඒවා ය.

ඒ කතාවලට අනුව ගමේ, ගමරාළ යනු මෝඩයෙකි. ගමේ මිනිසුන්ට දැනමුතුකම් දුන් මහදැනමුත්තා මෝඩයෙකි. ගොබ්බ සිංහලයෝ අදටත් ඒ ජොන් ඩොයිලි ගේ කථා කුඩා දරුවන්ට මහත් උවමනාවෙන් කියා දෙති. තමන් ජාතක වී තිබෙන ජාතිය, පට්ට මෝඩ ජාතියක් බව කියා දෙති.

අදටත්, ලංකාවේ ඕනෑම පොත් කඩයකින් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා සංස්කරණය කළ, ගොඩගේ ප්‍රකාශන ‘මහදැනමුත්තා ගේ කතා මාලාව’ මිල දී ගත හැකි ය. මිල දී ගන්නෝ ය. (මහාචාර්ය ජේ.බී. කොපමණ සිංහල සමාජයට ආදරේ කරන්නකු වුවත්, මේ යටිකුරු දේශපාලනය දන්නේ නැත.)

‘සිංහලයා මෝඩයා-කැවුම් කන්න යෝධයා’ යනු ජොන් ඩොයිලිලා ගේ ව්‍යාපෘතියේ වැඩ ය. මේවා අද ජාතික මත බවට පත් ව තිබේ. ‘ජනවාරි 29දා අතුරු අයවැයෙන් අපි මිනිස්සුන්ට බඩ කට පුරා කන්න දෙනවා’ යයි රාජිත ‍සේනාරත්න කීවේ ද ඒ අනුව ය.

සිංහල ජාතියට අවමන් කරමින් ජොන් ඩොයිලි සිදු කළ අධ්‍යාත්මික විනාශයට එරෙහි ව, කුමාරතුංග මුනිදාස සූරීන් ලියු ‘හීන්සැරය’ පිළිබද ව අපට වගේ වගක් නැත.

අද ‘හීන්සැරය’ යනු ඇඩ් ඒජන්සියකි.

වර්තමාන‍යේ සිංහල සංස්කෘතියට අවමන් කරමින්, සිංහල උරුමය විනාශ කරමින් සිටින පිරිස් උවමනාවටත් වඩා සිටිති. ඔවුන්ට සමාජයේ වෙසෙස් තැන් හිමි වේ. අද බුද්ධිමතා යනු, සිංහල සමාජයට, සිංහල සභ්‍යත්වයට ගරහන්නා ය.

යටත්විජිත සමයේ සිංහල සමාජය අධ්‍යාත්මික ව බිද වට්ටන අතරේ, ඉංග්‍රීසි ආණ්ඩුව විසින් උතුරු ප්‍රදේශයේ ඉහළ පහසුකම් සහිත අධික පාසල් සංඛ්‍යාවක් ගොඩ නැගිණි. ඔවුන් හැකි පමණ අධ්‍යාපනයට යොමු කෙරිණි. අවසානයේදී රජයේ තනතුරු සදහා ඔවුන්ට වැඩි ඉඩකඩක් වෙන් කෙරිණි. නව දෙමළ බුද්ධිමතුන් ගේ සමාජ පන්තියක් නිර්මාණය කර ගැනිණි. අනාදිමත් කාලයක් සිට පැවතුණු සිංහල සමාජයේ සහජීවනයෙන් වෙන් කෙරුණු බෙදුම්වාදී දෙමළ සමාජයක් ගොඩ නැගිණි. අවසානයේදී ඊට දේශපාලනික මුහුණුවරක් ආරූඪ කරමින් මැලේසියානු ජාතිකයකු වූ චෙල්වනායගම් මෙරටට ආනයනය කළේ ය. වාර්ගික අරමුණක් ඔස්සේ, ‘උතුරේ කිරුඵ නොපළන් රජු’ යයි කී ඔහු ලවා, ‘ෆෙඩරල් ක්‍රමය’ යෝජනා කෙරෙව්වේ ය.

දෙමළ අර්බුදය ඇති කරන ලද්දේ එසේ ය.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ඇද වැටී තිබුණු, දෙමළ මුස්ලිම් සමාජ දැන් අවදි වෙමින් තිබෙන බව එහි ගොස් ගැඹුරින් තොරතුරු විමර්ශනය කරන්නකුට හොදින් අවබෝධ කර ගත හැකි ය. කොටි සංවිධානය වැනි අන්තවාදී සංවිධාන කවර ව්‍යසනයක් රටට සිදු කළ ද, දුප්පත් ගෙවල, ඇතැම් විට කදවුරුවල සිට අධ්‍යාපනය හදාරන දෙමළ, මුස්ලිම් දරුවන්ට ආදරය කළ හැකි තරමේ පුඵල් හදවතක් අපට තිබිය යුතු ය.

කිලිනොච්චි ප්‍රදේශයේ සිට ඉදහිට මට දුරකථනයෙන් කථා කරන, කිසිදා දැක නැති, අමරසිංහ නම් වූ හමුදා භටයෙක් සිටී.

‘සර්, මෙහේ දෙමළ දරුවන්ට පොත් නැහැ. ඇදුම් නැහැ. කාට හරි කියලා මොනවා හරි උදව්වක් කරන්න සර්, පව් සර්’ ඔහු කියන්නේ ය. මම ඔහුට හැකි පමණින් උදව් කර ඇත්තෙමි.

මේ සිංහල යුද භටයා යනු කවරෙක් ද?

උතුරේ දෙමළ ජනතාව ඝාතනය කරන්නට ගියා යයි කියන, තරුණියන් දූෂණය කරන්නට ගියා යයි කියන, ආණ්ඩුවේ පඩි කන බව කියන හමුදා භටයා ය.

පසුකාලයක අමරසිංහ මට කථා නො කරන කාලයක් උදා විණි. ඉන්පසු යළිත් දිනයක දුබල හඩින් කථා කළේ ය.

‘මොකද අමරසිංහ?’ මම අැසුවෙමි.

‘පොඩි කරදරයක් වුණා, සර්’ අමරසිංහ කීවේ ය.

‘මොකක්ද?’

‘නෝනා දික්කසාද නඩුවක් දැම්මා…දන්නේ නැද්ද සර්, මං මෙහේම නේ ඉන්නේ’

දෙමළ දරුවන්ට ආදරය කරන්නට ගිය අමරසිංහ, අවසානයේදී තමන් ගේ පෞද්ගලික ජීවිතය ද විනාශ කර ගත්තේ ය.

මේ, අමරසිංහ ගේ කථාව අතුරු කථාවකි.

මෙවැනි මිනිසුන් ගේ ද උදව්වෙන් අද ඉගෙන ගනිමින්, උසස් අධ්‍යාපනයට යොමු වන දෙමළ, මුස්ලිම් දරුවන්ට පිටිබල දෙන දැවැන්ත යටිතළ පහසුකම් සංවර්ධනයක් උතුරු/නැගෙනහිර ප්‍රදේශයන්හි සිදු ව තිබෙන බව ද සදහන් කළ යුතු ය. එ් ගැන අපට ඇත්තේ සතුටකි. විශේෂයෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ පාළම් ඉදි කිරීම නිසා, ඒ ප්‍රදේශයන්හි දරුවන් ගේ ගමන් කාලය, පැය 6-7 සිට පැය 1 1/2, 2 දක්වා අඩු වී තිබේ. දැන් එහි ආසන්න නගරවල පෞද්ගලික පන්ති ගොඩ නැගී තිබේ. ඔවුන් මෙතෙක් කලක් තිබුණු අසීමිත අධ්‍යාපන පිපාසය මෙකල සන්සිදුවා ගනිමින් සිටිති. එය සුබවාදී දෙයකි. රටට යහපතකි. පිනකි.

එහෙත් ඒ සමග සිදු විය හැකි අනාගත අනතුරක් ද තිබේ.

ඔවුන් ඉගෙන ගන්නා අතරේ, සිංහල දරුවෝ ටින්-ටින් බලමින් සිටිති. සුපර්මෑන්ලා එක්ක ජීවිත ගෙවති. හැරිපෝටර් කියවති. කඩචෝරු කමින් සිටිති. ක්ෂණික ආහාරවලට පිස්සු වැටෙති. පකිස්ථානයෙන් ගෙන්වන මත්ද්‍රව්‍ය සහ බාබුල් විටට හුරු වෙමින් සිටිති. ටෙලිවිෂන් දුරාචාරයට ඇබ්බැහි වෙති. රටේ අැති වෙමින් තිබෙන අවදානම්සහගත ලිංගික සමාජ ප්‍රවණතාවන්ට ගොදුරු වෙමින් සිටිති.

සමාජ සංවර්ධනය වෙනුවට තම තමන් ගේ ලිංගික අසහන සදහා ප්‍රතිකර්ම සොයන විපරීත සිංහල බුද්ධිමත් ගොබ්බයන් ගේ නිර්දේශ, අද ප්‍රතිමාන බවට පත් වී තිබේ.

‘අප ගේ ගැහැනු දරුවන්ට ඉරිදාටවත් මුහුදු වැල්ලේ හෙලුවෙන් සිටින්නට අවසර දිය යුතු ය’යි කීවේ, ආචාර්ය ලියනගේ අමරකීර්ති ය.

‘අප රටත්, ගෑනුන් ෂෝකේස්වල දමා විකුණන බටහිර දියුණු සමාජ තත්ත්වයට ළගා විය යුතු බව’ කීවේ ආචාර්ය චන්දන පාලිත ය. (චන්දන පාලිත යනු ප්‍රවීණ නිළි කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ සැමියා ය. සෝමලතා සුභසිංහ මහත්මිය ගේ බෑණා ය. )

ඒ අනුව ඉතිහාසය නැවත වරක් සිදු වනු ඇත.

‘Beggars cannot be choosers’ හෙවත් ‘හිගන්නන්ට තෝරා ගැනීම් නැත’ යනුවෙන්, සිංහල සමාජයට එරෙහි ව, කොටි සංවිධානය අන්තර්ජාතික ව සිදු කළ මෙහෙයුම් සාර්ථක වනු ඇත.

යටත්විජිත සමයේ සැලසුම්සහගත ව සිදු කෙරුණු අාකාරයට, රටේ වගකිය යුතු තැන්වලට සුදුසුකම් මත පත් වීමේ අවස්ථාව සිංහල සමාජයට අහිමි වනු ඇත. ඉන්පසු සිදු වන්නේ දෙමළ, මුස්ලිම් සමාජයට එරෙහි ව ‘කෝටා’ ඉල්ලීම ය. විවිධ අන්තවාදී සංවිධාන බිහිවීම ය. රතන හිමි-පාඨලී වැනි අමුතු ගේම්කාරයන් බිහි වීම ය.

රට ලේ විලක් වීම ය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2017
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: