23
Sep
16

ජාතිවාද, වර්ගවාද, ආගම්වාද, හා කුළවාද ඇති සිංහල දෙමල සංහිඳියාව

සාකල්‍ය දෘෂ්ටිවාද මතුවීම

ගණනාථ ඔබේසේකර

අනගාරික ධර්මපාල
අනගාරික ධර්මපාල

විටින් විට බලයට පත්වන ශ‍්‍රී ලාංකික ආණ්ඩු මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය ද මඩකලපු ප‍්‍රදේශයට ආවේණික සුවිශේෂත්වය වටහා ගැනීමට අපොහොසත් වූහ. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ දෙමළ සහ සිංහල යන්න සියලූ ආකාරයේ අනන්‍යතා සහ සංස්කෘතික විවිධතා යටපත් කල ප‍්‍රතිවිරෝධී ප‍්‍රවර්ග දෙකක් ලෙස බෙදුනු දෙපාර්ශවයෙන්ම වර්ධනය වන දෘෂ්ටිවාද නිසාය. මිනිසුන් දේවල් සැබෑ යැයි නිර්ණය කරන්නේ නම් ඒවායේ ප‍්‍රතිඵල අතින්ද ඒවා සැබෑවක් බවට පත් වේ යන සුප‍්‍රසිද්ධ සත්‍යය කරණකොට ගෙන මෙම ප‍්‍රතිවිරෝධී ප‍්‍රවර්ග සතුව තමන්ගේ අනාවැකි තමන්ටම ඉටුකර ගැනීමේ බලය ඇත. ශ‍්‍රී ලංකාව තුළ පුළුල්ව පැතුරුණු විවිධාකාර ජනවර්ග හඳුනාගැනීමේ මෙම සම්මත ලේබල් දෙක සතුව දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඒවා අත්‍යන්තයෙන්ම සාරාත්මීකරණයට පත්ව තිබුණේ පසුගිය අවුරුදු සියයක පමණ කාලය පුරාය. එතෙකුදු වුවත්, වර්තමානයේ පවා මෙම අළුතින් වැඩුණු ජනවාර්ගික විභේදනයේ ස්වරූපයෙන් ගත කළ ද සිංහල ජනයාගෙන් හෝ දෙමළ ජනයාගෙන් එක්සත් යමක් යුක්ත නොවේ. මෙම පරිකල්පිත සහ සැබෑ ඒකත්වයන් යටින් ඇත්තේ බරපතළ ආගමික සහ කුල වෙනස්කම් වන අතර කුලය යන්න සිංහල ජනයා සහ දෙමළ ජනයා අතර තමන් එය පවතින බව ප‍්‍රතික්‍ෂේප කිරීමට තැත් කරන විට පවා අනවරත සංසිද්ධියකි. තවද, තම ජනවාර්ගික අනන්‍යතාවය දෙමළ නොවන එහෙත් මුස්ලිම් වන සහ මේ නිසාම අනෙක් පරිකල්පිත ප‍්‍රජාවන්ගෙන් වෙනස් කොට දැක්වෙන දෙමළ කතා කරන මුස්ලිම් ජනයා පිළිබඳ විශේෂ කාරණය ද ඇත. කරුණු තවදුරටත් සංකීර්ණ කරන්නේ නම් බි‍්‍රතාන්‍යයන් විසින් තේ වතු සඳහා ලාභ ශ‍්‍රමයක් ලෙස ගෙනෙන ලද වතු දෙමළ යැයි පවසන ජනයා ඇත. මේ ආකාරයෙන් 19 වන ශත වර්ෂය අවසානය වන විට සිංහල ජනයා අතරෙහි “දෙමළ ජනයා” දෘශ්‍යමාන වන්නට වූයේ පුරාණ දෙමළ ප‍්‍රජාවන්, සැබැවින්ම ඔවුන් සිංහල ප‍්‍රදේශ වල ජීවත් වූ රාජ්‍ය සේවකයන් වෘත්තිකයන් සහ වෙළෙන්දන් නොවූයේ නම්, උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වලට භෞතිකව වෙන්වී බොහෝ දුරට සිංහල ප‍්‍රජාවන්ගේ සමීපත්වයෙන් දුරස්ථව සිටි තත්වයක් තුළය. ජනවර්ග පිළිබඳව සැක සංකා ඉපදීමට පටන් ගැනුනේ අළුතින් මතුවුණු සිංහල ජාතිකවාදීන් තමන් අතර සිටි හෝ තේ වතු වලින් පිරුණු පළාත් හරහා ශ‍්‍රී පාද වන්දනාවේ යෙදුන අතරතුරේ දී දුටු විජාතික දෙමළ කතා කරන ප‍්‍රජාවන් පහත් කොට දැකීමෙන් බව ප‍්‍රංශ ශාස්ත‍්‍රඥයෙකු වන එරික් මේයර් විශ්වාස කිරීම සාධාරණ බව මම සිතමි.

19 වන ශත වර්ෂය මැද සිට 20 වන ශත වර්ෂය මුල දක්වා සිංහල සහ දෙමළ ප‍්‍රදේශ වල ආගමික ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාර වල බිහිවීම සිදුවන බව අපි දැන් දකිමු. අනගාරික ධර්මපාලගේ නායකත්වය යටතේ බිහි වූ සිංහල බෞද්ධ ප‍්‍රතිසංස්කරණය දෙමළ, මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ජනයා යම් ආකාරයකට පිටස්තර ලෙසත් මුළුමනින්ම පරිකල්පිත ජාතිකයක අංගයක් නොවන ලෙසත් සැලකු සිංහල බෞද්ධ අනන්‍යතාවයක් සහ ජාතිකත්ව දෘෂ්ටිවාදයක් නිර්මාණය කළේය. දෙමළ ප‍්‍රදේශ වල පවා තරමක් වෙනස් ව්‍යාපාරයක් ආරම්භ වූයේ පසුව නාවලර් හෝ “බසෙහි සමත්” යන විරුදනාමය ලද ආරුමුග පිල්ලේගේ නායකත්වය යටතේය. මෙම ව්‍යාපාර දෙකේම නායකයෝ ප්‍රොතෙස්තන්ත මිෂනාරී පාසල් වල අධ්‍යාපනය ලද අතර ඔවුහු පොදුවේ මිෂනාරීන්ට සහ ක‍්‍රිස්තියානි ආගමට තදින් ප‍්‍රතික‍්‍රියා දැක්වීම අරුමයක් නොවේ. මෙම නායකයන් දෙපලම පරිකල්පිත මහා සම්ප‍්‍රදායක් යථාර්ථයක් බවට පත් කළ අතර එය ධර්මපාලගේ පැත්තෙන් ගත් කළ නූතනත්වයට සහ බෞද්ධ ජාතිකවාදයට අනුරූප ප‍්‍රතිසංස්කරණ බුද්ධාගමක් බිහිකිරීමේ අපේක්‍ෂාවකි. ඒ හා සමාන ලෙසම නාවලර්ගේ පැත්තෙන් ගත් කළ සංකාර සහ මානික්කවාසගර් වැනි පසුකාලීන ගූඨ ඍෂිවරයන්ගේ දාර්ශනික කෘති මත පදනම් වූ අන්ත විදග්ධ ආගමික සම්ප‍්‍රදායක් වූ හින්දු ශෛව සිද්ධාන්තවාදය යථාර්ථයක් බවට පත් කිරීමකි. මෙම දෙපලම ප‍්‍රාදේශීය දේවතාවන් වන්දනා කළ සක‍්‍රීය ජනප‍්‍රිය සම්ප‍්‍රදාය කෙරේ ගෞරවයක් නොදැක්වූ තරම්ය. දෙදෙනාම පත්තිනි – කන්නකී ඇදහිල්ල සහ ඒ හා බැඳුණු යාතුකර්ම ප‍්‍රසිද්ධියේ අවඥාවට ලක් කළහ. මෙම දෘෂ්ටිවාදයන් දෙකම ආකර්ෂණය වූයේ මිෂනාරී පාසල් වලින් මතුවුන නව බුද්ධිමතුන් පංතියට බව කිවමනා නොවේ. යටත් විජිතවාදය ඔස්සේ ඉහළින්ම උගත් ද්විභාෂික ප‍්‍රභූ පංතියක් බිහිකල යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම එය එසේ විය. මෙම වෙනස්වීම් සම්බන්ධ වැදගත් කරුණු නම් ද්‍රවිඩියානු ජන ආගමික යාතු කර්ම වලට බැඳී පැවතුණ නැගෙනහිර වෙරළට මේවා මඳ වශයෙන් ව්‍යාප්ත වීමයි. කෙසේ නමුත්, මඩකලපු ප‍්‍රදේශයේ ප‍්‍රභූන් බොහෝ සෙයින් ආභාෂය ලැබුවේ රාමකි‍්‍රෂ්ණ ව්‍යාපාරයෙනි. මගේ ක්‍ෂේත‍්‍ර පර්යේෂණ සමයේ ප‍්‍රාදේශීය මට්ටමෙන් මා දුටු දෙය නම් ප‍්‍රාදේශීය කෝවිල් තුළට සංස්කෘත දේවතාවන් වැඩි වැඩියෙන් අන්තර්ගත කර ගැනීම සහ මාතෘ දේවතා ඇදහිලි වල ආනුභාවයට මූලිකව ලක්වී තිබූ නැගෙනහිර වෙරළේ කෝවිල් වෛදික ශෛලියේ යාතුකර්මීය දින රටාවකට ක‍්‍රමිකව පරිවර්තනය වීමකි. මෙම ප‍්‍රදේශ එල්.ටී.ටී.ඊ. යේ ආධිපත්‍යය යටතට පත්වූ පසු මෙම ජනප‍්‍රිය වන්දනා රටාවල ඉරණම කෙසේ වී දැයි මම නොදනිමි.

ආරුමුග පිල්ලේ
ආරුමුග පිල්ලේ

ධර්මපාලගේ සහ නාවලර්ගේ ප‍්‍රතිසංස්කරණ වලට වඩා, විශේෂයෙන්ම ධර්මපාලගේ ජාතිකවාදය මත පුළුල්ව පදනම් වූ බුද්ධාගම මෙන් නොව, ශෛව සිද්ධාන්ත ව්‍යාපාරය අව්‍යාජ ආගමික සහ ආචාර ධාර්මික ව්‍යාපාරයක් වුවත් සංඛ්‍යාත්මක වශයෙන් අධිපති පමණක් නොව, කුඩා ඉඩම් ප‍්‍රදේශය පිළිබඳ සැලකිල්ලට ගත් කල, කෝවිල් භාරකාරත්ව පාලනය සහ මෑතක් වන තුරුම පාර්ලිමේන්තු ආසන සහ රජයේ රැකියා හා වෘත්තීන් හැසිරවීම ඔස්සේ එම අධිපතිභාවය පවත්වාගෙන යාමට ද හැකිවූ උගත් වෙල්ලාල කුලය මත එය සතුව දැඩි බලපෑමක් තිබුණ බව මගේ විශ්වාසයයි. කරයියාර් ප‍්‍රජාවට යාපන රජවරුන්ගේ සමයේ නාවිකයන් සහ කුලී භටයන් ලෙස වැදගත් භූමිකා තිබුණ ද, පෘතුගීසී යුගයන්හි ඔවුනට තවදුරටත් සහයෝගය ලැබුණ ද, ලන්දේසීන් සමගම මෙම චිත‍්‍රය වෙනස් වූයේ යන්ග් සහ ජෙබනේසන් දැක්වූ ආකාරයට “යාපන අර්ධද්වීපය වෙල්ලාල බල ප‍්‍රදේශයක් බවට පත්වීමෙන් සහ වෙරළබඩ කරයියාර් කුලයේ කතෝලිතයන් බවට 16 වන ශත වර්ෂයේ පත් බහුතරයක් ඔවුන් බලය ඉසිලූ ආස්ථානයන් සුපිරිසිදු පක්‍ෂපාතභාවයෙන් යුතු (පොතෙස්තන්ත සහ හින්දු) වෙල්ලාලවරුන් විසින් පැහැර ගැනීමෙනි. කරයියාර්වරුන්ට අවමන් කිරීමට සහ වෙල්ලාලවරු වැඩි වැඩියෙන් බලවත් කිරීමට යටත් විජිත වාදයේ විපරිණාමයන් පිහිටාධාර විය. කතෝලික මෙන්ම ධීවර ප‍්‍රජාවන් වූ හෙයින් කරයියාර් කුලයේ පහළ උප කුලයට හෝ නැතහොත් කිලෝනි ජනයාට විසිවන ශත වර්ෂයේ මුල් කාලය පමණ වන තෙක් ශරීරයේ ඉහළ කොටසට ඇඳුම් ඇඳීමට අවසර නොතිබුණි. මේ සියල්ලෙන් අදහස් වූයේ (දකුණේ කරාව ජනයාගෙන් සහමුලින්ම වෙනස්ව) කරයියාර්වරු ලන්දේසි සහ මුල් බි‍්‍රතාන්‍ය යුගවලදී උතුරේ ආර්ථික, යාතුකර්මීය සහ දේශපාලන බල ව්‍යූහයෙන් පරාරෝපණයට පත්වූ බවයි. 1960 දක්වා පාර්ලිමේන්තු මැතිවරණ වලින් එකම කරයියාර් නියෝජිතයෙක්වත් බිහි නොවූ අතර එවිට සීමා නීර්ණය කොමිසන් සභාව එක්තරා සූක්ෂම ඡන්ද කොට්ඨාශ වෙනස් කිරීමකින් එක නියොජිතයෙකු තෝරා ගැනීම සිහි කටයුතුය. වෙනත් වචනවලින් පවසන්නේ නම් සිංහල දකුණු රට තත්වය මෙන් නොව, යාපනයේ දෙවැනි විශාලම ජන කණ්ඩායම දීර්ඝ කාලයක් පුරාවට සැබැවින්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකෙරුණි.1972 දී යාපනයේ තත්වය දක්වමින් පෙරිම්බනායගම් සඳහන් කලේ ” තම බලය සහ තත්වය සඳහා වන ඕනෑම අභියෝගයකදී සමස්ථ වෙල්ලාල ප්‍රජාව වෙල්ලාල නොවන්නන්ගේ පරාජය සහතික කිරීමට එක්සත්ව ඡන්දය භාවිතා කරනු ඇති බවත් මේ නිසා මෑතක් වන තුරුම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම වෙල්ලාල කුලයෙන්ම පත්වූ බවත්ය.” එල්.ටී.ටී.ඊ සංවිධානය තම කරයියාර් හින්දු මෙන්ම කතෝලික නායකත්වය සමගින්, සහ අධිපති වෙල්ලාල කුලයේ ආධිපත්‍යයට අභියෝගයක් ලෙස ගත් තම විමුක්තිකාමී න්‍යාය පත්‍රය සමගින් මෙන්ම, තම ප්‍රජාව උතුරේ බල ව්‍යුහයෙන් පිටමං කලාක් මෙන් වෙල්ලාල කුලය ද විස්ථාපනය කරමින් මතුවීම බාගදා කෙනෙකුට දැකගත හැකි විය. ඒ පිළිබඳ ඇති සියල්ල මෙය නොවන බව පැහැදිළිය. කරයියාර් වෙල්ලාල ප්‍රතිවිරෝධයේ ඓතිහාසික, සමාජ, දේශපාලන වර්ධනය සිංහලයා අතර වූවාක් මෙන් නැගෙනහිර වෙරළේ දී ද නිහඬ කෙරුණි.

ෆූකෝ
ෆූකෝ

සිංහල පමණක් පනතෙන් සහ සිංහල හමුදාවක් ප්‍රදේශයේ වැඩි වැඩියෙන් දක්නට ලැබීමෙන් පසු සියලු දෙමළ කතා කරන ජනයාට දැනෙන තර්ජනය සැළකිල්ලට ගත් කල, සිංහල පාර්ශවයෙන් මඩකලපු දෙමළ ජනයාගේ පරාරෝපණය අප පුදුමයට පත් නොකරන තරම්ය. හමුදා ගැවසීමේ මුල් කාලයේ පැවති වදහිංසා සහ හිරිහැර ක්‍රියා මෙම පරාරෝපණය නරක අතට හැරීමට බලපෑවේය. නමුත් නැගෙනහිර වෙරළේ සිංහල දෙමළ සබඳතා සම්බන්ධයෙන් ගත් කල ඊටත් වඩා ගැටළු සහගත කරුණක් ඇත. එනම්, ඩී. එස්. සේනානායක රජය සමයේ සිංහල ජනයා මහා පරිමාණයෙන් නැගෙනහිර වෙරළ ප්‍රදේශයට ගෙන ඒම සහ අම්පාර දිස්ත්‍රික්කය මූලික වශයෙන් සිංහල ප්‍රදේශයක් වන තැනට කටයුතු සිද්ධ කරමින් ගල්ඔය ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමයි. මෙය නැගෙනහිර පළාතේ ජනවිකාස සංයුතිය බරපතළ ලෙස වෙනස් කලේ තුනෙන් එකක් සිංහල බෞද්ධයන් මුස්ලිම්වරුන් ද සමග එක්ව, දෙමළ ජනගනයට හිමිව තිබුණාට වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් අයිති කර ගැනීමට පටන් ගැනීමත් සමගය. තවදුරටත්, නව සිංහල පදිංචිකරුවෝ පුරාණ ගම් යැයි දැන් දන්නා ඒවායේ ජීවත් වන පැරණි සිංහල ගම්වාසීන් සංඛ්‍යාවෙන් ඉක්මවා ගියහ. නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. පූර්ව යටත් විජිත සහ මුල් යටත් විජිත කාලයන්හි කවර දේශපාලන ඒකත්වයක් පැවතිය ද ඒවා දැන් යළි අත්පත් කරගත නොහැකි ලෙස බිඳ වැටී ඇති බව පෙනේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ දෘෂ්ටිවාද වල පැවැත්ම ෆූකෝ “මර්ධිත දැනුමේ නැගිටීම” වශයෙන් හැඳින්වූ තවත් සමාජ සංසිද්ධියක් අනුක්‍රමිකව බිහි කරන්නේ ද යන්න අනුමාන කළ හැකිය. මගේ අනුමානය වන්නේ නැගෙනහිර පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ පවා නිදහස් මැතිවරණ අවසානයේ දී නියෝජනාත්මක ආණ්ඩු වර්ධනය කරන්නේ නම් එය සිදුවනු ඇති බවයි. නියුරෝසියාවන් තුළ වේවා, දේශපාලනය තුළ වේවා මර්ධිත දෙයෙහි යළි පැමිණීම නීට්ෂේ අදහස් කළ “සනාතන යළි පැමිණීම” නොහඟවයි. මර්ධිත දෙය යළි පැමිණෙනු ඇති නමුත් ඒ වෙනත් වේශයකිනි, සමහර විට භයංකාර ලෙසය, සමහර විට පෙරට වඩා උසස් බවට පමුණුවනු ලදුවය – ඒ වනාහී කුලය පිළිගන්නා නමුත් අසමානතාව ප්‍රතික්ෂේප කරන සමකාලීන කුල සැකසුමෙන් අප දන්නා ආකාරයටය. සමහර විට, කෙසේ හෝ ප්‍රාදේශීය දැනුම සහ ප්‍රාදේශීය ව්‍යුහයන් එවැනි මර්ධනයකට ලක් කල හැකි අතර දේශපාලනිකව කතා කරන්නේ නම් ඒවාට යළි පැමිණීමට කොහෙත්ම අවස්ථාව නොලැබෙනු ඇත. සාකල්‍යකරණ දෘෂ්ටිවාද තුළ ප්‍රචණ්ඩත්වය සහේතුක කෙරන්නේ මේ නිසාය. බුර්ෂුවා බුද්ධිමතුන්ට නම් ආශ්චර්යමත් අරුතැති වචනයක් වන “විමුක්තිය” යන්න චේතනාව වන විට පවා කෙනෙකුට නූතන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති ප්‍රචණ්ඩත්වය සහේතුක කිරීම තුළින් සියලු ප්‍රකාර මර්ධිත දැනුම මෙන්ම විසම්මුතිය තලා දැමිය හැක. ආදර්ශ විමුක්ති ව්‍යාපාරයක් වන ප්‍රංශ විප්ලවය තුළ භීෂණයේ සහේතුකකරණය සහ විමුක්තිය යන දෙකම එකට පැවතුන බව අමතක කළ යුතු නොවේ. “බිහිසුණු සුන්දරත්වයක් පහළ වී ඇත” යනුවෙන් යේට්ස් පවසන විට ඔහු අයර්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්මතු කළේ මෙම විරුද්ධාභාසය යැයි මම සිතමි.

සමාප්තයි



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2016
S M T W T F S
« Aug   Oct »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: