11
Aug
16

ආන්ඩුවට පරිපූර්නත්වයට පත්වීමට ඇති බාධාව මහින්ද රාජපක්ශද ? කලු ජූලිය ගැන

1983 ජුලි: යුද්ධය සහ එහි අනිටු පසු-විපාක

රවි පෙරේරා

රවි පෙරේරා

‘‘ඔබ ලවා මුග්ධ භාවය විශ්වාස කැරැුවිය හැකි තැනැත්තාට ඔබ ලවා දරුණු ක‍්‍රෑරකම්ද කැරැුවිය හැකිය’’ -වොල්තෙයාර්

1983 නැමැති ඒ ඉරණම්කාරී වසර ගැන බොහෝ දේ ලියැවී තිබේ. ඉන් බොහොමයක් හරහා එම කළු ජුලියට පාදක වූ හේතු කාරණා ගැන මෙන්ම එකී ජාතිවාදී ප‍්‍රහාරයන්හි ක‍්‍රෑරත්වයේ තරමත්, පාලකයන් විසින් එම සිදුවීම් පාලනය කිරීමට අසමත් වීමත් සාකච්ඡාවට ගෙන තිබේ. එහෙත් එම සිද්ධියේ කෙටි කාලීන සහ දිගු කාලීන ආදීනව ගැන ඒ තරමට සාකච්ඡා වී නැත.

එවැනි මහා වලිප්පු වනාහී එහෙන් මෙහෙන් ඉබේ සිදුවන දේවල් නොවේ. එම සිදුවීම්වලට පූර්වගාමී වන දීර්ඝ ඉතිහාසයන් තිබේ. සමාජ ක‍්‍රියාවලීන් තිබේ. මෙම සංසිද්ධිය ජාතිවාදී කැරැුල්ලක ස්වරූපය ගැනීමේදී, බහුතර ජාතිය සහ ප‍්‍රධාන සුළු ජාතියේ සංකීර්ණ සම්බන්ධතාවට අදාළ ප‍්‍රශ්න, අළුතෙන් නිදහස ලැබූ රටක නැගී එන ජාතිකත්වය, ජනරජ ව්‍යවස්ථා සම්පාදනයේදී තමන්ව කොන් කොට ඇතැයි සුළුතර ජනයා තුළ ඇති විය හැකි හැඟීම, මජර දේශපාලනික සංස්කෘතියක වර්ධනය, සෑම ක්ෂේත‍්‍රයකම පාහේ පැවති ශිෂ්ට ප‍්‍රමිතීන් කඩා වැටීම, රාජ්‍ය යන්ත‍්‍රය දේශපාලනීකරණය වීම සහ ආර්ථිකමය වශයෙන් එක තැන පල් වීමෙන් රට ගොඩ ගැනීමට එතෙක් මෙතෙක් බලයට පත් කිසි ආණ්ඩුවක් අසමත් වීම වැනි කරුණු නිසැකවම බලපෑවේය.

ඒ ක්ෂතිමය ජුලි වලිප්පුවට පෙරාතුව රටේ අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිව තිබුණි. බොහෝ කාලයක් නිදිගැන්වී තිබූ ආර්ථිකය 1977 ආර්ථිකය විවෘත වීමත් සමග අළු ගසා දමා නැගිටින බවක් පෙනුණු අතර වෙළඳ පොළ ක‍්‍රියාත්මක වී හිස් කඩසාප්පුවල රාක්ක භාණ්ඩවලින් පිරෙන්ට විය. ඉඳහිට සහ අවිධිමත්ව ධාවනය කෙරුණු බස් රථ, මගීන් සොයා වෙහෙසෙන පෞද්ගලික බස් සේවාවක් බවට පරිවර්තනය විය. අළුත් ව්‍යවසායන් සීග‍්‍රයෙන් බිහි වන්නට විය.

රජය විසින් සියල්ල කළ යුතුය යන රාජ්‍යවාදී ප‍්‍රතිපත්තිය තුළ සකල ආර්ථිකය රාජ්‍ය පාලනය යටතට ගෙනැවිත් තිබූ සහ පෞද්ගලික ව්‍යවසාය දෙස වපර ඇසින් බැලූ එතෙක් පැවති පුරුද්ද වෙනුවට පෞද්ගලික ව්‍යවසායකත්වය නැවත වරක් පොදු විලාසිතාව බවට පත් විය. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ හැම තැනකම බිහි වෙමින් තිබූ අතර මුලින් වසර 25 ක කාලයකට සැලසුම් කොට තිබුණත් පසුව කඩිනම් කරන ලද මහවැලි ව්‍යාපාරය සඳහා අවශ්‍ය සේවාවන් මහ පරිමාණ සමාගම් විසින් සපයමින් තිබුණි. මේ පිබිදෙන ආර්ථිකය ගැන උදම් ඇනූ ඇතැම්හු, නැගෙනහිර ලෝකයේ දීප්තිමත් ආර්ථික බලාගාරය වූ සිංගප්පූරුවක් පිළිබඳ සිහිනය ලංකාව සම්බන්ධයෙන් දකිමින් සිටියහ.

83 කළු ජුලිය ආවේ එවිටයි.

ජුලි ව්‍යසනයෙන් පසු ගත වූ දශක තුනක කාලය සමහර විට අපේ රටේ මෑත ඉතිහාසයේ වඩාත් වේදනාකාරී සමය විය හැකිය. ජීවිත හානියේ සහ විනාශකාරීත්වයේ තරම අනුව බලන විට සිරියාව සහ ඉරාකය වැනි රටවල තරම් අපේ තත්වය දරුණු නැතත්, පරාජය කළ නොහැකි සෙයක් පෙනුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඇති කරන ලද අභියෝගය විසින් සීමිත සම්පත් සහිත මේ පුංචි රට බොහෝ දුරට උඩු යටිකුරු කරන ලදි.

මොන ආකාරයකින්වත් මේ රටේ මිනිසුන් යුදකාමී ජනතාවක් නොවුණත්, 1948 සිට දරුණු නැගිටීම් සහ කැරලි කෝලාහල සංඛ්‍යාවකට අපි මුහුණදී ඇත්තෙමු. එහෙත් විටින්විට ඇති වූ එවැනි කලබැගෑනි ඒවා ඇති වූ වේගයෙන්ම නැති වී ගියද, 1983 ජුලි කලබල හේතුවෙන් ඇති වූ රාජ්‍ය-විරෝධී බලවේගය විශාල ජවයක් ලබමින් රටේ ඒකාග‍්‍රතාව අභියෝගයට ලක් කළ අතර රටේ විශාල භූමි ප‍්‍රදේශයක බලයත් අත්පත් කර ගත්තේය.

සටන්කාමී කුඩා තරුණ කණ්ඩායමක් විසින් ආරම්භ කෙරුණු හුදෙකලා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සහ ඒවා මර්දනය කිරීම සඳහා දියත් කෙරුණු පොලීසියේ ක‍්‍රියාකාරකම් ඔස්සේ වර්ධනය වූ තත්වය අවසානයේදී බලවත් ත‍්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවන මහ පරිමාණ යුද්ධයක් බවට පරිවර්තනය කැරැුවීය. සුළුතරයේ දුක්ගැනවිලිවලට නෑසූ කන් ඇතිව සිටි බලයෙන් මත්වූ දේශපාලඥයන් දුන්නේ, ‘උන්ට යුද්ධය ඕනේ නං අපිත් ලෑස්තියි’ වැනි පණිවිඩයකි.

එහෙත් ඔවුන් යුද නායකයන් නොවුණි. යුද්ධය දිග් ගැස්සෙද්දී ඔවුන් හැසිරුණේ හිස සුන් කුකුළන් මෙනි. එම යුද්ධය, සුපුරුදු මගහැරීම්වලින්, තර්ජනවලින් හෝ අරුත් සුන් දේශනාවන්ගෙන් නතර කළ හැකි එකක් නොවුණි.

විනාශයෙන් සහ තුවාලවලින් තොරව, එවැනි අනාරක්ෂිත සහ ප‍්‍රචණ්ඩකාරී දශක තුනක් ගත කිරීමට පුලූවන් කමක් කිසි රටකට නැත. ඒ රුදුරු කාලය තුළ, ව්‍යාකූලත්වය, විනාශය, අවිනිශ්චිත භාවය, සිවිල් සීමාවන් සහ හදිසි මරණ ආදිය සාමාන්‍ය දේවල් බවට පත්විය. ජාතික හැඳුනුම් පත නොමැතිව නිවසකින් පිට වීමට නොහැකි තරමට ඒ කඩදාසිය පුද්ගලයෙකුගේ ජීවිතයේ උපාංගයක් බවට පත්විය.

පිටරට යාමට වීසා බලපත‍්‍රයක් ඉල්ලන ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ ප‍්‍රකාශ දෙස වපර ඇසින් බලන තත්වයක් උදා විය. ඔවුන් කියන කිසිවක් විදේශ තානාපති කාර්යාල මගින් පිළිනොගන්නා තත්වයක් උදා විය. තමන්ගේම ආණ්ඩුවෙන් තමන්ගේ රටවැසියන් පිළිබඳ දහසකුත් එකක් හැඳුනුම් පත් ඉල්ලා සිටින තත්වයක් තුළ, විදේශ තානාපති කාර්යාල මගින් අප කෙරෙහි විශ්වාසයක් තැබිය යුත්තේ මන්ද යන ප‍්‍රශ්නය ඔවුන්ගේ පැත්තෙන් මතු විය.

මේ ලැව් ගින්නෙන් වඩාත් පීඩාවට පත්වුණේ දෙමළ ප‍්‍රජාව බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් ජීවත් වූ ප‍්‍රදේශ යුද්ධයෙන් විනාශ වී තිබුණි. ඔවුන්ගේ දේපල පමණක් නොව, ඊට වඩා ඉතා වැදගත් ඔවුන්ගේ සමාජ ව්‍යුහය උඩු යටිකරු වී තිබුණි.

1977 වන තෙක් දෙමළ දේශපාලන නායකත්වය සමන්විත වුණේ උගතුන්ගෙනි. විශේෂයෙන්, වෘත්තිකයන්ගෙනි. දෙමළ සමාජය, තමන්ගේ සංස්කෘතියට සහ ආගමික විශ්වාසයන්ට තදින් බැඳුණු, ඉතා සම්ප‍්‍රදායික සමාජයකි. සන්නද්ධ කණ්ඩායම්වල නැගීමත් සමග, ආකල්පවලින් සහ සමාජ පසුබිමින් මුළුමණින් වෙනස් පිරිසක් අතට නායකත්වය පත්විය. අධ්‍යාපනයක් ඇතැයි කියන පිරිස් අතරේ පවා අද ලඹ දෙන්නේ තුච්ඡ වාණිජවාදයකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගැටුම හේතුවෙන් දෙමළ ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ප‍්‍රධාන වශයෙන් බටහිර රටවලට සංක‍්‍රමණය වූහ. ඒ නව පරිසරය තුළ සමෘද්ධිමත් වූ ඔවුන් හරහා රටේ නතර වූ පිරිසගේ ජීවන තත්වය යම් මට්ටමකින් පවත්වා ගැනීමට විශාල අතහිත දීමක් සිදු විය. එහෙත් මේ නව සංක‍්‍රමණිකයන් තමන්ගේ අළුත් වටපිටාවට සහ සංස්කෘතියට අනුගත වන විට මව් රට සමග ඔවුන්ගේ පවතින සම්බන්ධතා දුරස් වීමට ඉඩ තිබේ.

ලංකා රාජ්‍යය පැත්තෙන් ගත් විට, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාදාමය විසින් මතු කෙළේ ඉතා සංකීර්ණ සහ බරපතල අභියෝගයකි. ඒ තත්වය තුළ ඇති වූ ආරක්ෂාව පිළිබඳ හිඩැස පිරවීම සඳහා භෞතික වශයෙන් සහ පිරිස් බලය අතින් යෝධ ආයෝජනයක් කිරීමට ආණ්ඩුවට සිදු විය. දේශපාලනික අසමත් භාවය විසින් නිර්මාණය කරන ලද යුද්ධයක් කරගෙන යාම යුදකාමී නොවන සමාජයකට පැවරෙන විට එම සමාජය සෑම අතකින්ම යුදවාදී නැඹුරුවකට ගොදුරු වන්නේය.

ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශවල විශාල පිරිසක් අද දක්නට ලැබේ. මොවුන්, හැකියාව සහිත දේහධාරී තරුණයන්ගෙන් හොඳම කොටසයි. ඔවුන් නියුක්ත වන්නේ ආර්ථික ක‍්‍රියාවලියක නොවේ. අළුත් අගයක් එක් කරන සේවාවකද නොවේ. එය හුදෙක් ආරක්ෂාව සැපයීමක් පමණි. විටෙක, යුද්ධයක් සඳහා ඕනෑවට වඩා සූදානම් වන විට, ඉබේම යුද්ධයේ අභිලාෂයක් සහ එම අභිලාෂයේ සන්තර්පණයක්ද නිර්මාණය වෙයි. එය, රටක අබග්ගයකි.

රට පුරා ඇති කරන ලද පළාත් සභා පාලනය, සටන්කාමී කණ්ඩායම්වල ඉල්ලීම්වලට ආමන්ත‍්‍රණය කිරීම සඳහා පිහිටවුවද, එයින් සිදු වුණේ ඒ වන විටමත් විශාල බරක් වී තිබුණු නිලධාරී තන්ත‍්‍රය සහ නිලධාරී තන්ත‍්‍රයේ දූෂණය තවත් උග‍්‍ර වීමයි. විශාල රටවල් සමග සසඳද්දී අපේ පළාත් සභා ඒකක කුඩා වන අතර වියදමද අවමයි. සෑම පළාත් සභාවකටම තේජාන්විත ගතියක් පෙන්වන ආණ්ඩුකාරයෙකු, මහ ඇමතිවරයෙකු සහ තවත් ඇමතිවරුන් අයත් වෙයි. ඒ, අළුත් නිලධාරී තන්ත‍්‍රයකට අමතරවයි. අපේ පෙරාතුකොළ සංස්කෘතිය තුළ මෙය නොදැරිය හැකි බරකි. මේ පළාත් සභා තුළ උසස් නිලතල පිරවීමේදී කට්ටඩියෙකු හෝ ජ්‍යොතිෂඥවරියක් වීම පවා සුදුසුකම් විදිහට සැළකෙයි.

දේශපාලඥයන්ගේ ශරීරාරක්ෂකයන් සහ ඔවුන්ගේ සහපිරිවර සඳහා වෙන් කළ යුතු ප‍්‍රතිපාදන, යුද්ධයේ තවත් එක් අශෝභන ප‍්‍රතිවිපාකයක් විය. මේ දේශපාලඥයන්ගේ නිෂ්ඵල භාවයට අමතරව, ඔවුන්ගෙන් විශාල පිරිසක් බලය අපහරණය කරති. රජයෙන්ම යැපෙති. විවිධ අයථා ක‍්‍රමවලින් මුදල් උපයති. ඥාති සංග‍්‍රහයේ යෙදෙති. විටෙක සාපරාධී ක‍්‍රියාවන්ටද හවුල් වෙති. බදු ගෙවන්නන්ගේ වියදමින් මොවුන්ට ආරක්ෂාව සැපයීම සහ ඉතා වටිනා විනයගත තරුණ සොල්දාදුවන් මොවුන් සඳහා යෙදවීම, සුජාත භාවයම සරදමට ලක් කිරීමකි.

පසු ගිය තිස් වසර තුළ විදේශයන්ට සංක‍්‍රමණය වුණේ දෙමළ ජාතිකයන් පමණක්ම නොවේ. බොහෝ සිංහලයෝද, විශේෂයෙන් නාගරික සිංහලයෝ කෙළවරක් නැති යුද්ධයෙන් අසහනයට පත්ව වඩාත් සරුබිම් සොයා විදේශගත වූහ. පුළුල් ලෝකය දැකීමෙන් පසු, වෙනත් ආකාරයකට සිතීමට පුරුදු වීමෙන් පසු, ඉහළ ජීවන තත්වයන්ට හුරු වීමෙන් පසු, ආපසු අර කී අස්ථාවර සහ ගරා වැටෙන දේශයට පැමිණීමට ඔවුහූ මැළි වෙති. ඔවුන්ගේ බලාපොරොත්තු දැල්වීමට තරම් රටේ වර්තමාන පරිසරය පොහොසත් නැත.

අපේ මට්ටමේම සිටි මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල්, අප අවුරුදු 30 ක් තිස්සේ යුද්ධ කරන අතරේ අපව පසු කොට වේගයෙන් ඉදිරියට ගියේය. ඔවුන් කෙතරම් දියුණු වී ඇත්ද යත්, අධිවේගී මාර්ග හෝ යෝධ සුපිරි වෙළඳසැල්, සංවර්ධනයේ නිමිති වශයෙන් ඔවුන් තවදුරටත් දකින්නේ නැත. ඒවා ඔවුන්ට ඉතා සාමාන්‍ය දේවල් ය. හරියට, නිවෙසක විදුලිය සහ පයිප්ප ජලය වැනි ය.

සත්තකින්ම 1983 අපට හෙණයක්ම විය. යුද්ධය දැන් අවසන්ව ඇතත්, ඊට පාදක වූ හේතු මෙන්ම, එය විසින් නිර්මාණය කරන ලද තත්වයන්ද තවම වෙනස් වී නැත. ත‍්‍රස්තවාදී නායකයෙකු වූ ප‍්‍රභාකරන්ව අනුගමනය කොට විනාශයට පත් අයවළුන් විශ්වාසය තැබුවේ තුවක්කුවෙන් නිර්මාණය කෙරෙන මෝඩ රාමරාජ්‍යයක් කෙරෙහි ය. අනිත් පැත්තේ සිටින, බහුතරයේ ශ්‍රේෂ්ඨත්වය ගැන පාරම්බාන සහ හිතින් මවා ගත් අතීතයකට රට ඇදගෙන යාමට වළිකන අන්තවාදීන්ද, ඒ තරමටම මන්ද බුද්ධික ය. අගතිගාමී ය. වෙනස් වන ලෝකය ගැන මෙලෝ දැනුමක් නැති මුග්ධයන් ය.

ඒ ඉරණම්කාරී 1983 ජුලි සංසිද්ධියෙන් දැන් වසර 30 ට වැඩි කාලයක් ගත වී තිබේ.

ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු දල්වා ගත නොහැකි කරුමක්කාර රටක් බවට අප පත්ව ඇත. එය අප විසින්ම ඇති කර ගත් තත්වයකි. එය, එක්තරා ඉතිහාසයක නිර්මාණයකි. එක්තරා ආකල්ප රටාවක ප‍්‍රතිවිපාකයකි. ඉතා සාධාරණ සේ කෙනෙකුට පෙනෙන දෙයක් තවත් කෙනෙකු දකින්නේ මෝඩ කමක් ලෙසිනි. හරි වැරැුද්ද තේරුම් බේරුම් කර ගැනීමට බැරි තරම් ය. එහෙත් මොන තරම් වෙනස් විදිහකින් සිතීමට බැලූවත්, ඉතිහාසයේ මොන තරම් පාඩම් තිබුණත්, තවමත් මුග්ධත්වය කෙරෙහි විශ්වාසය තැබීම අත්හැර ඇත්ද යන්න සැකයකි. ඒ සැකය, හිතට බරකි.

*2016 අගෝස්තු 4 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “July 1983: The War & The Aftermath” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2016
S M T W T F S
« Jul   Sep »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: