30
Jul
16

මිනීමරු තිරිසනෙක් අගමැති කල පොදු ජනතාවට සාප වේවා

දට විසි දෙවසරකට පෙර මෙවැනිම දෙසැම්බරයේ දිනෙක නිර්නාමික ලිපියක් ‘රාවය’ ප්‍රධාන සංස්කාරක වික්ටර් අයිවන්ගේ නමට ලැබුණු බව ඔහු විසින් සංස්කාරක මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ වන විට නිදහස් ලේඛකයෙකු ලෙසින් මම  රාවයට පත්‍රයට සමීපව සිටියෙමි. ලද පණිවුඩය වැදගත් එකකි. සබරගමුව රක්වාන කඳු වැටියේ මුහුදු මට්ටමින් අඩි 4440 ක් උසින් පිහිටි සුරියකන්ද ප්‍රදේශයේ 88-89 කාලයේදී පැහැරගෙන ගොස් මරා දැමුණු පුද්ගලයන් රැසකගේ මළසිරුරු වළ දමා ඇතැයි එවා තිබූ නිර්නාමික පණිවුඩයෙන් දන්වා තිබිණි. නම හෙළි නොකළ හමුදා නිලධාරියකු විසින් ඒවා තිබු එම පණිවුඩය සමඟ මළසිරුරු වළ දමා ඇති තැන් පිළිබඳව දැක්වෙන දළ සිතියමක් ද විය. ඒ වකවානුවේ දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මරා දැමුණු ඇඹිලිපිටිය සිසුන්ගේ මළ සිරුරු මෙහි ඇති බවට එහි නිශ්චිතව සඳහන් කර නොතිබුණ ද, එම සිසුන්ගේ සිරුරු ද මෙහි වළ දමා ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ.

ඇඹිලිපිටියට රහස් ගමනක්

එවකට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිනිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ වනවිට වික්ටර් අයිවන්ගේ සමීප මිතුරියක්ව සිටියාය. ඒ නිසාම ඔහු විසින් මේ ලිපිය ගැන  මුලින්ම දන්වා සිටියේ ඇයට ය. අනුරුද්ධ රත්වත්තේ, එස් බී දිසානායක වැනි පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබලයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කථා බහකින් අනතුරුව මේ මළ සිරුරු වළ දමා තිබුණු ප්‍රදේශය හාරන්නට තීරණය කෙරුණි. එහෙත් එය  රහසක් ලෙස තබා ගැනීමට එකඟත්වයක් වුයේ බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ඊට නියත වශයෙන්ම අකුල් හෙළනු ඇති බවට මතු වූ සැකය හේතුවෙනි. කෙසේ වෙතත් ’94 වසර උදාවත් සමඟ එළඹි ජනවාරි මාසයේ 03 වැනි සඳුදාවේ, සුරියකන්ද මෙහෙයුම ක්‍රියාවට නැංවීමට නියම විය.

ඉතාමත් සුවිශේෂ කටයුත්තක් සඳහා කොළඹින් පිටතට යාමට පැමිණෙන ලෙස, විශේෂයෙන් මෙරට විදේශ මාධ්‍ය වෙත, දැනුම් දීමට කටයුතු කරන ලද්දේ මේ තීරණයට පසුව ය. අළුයම හතරට රොස්මිඩ් පෙදෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිවහනට රැස්වූ පිරිස පැල්මඩුල්ල දක්වා ගමන් කිරීමෙන් අනතුරුව  පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදේ ආහාරය ගෙන යළි ඇඹිලිපිටිය බලා පිටත් වූහ. පළපුරුදු පතල් කම්කරුවන් කිහිපදෙනෙක් හා සිරුරු වළ දමා ඇති තැන් හෑරීම සඳහා ගල් ඉණි කිහිපයක් ද රැගෙන යාමට කටයුතු කිරීමත් හේතුවෙන් මෙතෙක් රහසක්ව පැවති ගමන පිළිබඳ තොරතුරු සෙමින් අනාවරණය වන්නට විය. එහෙත් සුරියකන්ද ප්‍රදේශයට පිවිසෙන විට මේ පිළිබඳ කණ වැකුණු පොලිසිය මාර්ග බාධක යොදා දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙලක් හරහා ගමනට බාධා කරන්නට කටයුතු සැළසුම් කර තිබුණි. සුරියකන්ද මාර්ගයට පිවිසීමට පොලිස් අවසරය නොලැබුණ ද  බස්නාහිර පළාත් මහ ඇමතිනිය ලෙස ඒ වනවිටත් කටයුතු කළ චන්ද්‍රිකා බණාඩාරනායකගේ ගමන වැළැක්වීමට පොලීසිය බලයක් නොවිණ. නමුත් අනුරුද්ධ රත්වතේ ඇතුළු අනෙකුත් පිරිස සුරියකන්දට පිවිසියේ බලහත්කාරයෙනි. ඔවුන් පාලනය කර ගැනීමට පොලිසියට කිසිවක් කළ නොහැකි විය.

නිර්නාමිකව ලැබුණු ලිපියේ සඳහන් පරිදි නියමිත ස්ථානයට පැමිණියත් ප්‍රදේශය පුරාම පැවති අධික මීදුමත්, භූමිය වසා පැතිර වැඩුණු ඉලුක් යායත් නිසාවෙන් හෝඩුවාවට අනුකූල කිසිදු සළකුණක් සොයා ගැනීම දුෂ්කර විය. වැදගත් සොයාගැනීමකින් තොරවම පැය ගණනාවක් ගෙවී ගිය අතර පැමිණි බොහෝ දෙනා ඒ වනවිටත් අපේක්‍ෂා භංගත්වයට පත්ව දුර්මුඛව සිටියහ. ඇතැම් දෙනා පැවසුවේ මෙය ආණ්ඩුව විසින් සැලසුම් කර නොමඟ යැවීම සඳහා කරන ලද්දක් බව ය. නමුත් අවසාන විග්‍රහයේදී සියළු දෝෂාරෝපණ එල්ල වුයේ රාවය පත්‍රයට ය.

නිව්ටන්ගේ වික්‍රමය

නමුත් වැඩෙමින් ආ බලාපොරොත්තු කඩවීමට එරෙහිව සියල්ලන්ගේ උනන්දුව මෙළවීමට කටයුතු කළ සුවිශේෂී පුද්ගලයෙකු එහි විය. ඒ, එවකට රාවය පත්‍රයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ නිව්ටන් සෙනෙවිරත්න ය. එක් තැනක ළඟ ළඟ සරුව වැඩුණු ඉලුක් ගස් අනෙක් ඒවාට වඩා සුවිශේෂී බවක් ඇතැයි ද, එසේ විය හැක්කේ කෙසේදැයි සොයැ බැලිය යුතු යැයි ද කියමින් බලවත් බලපෑමක් කරන ලද්දේ නිව්ටන් විසිනි. ඒ අනුව එම ස්ථානය හාරා බලන්නට සියල්ලෝ එකඟ වූහ. ගල් ඉණි ඉතා පහසුවෙන් පොළවට කිඳා බැසීමත් සමඟම පැතිර ගිය දුර්ගන්ධය නිසා බොහෝ දෙනා කියා සිටියේ මෙය වැසිකිලි වළක් විය හැකි බව ය. එහෙත් වැසිකිලි වළක් නම් ගල් ඉණි තුඩු වල සුදු පැහැති දේ රැඳිය නොහැකි බවත්, තිබිය යුත්තේ කළු පැහැති මළ ද්‍රව්‍ය බවට තර්ක කොට යළිත් උද්‍යෝගය අවුළුවන ලද්දේ නිව්ටන් සෙනෙවිරත්න විසිනි. ඒ අනුව හාරා බලන්නට සිදුවූයේ තවත් අඩි කිහිපයක් පමණි. මහ පොළොව පත්ලෙන් පළමු හිස් කබල මතු විණ. තව දුරටත් කැණීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් පවිත්‍රා වන්නිආරච්චි සහ  නීතිඥ එස් ඒ ප්‍රේමරත්න සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද ක්‍ෂණිකව පිටත් වූයේ ඒ පිළිබඳ ඇති වූ සාකච්ඡාවේ ප්‍රතිඵල වශයෙනි. එවකට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ පියසේන රණසිංහ එම ස්ථානයට පැමිණීමත් සමඟ යළි කැණීම් ආරම්භ විය. මරා වළ දමා තිබුණු පුද්ගලයන්ගේ මළ සිරුරු හතක කොටස් එදින ගොඩගනු ලැබූ අතර පැවති කාලගුණික තත්වය හේතුවෙන් කැණීම් කටයුතු ජනවාරි 8 වැනිදාට කල් දැමිණි. මහේස්ත්‍රාත් නියෝග යටතේ අනතුරුව කැණීම් සිදුකල ප්‍රදේශයට ආරක්ෂාව සැළසීමට අකමැත්තෙන් වුවද පොලිසියට සිදුවිය.

කැණීම් පිළිබඳ පැතිර ගිය ආරංචි සමඟ ප්‍රදේශවාසී ජනයා සුරියකන්ද පාමුලට එක් වූ නමුත් පොලිස් බල ඇණි වල අවහිරකිරීම් නිසා ඔවුනට කැණීම් ස්ථානයට ළඟා වීමට නොහැකි විය.

නමුත් ජනවාරි 08 වෙනිදා සූරියකන්දට ළඟා වනවිට දක්නට ලැබුනේ කිසියම් පිරිසක් විසින් පරීක්‍ෂණ නොමග යවන්නට ගත් වෑයමකි. වෙනත් සොහොන් වළවල් හාරා ගෙනෙන ලද මළ සිරුරු කොටස් කැණීම් කරමින් තිබූ වළට දමා තිබිණ. මෙය සිදු කර ඇත්තේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් පළවාහැරීමෙන් අනතුරුව බවට පසුව දැනගන්නට ලැබුනි.

කෙසේ වෙතත් දෙවැනි දින කැණීම්වලින් මළසිරුරු නවයක් ගොඩ ගැනීමට හැකි විය. ඒවා වළ දමා තිබුනේ සිරස් අතට ය. කඳු මුදුනේ පැවති අධික ශීත දේශගුණික තත්වය හේතුවෙන් දිරා පත්ව නොතිබූ මෙම සිරුරු ගොඩගැනීමේදී අස්ථි කැබලි එකිනෙක වෙන් වන්නට පටන් ගත්තේය.

ඇටකටු පෙරළා දරුවන් සෙවීම

සුරියකන්ද පාමුලට රොක් වූ ජනයා කැණීම් සිදුකෙරෙන ස්ථානයට යාම වැලක්වීමට පොලිස් බලඇණි ගත් වෑයම දෙවන දිනයේ සාර්ථක නොවුණි. ඉක්බිතිව ප්‍රදේශවාසී ජනයා වෙනත් විකල්ප මං ඔස්සේ අදාළ ස්ථානයට ළඟා වූහ. එසේ පැමිණි කිහිප දෙනෙක්ම අදාළ මළසිරුරු තම සමීපතමයන්ගේ බවට හඳුනා ගත්හ. රජයේ හමුදා විසින් ඔවූන් බලහත්කාරයෙන් පැහැර ගෙන යන විට ඇඳ සිටි ඇඳුම්වලින් ශේෂව තිබූ කොටස්, මළවුන් හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරී විය. අනතුරුව සියල්ල මුද්‍රා තබා අධිකරණය භාරයට පත් කෙරිණ.  සුරියකන්ද සමුහ ඝාතන භුමිය පිළිබඳව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණ ද, ඊට සාපේක්‍ෂව ලංකාවේ  ‘ජාතික පත්තර’ යැයි කියැවෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් එය ප්‍රමාණවත් ලෙස මතු නොකෙරුණේ ආණ්ඩුවේ බලපෑමට අවනත වන්නට අදාළ මාධ්‍ය තීරණය කොට තිබූ නිසා ය. කෙසේ වුවද සිද්ධිය වාර්තා කරනු ලැබූ ඇතැම් ප්‍රධාන පෙළේ පුවත්පත් වෙළඳ පළට නිකුත් වීමට මත්තෙන් ගිනි තබා විනාශ කෙරිණ. නමුත් උපරිම අවධානයකින් යුතුව සිද්ධිය වාර්තා කරනු ලැබුවේ එවකට පළ වූ විකල්ප පුවත්පත් විසිනි. කැණීම්වලින් හමු වූ මළ සිරුරු, පැහැර ගෙනගොස් මරා දැමුණු ඇඹිලිපිටිය පාසැල් සිසුන්ගේ බවට මුලින් සැකකළ ද එය එසේ නොවන බවට ක්‍රමයෙන් හෙළි විය. රත්නපුර අධිකරණ භූමියේදී පැවති හඳුනාගැනීමේ පරීක්‍ෂණයේදී ඇඹිලිපිටිය සිසුන්ගේ දෙමව්පියෝ මෙම මළ සිරුරු තම දරුවන්ගේ බවට හඳුනා නොගත්හ. එහෙත් සුරියකන්ද ප්‍රත්‍යන්තයේ විසූ ගම්වාසීහු එම සිරුරු, රජයේ හමුදා විසින් පැහැර ගන්නා ලද ස්වකීය සමීපතමයන්ගේ බවට හඳුනාගැනීමට සමත් වූහ.

සුරියකන්දේ දැනට පිහිටුවා ඇති රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ඊට පෙර ඉදි කිරීමට සැළසුම් වුයේ මෙම මළ සිරුරු වළ දමා තිබු භූමියේ ය. කුළුණ ඉදි කිරීමේ අරමුණින් කපන ලද වළවල් අත්හැර දැමීමට සිදුවුයේ ඊට යටින් විශාල ගල් තලාවක් මතු වූ බැවිණි. පසුව ඉදිකෙරුණු සම්ප්‍රේෂණ කුළුණේ ආරක්‍ෂාව සඳහා හමුදා අනුඛණ්ඩයක් එහි ස්ථාපිත කරන ලද්දේ ලැබුවේ ’89 වසරේදී ය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ සේ සැළකුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඊට ප්‍රහාර එල්ල කරනු ඇතැයි පැවති සැකය නිසාවෙනි. මෙම හමුදා අනුඛණ්ඩය මගින් සුරියකන්ද අවට ගම්මානවල දෛනික සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර ඒ මගින් අත්අඩංගුවට ගත් බොහෝ පුද්ගලයන් වධ බන්ධනයන්ට ලක්කොට මරා පසුව මෙම වළවලට දමා ඇති බවට කරුණු අනාවරණය වූයේ පසුව ය.

ඝාතකයන් සමග ‘ප්‍රතිසන්ධානය’

මරා වළ දමා තිබු පුද්ගලයන් 16 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවුවද අදාළ පරීක්‍ෂණ නිශ්චිත අවසානයක් තෙක් ගෙනයාමක් සිදු නොවුණි. කැණීම් කටයුතු සිදුකරනු ලැබුයේ දින දෙකක් පමණි. තවත් පුද්ගලයන් මරා වළ දමා ඇති ස්ථාන කෙරෙහි කිසිදු අවධානයක් නොමැතිවම සියල්ල නිමා වුයේ 17 වසරක එක්සත් ජාතික පක්‍ෂ පාලනය පෙරළා පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සුරියකන්ද ප්‍රධාන සාධකයක් කරගනිමිනි. ඒ අනුව, ’94 දී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ සුරියකන්ද ගැන විශේෂ පරීක්‍ෂණයක් සිදු නොවුණු අතර මළ සිරුරු හඳුනාගත් ඥාතීන්ට නිසි යුක්තියක්ද ඉටු නොවුණි. ඒ වෙනුවට සිදුවුයේ චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පැමිණ කෙටි කාලයක් තුළ දී, රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ  එම ප්‍රදේශයේ දේශපාලන බලවතා මෙන්ම ප්‍රේමදාස පාලනයේ සමීපතමයෙකු වූ නන්ද මැතිව්ට  කාර්යභාරයක් නොමැති අමාත්‍යධුරයක් පිරිනමමින් ඔහු තම ඇමති මණ්ඩලයට එක් කර ගැනීම ය.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: