30
Jul
16

චන්ද්‍රිකා හෑරූ ගොං රනිල්ගේ මිනීවල

කොමිසම් පුරාණය: සූරියකන්දේ මිනීමරුවා සමග නිදිවැදීම

මෙම ලිපි පෙළෙහි පළමු හා දෙවැනි කොටස් මීට පෙර පළ වූ අතර, මෙහි පළවන්නේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ තුන්වැනි කොටස  බව කරුණාවෙන් සළකන්න. – සංස්කාරක කමිටුව)  

නාධිපති ආර්.ප්‍රේමදාස විසින් 1991 දි පත් කළ ‘පුද්ගලයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම’ සම්බන්ධයෙන් සෙවීමේ කොමිසමත්, එහිම දිගුවක් ලෙස ජනාධිපති ඩි.බි විජේතුංග විසින් 1993 දි පත් කළ ‘පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ කොමිසම්’ ත්‍රිත්වයත් හුදෙක් නාමික මට්ටමේ කොමිසම් බවට පත්වන්නේ ඒවා විමර්ශනයට පාත්‍රවන කාල සීමාවේ රාජ්‍ය බලය ද ඔවුන් අත පැවති බැවිනි. එනම්, ප්‍රේමදාස සහ විජේතුංග ජනාධිපතිවරුන් විසින් පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීමට කොමිසම් සභාවන් පත්කරනු ලබන්නේ එයට පෙර පැවති රජයන් විසින් සිදුකළ පුද්ගල අතුරුදහන් කිරීම්, ඝතනයන් වැනි  මානව හිමිකම් උල්ලංඝණයන්  පිළිබඳව සොයා බැලීමට නොව, තම විධානයට යටත්ව සිදුවු සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරිමට ය. එබැවින් එකී කොමිසන් සභාවන් හි විශ්වාසනීයත්වය මෙන්ම එයින් අපේක්ෂා කෙරුණා වු කාර්යයන් පිළිබඳව ද ඇති කරනු ලැබුවේ ප්‍රශ්නකාරී තත්ත්වයකි.

කොමිසම් සභා වරපත්‍රයන්ට අනුව පරීක්‍ෂණ පැවැත්වීමට බලය පැවරෙන සිදුවීම් සහ ඒවායේ හි විෂය සීමාවන් පිළිබඳව තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එසේම පරීක්‍ෂා කළ යුතු සිදුවීම් පිළිබඳව කාල නීර්ණය කරනු ලබන්නේ ද ජනාධිපතිවරයා විසිනි. ඒ නිසාම ඇතැම් විට තමන් විසින් අණ දුන්, තමන් විසින්ම මෙහෙයවනු ලැබු සංහාරයක්, අපරාධයක්, මානව හිමිකම් උල්ලංඝණයක් පිළිබඳව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය පූර්ණ විනිශ්චයකට සහ අධීක්‍ෂණයකට යටත් කිරීමේ බලය සහ මුක්තිය ඔහු හෝ ඇය සතු වන්නේය. සාක්ෂි විමර්ශනයන් සඳහා තෝරාගත යුතු සහ නොගත යුත දෑ පිළිබඳව තීන්දු කිරීමේ බලය සහ අයිතිය හිමි වනුයේ ද ජනාධිපතිවරයා වෙත ය. එය ජනාධිපතිවරයෙකු සතු මුක්තිය දේශපාලන අභිලාශයන් වෙනුවෙන් අවභාවිතාවේ යොදවන්නකි. එනිසාම පත් කරනු ලබන්නා වු කවර හෝ කොමිසමක් තමන්ට හෝ තමන්ගේ අණ දීමේ ක්‍රියාවලියට යටත් වු, එම අණ දීමේ ක්‍රියාවලිය නොපිරිහෙලා ඉටු කරනු ලැබු  සියලු නිළයන් ආරක්ෂාකර ගැනීමේ හැකියාව සහ බලය ජනාධිපතිවරයා වෙත නිතැතින්ම හිමිවන්නේය.එකී තත්ත්වය ජේ.ආර්.ජයවර්ධන විසින් පත්කළ පළමු කොමිසමේ සිට මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කරනු ලැබු කොමිසම් සියල්ල දක්වාම වලංගු වන්නා වු සත්‍යයකි.

මානව වර්ගයාට එරෙහි අපරාධයන් ලෙස ශිෂ්ඨ සම්පන්න ලෝකය ඉදිරියේ හඳුනා ගැනීමට ලක්ව ඇති පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම්, වධබන්ධනයන්ට ලක් කිරීම් සහ නීතියට පිටස්තරව සිදු කෙරෙන්නා වු ඝාතනයන් පිළිබඳව පරීක්‍ෂා කිරීමට කොමිසම් පත්කරනු වෙනුවට කළ හැකි සුදුසුම සහ ප්‍රායෝගිකම ක්‍රියාව වන්නේ රටේ ‍වෛහාරික නීති පද්ධතිය බලාත්මක කරමින් ඒ තුළ එකී අපරාධයන් පූර්ණ විනිශ්චයකට ලක් කිරීම ය .එය වඩාත් විවෘත සහ තාර්කික ක්‍රියාවලියකි. රටක අධිකරණ පද්ධතියක් යනු ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභාවක ක්‍රියාපටිපාටියට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනා නෛතික ක්‍රියාවලියකි. එසේම ඕනෑම අයෙකු විවෘත අධිකරණයක් තුළ දි ප්‍රශ්න කිරීමට සහ සාක්ෂි විමසීමට බලය ඇති යාන්ත්‍රණයකි. අනෙක් අතින් අධිකරණයක් යනු,කවර හෝ පුද්ගලයෙකුට  එරෙහිව නෛතිකව නියෝග නිකුත් කිරීමට  ව්‍යාවස්ථාපිතව බලය හිමිවු ආයතන පද්ධතියකි. නුතන සමාජය තුළ ඒ තත්ත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් රටක අභ්‍යන්තර සීමාමායිම් ගෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර විනිශ්චය සභාවන් හා අධිකරණයන් තුළ මානව සංහතියට එරෙහි අපරාධ, බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව විමර්ශනය කරනු ලබයි.

කරුණු එසේ වුවද, යුක්තිය ප්‍රතික්‍ෂේප කිරීම සහ සත්‍යය වසන් කිරීම අරමුණු කොටගත් ආණ්ඩුවලට ස්ථාපිත අධිකරණ පද්ධතියට වඩා විශ්වාසනීය ලෙස තාවකාලිකව අටවනු ලබන ‘පරීක්‍ෂණ කොමිෂන් සභා’ දාස භාවයෙහි යොදවාගත හැකි ය. ශ්‍රී ලංකාවේ මෑත දශක කිහිපයක ඉතිහාසය ඊට කදිමට දෙස් දෙයි.

චන්ද්‍රිකා යුගයේ කොමිෂන් සභා

ඇටකටු අතර දරුවන් සොයන දකුණේ මවක් – සූරියකන්ද, 1994 ජනවාරි

ආර් ප්‍රේමදාස සහ ඩී බී විජේතුංග ජනාධිපතිවරුන් විසින් පත්කරනු ලැබු පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ කොමිෂන් කිසිදු සංවිධිත විනිශ්චයක් ලබා නොදීම අවසන් කරනු ලැබුණි.  අදටත් එකී කොමිෂන් විසින් තමන් වෙත ලැබුණා වු පැමිණිළි සම්බන්ධව කවර වු නිගමනයක්, නිර්දේශයක් ලබා දුන්නේ දැයි කිසිවෙකුත් නොදනිති. එමෙන්ම කවර වු අපරාධයක් සම්බන්ධයෙන්, කවර වු පුද්ගලයෙකුට විරුද්ධව සාක්ෂි ගොනු කළේ දැයි දන්නා අයෙක් නොමැත. අනෙක් අතින් තමන් වෙත ලැබුණා වු පැමිණිලි මත පදනම්ව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට කවර වු අපරාධයක් පිළිබඳව සාක්ෂි ගොනු නොකළ බව සියල්ලෝ දනිති.

චන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදුවන්නේ, ප්‍රේමදාස – විජේතුංග ආණ්ඩු විසින් පත්කරන ලද සියලු කොමිෂන් සභාවල පරීක්‍ෂණයන් යටපත්ව යන අතරවාරයේ සිදුවු දේශපාලන බල පෙරළිය මත ය. ගොඩ ගැසුණු මිනීකඳු සහ වධබන්ධනයන්ට පමුණුවා පස්යට සඟවාලු  හෝ මහමඟ අළු ධූලි බවට පත්කළා වු සිය දහස් ගණන් මිනිස් ප්‍රාණයන්ගේ මතකයන් අවුස්සාලමින් සිදුවන ඇගේ දේශපාලන සම්ප්‍රාප්තිය විසින් පෙර පැවති ආණ්ඩුව විසින් ගෙන ගිය රාජ්‍ය ධවල ෂණයේ ගොදුරු බවට පත්වුවන්ට යුක්තිය ඉටුකර දෙතැයි බොහෝ දෙනා කල්පනා කළහ. මව් පෙරමුණු හා පාද යාත්‍රාවන් හරහා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ  ඇට කටු සුරියකන්දේ සමුහ මිනීවලෙන් ගොඩ ගැනීම තෙක් දිග්ගැසුණු එකී ක්‍රියාවලිය, මරා දැමුවන්ගේ සමීපතමයන්ට ඇති කරනු ලැබුවේ අපේක්‍ෂා සහගත බවකි. ඇඹිලිපිටිය සිසු දරුවන්ගේ ඇට කැබලිති ගොඩගත් සුරියකන්ද සමූහ මිනීවල අද්දර සිට ‘ජාතිය ඇමතු’ එවකට බස්නාහිර පළාත් භාර මහ ඇමතිවරිය වු චන්ද්‍රිකාබණ්ඩාරනායක කුමාරණතුංග, සිය රජයක් යටතේ අපරාධකරුවන්ට උපරිම දඬුවම් පමුණුවන බවට ශපථ කළද එය මැතිවරණ පොරොන්දුවක් පමණක් බවට පත්වීමට වැඩි කලක් නොගියේය. සැබවින්ම හඳුනාගත් අපරාධකරුවන්ට එරෙහිව හෝ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට ඇයගේ පාලනය  අසමත් විය. ඇඹිලිපිටිය පාසැල් සිසුන් ඝාතනය සම්බන්ධව පවරන ලද නඩුව ඉතා දීර්ඝ කාලයක් විභාග කෙරුනු අතර අවස්ථා කිහිපයකදීම නඩුව කල්තබන ලද්දේ සැකකාර හමුදා සෙබළුන් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටින බව පවසමිනි.

එසේම පොදුජන එක්සත් පෙරමුණු වේදිකාවේ ප්‍රමුඛ සටන් පාඨයක් බවට පත්ව තිබු බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් පවරන ලද නඩුවද ඉවතට විසිවී ගියේ එහි ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව සිටි රනිල් වික්‍රමසිංහ නිදොස් කර හරිමිනි. පෙර පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමයේ සිදුකරන ලද පුද්ගල පැහැර ගැනීම්, ඝාතනයන්, වධබන්ධනයන් පමුණුවාලීම්, අතුරුදහන් කිරිම් මෙන්ම වධකාගාරයන් පවත්වාගෙන යාම් වැනි දෑ සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයන් සිදුකොට අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් පමුණුවනු  වෙනුවට චන්ද්‍රිකා කුමාරතුංග රජයද, එයට පෙර පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙන් ජනාධිපති කොමිෂන් සභාවන් පත්කරන ලද්දේ අතුරුදහන් සහ මරා දැමුවන්ගේ සමීපතමයන්ට යළිත් වතාවක් බලාපොරොත්තු ඇති කරමිනි. ඒ අනුව පළමුවෙන්ම පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ පලාත් මට්ටමින් කොමිසම්  තුනක් පිහිටුවන ලදී. ඒ මධ්‍යම, උතුරු – නැගෙනහිර සහ දකුණු පළාත්  මුල් කොටගත් කොමිෂන් ත්‍රිත්වයයි. 1994 නොවැම්බර් මස 30 දින ගැසට් අංක PO NO SP/6/N/191/94 යටතේ පිහිටුවන ලද මෙම කොමිෂන් ත්‍රිත්වයට බලය පැවරී තිබු‍ණේ 1988 ජනවාරි 01  දාට පසු සිදුවුයේ යැයි පැවසෙන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් පිළිබඳ සිදුවීම් සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වීමට ය.

පළාත් කොමිෂන්

ඒ අනුව මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත යන පළාත් හතර නියෝජනය වන පරිදි මධ්‍යම පළාත් කොමිසම ටී.සුන්දරලිංගම්ගේ සභාපතිත්වයෙන් ද, උතුරු සහ නැගෙනහිර පළාත් කොමිසම ක්‍රිෂ්ණ පිල්ලෙයි පාලකිඩ්නර් ගේ සභාපතිත්වයෙන්ද, මනෝරි කෝකිලා මුත්තෙට්ටුවේගම ගේ සභාපතිත්වයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් ආවරණය කෙරෙන පරිදි පත්කළ දකුණු පළාත් කොමිසම ද ස්ථාපිත කරනු ලැබුණි. මෙම පළාත් කොමිෂන්වල  අවසන් වාර්තාවන්ට අනුව පුද්ගලයන් කැමැත්තෙන් තොරව පැහැර ගෙන යාම සහ අතුරුදහන් කිරීම සම්බන්ධව පුළුල් සාක්ෂි සම්පිණ්ඩනයන්රජය වෙත ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.

මධ්‍යම පළාත ආවරණය වන පරිදි පිහිටුවන ලද කොමිසමෙ හි සැසි අංක iii දරණ අතුරු වාර්තාවට අනුව බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම සහ වධ බන්ධනයන්ට ලක් කිරීමත්, ඝාතනය කිරීමත් සම්බන්ධව හඳුනාගත් ආරක්ෂක අංශ සමාජිකයන් සහ පළාත් දේශපාලඥයන් ගණනාවක් සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාවන් ඇතුලත් කොට ඇත්තේය. ඒ අනුව 1995 වර්ෂයේ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් සෙනවිරත්න 1987 – 89 කාල වකවානුව තුළ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ පවත්වාගෙන ගිය රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකය භාරව සිටි අතරතුර  අඩංගුවට ගනු ලබන හෝ පැහැර ගැනීමට ලක්වන පුද්ගලයන් එකී රැඳවුම් මධ්‍යස්ථානය තුළ පිහිටි වධකාගාරයකදී වධ හිංසාවන්ට ලක් කොට ඇති බවට කොමිසම විසින් වාර්තා කොට තිබේ. එසේම හාලිඇල වධකාගාරය සහකාර පොලිස් අධිකාරි කරුණාරත්න යටතේත්, මොණරාගල ප්‍රජා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය වධකාගාරය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් මංගල පෙරේරා යටතෙත්, වැලිමඩ වයි.එම්.සී.ඒ ගොඩනැගිල්ලේත්, බෙරගල යුධ හමුදා කඳවුරු පරිශ්‍රයෙහිත්, හපුතලේ වී අලෙවි මණ්ඩලය ආදී ස්ථානයන්හි විවිධ හමුදා අණු කාණ්ඩයන් සහ පළාත් දේශපාලඥයන්ගේ අනුග්‍රහය සහිත වධකාගාරයන් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ද කොම්සම විසින් වාර්තා කොට ඇත. ඌව පළාත් සභාවේ එවක ප්‍රධාන අමාත්‍යවරයා වු පර්සි සමරවීර මෙන්ම ඔහුගේ පුත්‍රයා වන රවීන්ද්‍ර සමරවීර ද, ඔවුන්ගේ සමීප ඥාතියෙකු වන පළාත් සභා මන්ත්‍රී හා බෙරගල සමර් ෆැෂන් කම්හල් අධිපති උපාලී සමරවීර යන අය ද ඇතැම් සිදුවීම් සම්බන්ධව වගකිව යුතු යැයි කොමිසම් වාර්තාවන් හි දැක් වේ.

සන්නද්ධ හමුදා විසින් ඝාතනය කළ තරුණයන්ගේ දේහයන් අසළ වැළපෙන දරුවෙක් – අඟුණකොළපැලැස්ස, 1988

මේ හැරුණ විට ඇතැම් පුද්ගලයන් බලහත්කාරයෙන් පැහැර ගෙන යාම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධව උතුරු මැද පළාත් සභාවේ එවක ප්‍රධාන අමාත්‍යවරයා වු ජී.ඩී.මහින්ද සෝම, එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරුන් වු උතුරු මැද පළාත නියෝජනය කළ එම්.එස් අධිකාරි, එච්.ජී.පී නෙල්සන් යන අයවලුන් වගකිව යුතු බවටද වාර්තාව අනාවරණය කර සිටියි. එවකට පොළොන්නරුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ජේ ඒ සී ජයසේකර නමැත්තා ද, එම පොලිස් ස්ථානයේම පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඒ එම් කීරගල යන නිළධාරීන්ද පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි අදාළ කොමිෂන් වාර්තා තුළ දැක් වේ. එසේම එවකට ආණමඩුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ඉන්ද්‍රන් නැමැත්තාට එරෙහිව  පුද්ගල අතුරුදහන් කිරීම් සහ වධහිංසාවන් සම්බන්ධයෙන් ඉතා පැහැදිළි  සාක්ෂි කොමිසම වෙත ලැබි ඇති බවත්, ඔහු විසින් කොමිසම වෙත සාක්ෂි ලබා දුන් පුද්ගලයන්ට තර්ජනය කරන බවටත් කරුණු දක්වමින් ඔහු සම්බන්ධව කඩිනමින් විනය ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසත් අදාළ පළාත්  කොමිසම විසින් දේශපාලන බල අධිකාරිත්වයන් වෙතඑවක දී දැනුම් දී තිබිණ‍.

ක්‍රිෂ්ණපිල්ලෙයි පාලකිඩ්නර්ගේ සභාපතිත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පළාත් කොමිසම විසින් යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක අටෙහි පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පි‍‍ළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි සටහන් කරගෙන ඇති අතර කොමිසමේ අවසන් වාර්තාවේ ඇමුණුම් අංක ‘ඊ’ යටතේ පුද්ගල පැහැර ගැනීම් පිළිබඳ වගකිව යුතු 48 දෙනෙකුගේ නාම ලේඛනයක් දක්වා තිබේ. එසේම උතුරු නැගෙනහිර දෙපළාතේ පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් සම්බන්ධයෙන් සියයට අනුවක් පමණ වගකිව යුත්තේ රජයේ ආරක්ෂක සේනාවන් වන යුද, ගුවන්, නාවික සහ පොලිසිය බවටද අදාළ වාර්තාවන්හි සදහන්ව තිබේ.

සමස්ත ලංකා කොමිසම

හඳුනාගනු ලැබු අපරාධකරුවන් පිළිබඳව කොමිෂන් සභා විසින් කවර නිර්දේශයන්  නිකුත් කරනු ලැබුවද ඒ එකදු නිර්දේශයක් හෝ ක්‍රියාත්මක කිරීමට දේශපාලන බල අධිකාරීත්වයන් කටයුතු කර නොමැති බව පැහැදිලි ය. සැබවින්ම ඒ වන විටත් පොදුජන එක්සත් පෙරමුණු රජය විසින් ගොඩනගාගෙන තිබුණා වු දේශපාලන බල අධිකාරීත්වය උපයෝගී කොටගෙන අපරාධකරුවනට එරෙහිව නෛතික ක්‍රියාදාමයන්ට යොමුවීමේ හැකියාවක් පැවතුනද රජය ඒ කෙරෙහි කිසිදු සැළකිල්ලක් හෝ අවධානයක් යොමු නොකළේය. ඒ අනුව සුරියකන්ද මුදුනෙහි ඇඹිලිපිටිය පාසැල් සිසුන්ගේ සමුහ මිනීවල අභියස සිට රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර කරන ලද ප්‍රකාශයන් එයින් වසරකට, දෙකකට පසු අමතක කර දමන්නට චන්ද්‍රිකා කුමාරතුංග සමත් වූවාය.

එයින් පසු ඇගේ රජය විසින්ද උත්සහ ගන්නා ලද්දේ පෙර පැවති ආණ්ඩු පාලන සමයේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධව චෝදනා ලැබු ආරක්ෂක අංශයන්ට සම්බන්ධ විවිධ පුද්ගලයන් ආරක්ෂා කරගනිමින් ඔවුනට එරෙහිව ඇති චෝදනාවන් නොසලකා හැර තවදුරටත් එකී නිළධාරීන්ගේ ‘සේවය’ තම පාලනය වෙත ලබා ගැනීමට ය.  ඒ නිසාම කොමිෂන් සභාවන් ආරම්භ කොට වසර දෙකක් ගතවන විට එකී කොමිෂන් තුනෙහිම කටයුතු නතර කොට දමන්න යැයි නියෝගයක් ජනාධිපති කුමාරණතුංග විසින් නිකුත් කරනු ලැබුවාය. ඒ වන විටත් පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ පැමිණිළි 30,000 කට  ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභා වෙත ලැබී තිබුණු බව පැවසෙන අතර එයින් පැමිණිලි 10,000 පමණ සාක්ෂි විමසීමට ද  ඉතිරිව තිබී ඇතැයි වාර්තා වේ. පරීක්‍ෂාවට ලක් කරන ලද පැමිණිළි අතරින් 16,800 ක් බලහත්කාරයෙන් පැහැරගෙන යාම් හා සම්බන්ධ ඒවා වූ අතර එයිනුත් පැමිණිළි 1,681 ක සිදුවීම් සම්බන්ධ වගකිව යුත්තන් නිශ්චිතව හඳුනා ගැනීමට කොමිෂන් සබාවන්ට හැකිව තිබියදීත් පරීක්‍ෂණ අත්හැර දැමීමට ආණ්ඩුව ක්‍රියා කළේය.

එම්.සී.එම්. ඉක්බාල්

නමුත් පළාත් කොමිෂන් තුනේ හි කටයුතු නවතා දැමුවද  බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලිමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභාවනමින් මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් කොමිසමක් පත් කරන්නට  කුමාරණතුංග රජය කටයුතු කරන ලැබුවේ එයින් පසුව ය. අංක SP/6/N/214/97 යටතේ 1998 අප්‍රේල් මස 30 දින ස්ථාපිත කරන එම කොමිසමේ සභාපතිනිය ලෙස ක්‍රියා කරන ලද්දේ මනෝරි කෝකිලා මුත්තෙට්ටුවගමයි. නමුත් මෙම කොමිසමට නව පැමිණිළි භාර ගැනීමට කිසිදු අවසරයක් නොලැබුණු අතර අත්හිටුවන ලද පළාත් කොමිසම් තුනෙන් ඉතිරිවු පැමිණිළි පිළිබඳව පමණක් විමර්ශනය කිරීමට ඊට බලය පවරන ලදී.

මේ නිසාම කොමිසමට ලැබෙන පැමිණිළි සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත් අතර අතර පසුව එය සාවද්‍ය ලෙස අර්ථ දක්වනු ලබන්නේ අතුරුදහන් කිරීම් පිළිබඳව එතරම් පැමිණිළි සංඛ්‍යාවක් නොලැබුණු බව පවසමිනි. නමුත් ඒ වන විටත් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් පුද්ගල අතුරුදහන් කිරීම් සහ පැහැරගෙන යාම් පිළිබඳ පැමිණිළි 60,000 ගේ පමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබු බව වාර්තා වේ‍.

ඉහත කාරණාවට අමතරව, පැමිණිලි අඩුවීමට බලපා තවත් එක් හේතුවක් වන්නේ අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීමට කොමිසමට නිර්දේශ කොට තිබු කාල සීමාවයි. 1987 වර්ෂයේදි බොහෝ දෙනෙකුන් අතුරුදහන් කර හෝ පැහැරගෙන ගොස් තිබුණද ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට බලයක් කොමිසමට නොපැවරිණ. එසේම හමුදා මෙහෙයුම් විශාල වශයෙන් සිදු කෙරුණු 1996/97  වර්ෂයන්වල උතුරු නැගෙනහිර පුද්ගල අතුරුදහන් කිරීම්, ඝාතනයන් මෙන්ම පැහැරගෙන යාම් පිළිබඳව වාර්තා වී තිබුණද ඒ සම්බන්ධව විමර්ශණය කිරීමට ද කොමිසමට බලයක් නොලැබිණ. රිවිරැස මෙහෙයුම පැවති කාලයේ සිදුකෙරුනු පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිළි 600ක් පමණ සංඛ්‍යාවක් යාපනය ‘මව්පිය දුදරු සංවිධානය’ විසින්  කොමිසම වෙත ඉදිරිපත් කළ බවත්, එසේම මඩකලපුව සිවිල් ආරක්ෂක කමිටුව නියෝජනය කරමින් ජේසුයිට් නිකායික පූජකයෙකු වූ හැරී මිලර්’ පියතුමා තවත් පැමිණිලි 7000ක විස්තරාත්මක ලේඛණයක් කොමිසම වෙත ඉදිරිපත් කළ බවත් පෙන්වා දෙන මධ්‍යම පළාත් කොමිසමේ මෙන්ම සමස්ත ලංකා කොමිසමේත් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.සි.එම්.ඉක්බාල් කියා සිටින්නේ එම පැමිණිලි කිසිවක් භාර ගැනීමට හෝ ඒ පිළිබඳව විමර්ශනය කිරීමට හෝ කිසිදු නෛතික බලයක් හෝ අවසරයක් කොමිසමට ලැබි නොතිබුණු බවයි. ඒ හේතුවෙන්ම ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කිරීමට කොමිසමට සිදුවු බව ඔහු කියා සිටියි. මේ හා සමානවම දකුණු ලංකාවේ පැමිණිළි 16,000 ක් පමණ භාර නොගෙන ප්‍රතික්‍ෂේප කිරීමට කොමිසමට සිදුවු බවද ඉක්බාල් පෙන්වා දෙයි.

සමුහ මිනී වළවල්

කොමිසම් විසින් සමුහ මිනී වළවල් හෝ වධකාගාරයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පවා ප්‍රතික්‍ෂේප කොට ඇත්තේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එවැනි පැමිණිලි භාර නොගන්නා ලෙසට දේශපාලන බල අධිකාරීන් විසින් නියෝග කොට තිබු නිසා ය. සමුහ මිනී වළවල් සහ වධකාගාර පිළිබඳ තමන් වෙත ලැබුණු නිශ්චිත, එසේම පිළිගත හැකි මට්ටමේ තොරතුරු හා පැමිණිලි සටහන් කර ගැනීමට කොමිසම් විසින් කටයුතු කර තිබේ. ඇතැම් පැමිණිලි කොමිෂන් සභා විසින් නිකුත් කළ අතුරු වාර්තාවන් සහ අවසාන වාර්තාවන්ට පවා ඇතුළත් කොට නැතැයි පැවසේ. ඒ අනුව මධ්‍යම පළාත් කොමිසම විසින් පමණක් සමුහ මිනී වළවල් සහ පොලිස් හා හමුදා වධකාගාර 10කට වැඩි ප්‍රමාණයක් පිළිබඳවත්, ඒවාට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධවත් වැදගත් සාක්‍ෂි තම වාර්තාවන්ට ඇතුළත් කිරීමෙන් වැළකී තිබේ.☐

ප්‍රධාන සේයාරුව: දකුණේ දී පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක් වූ තරුණයන් දෙදෙනක් – හුංගම, ලුණුගම්වෙහෙර 1988

කිත්සිරි විජේසිංහ



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: