26
Jun
16

ගොං අගමැතියාගේ ගූ ගෑරුප්පුවෙන් කනකොට හරි රහලු.. (පුරවැසි කිලි බලය)

ajith-50df36d-mangala_gadaruwan_lnb

මෙයට වසර 29කට පෙර 1987 ජුලි 29වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එජාප ආණ්ඩුව යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1987 ජුනි 22වැනිදා රාත්‍රී රටපුරා කරන ලද වැටලීමකින් එම ගිවිසුමට එරෙහිව පැන නැගුණු විරෝධතා ව්‍යාපාරයන්ට නායකත්වය දුන් සරසවි සිසු නායකයින් 88 දෙනෙකු ඇතුළු 310ක් අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරය සහ තවත් ස්ථාන කිහිපයක රිමාන්ඩ් සිරගතකර මාස තුනක් තබාගෙන පසුව නිදහස් කළේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු ඇතුළු බොහෝ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විවිධ චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගැනීමේ අනතුරක් දැනටමත් මතුව ඇත. වත්මන් ආණ්ඩුවේ නායකත්වය යටතේ ඉදිරි වසර 5තුළ ජේ.ආර්. ජයවර්ධන තැබූ වාර්තාද කඩනු ඇතැයි ආණ්ඩුව කියන්නේ මේවාටද?

පිං අගමැති

එලොවටත් නැති මෙලොවටත් නැති නඩයක් ‘යහපාලන’ ආණ්ඩුවට ඔක්සිජන් ගහන්නට කිඹුල් කඳුළු හලනවාය. එකෙක් පුරවැසි බලයේය. තවකෙක් අලුත් පරපුරේය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කියාද පිරිසක් ඇත. විදියේ විරෝධය දවල්ටය. නිදහසේ වේදිකාව රෑටය. මොවුන් ඔක්කොම එක වල්ලේ පොල්ය. ජනතාවට දොං සිමංය. හරියට ‘යහපාලන’ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයින් වාගේය. දවල් මිගෙල්ය. රෑ ඩැනියෙල්ලාය. ජනවාරි 8 පැතූ ‘යහපාලනය’ මේකදැයි අසනුයේ වෙල්ල හැලියට නැග්ග බළලා වගේය. ‘යහපාලන’ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් කියන පිරිසක් සිවිල් සමාජයේ නියෝජිතයින් ලෙස පිලිගත යුතු නැත. මෙම ‘සිවිල්’ සංවිධාන දොර කවුළු වසාගෙන ජනතා බලයක් ගොඩනගන්නේ නැතිව මේ කරන්නේ මවාපෑමකි. ජනතා මැදිහත්වීම නොඉවසන, ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම් නොමැති, ‘ගේම්කාරයින්’ බහුතරයකින් සමන්විත මෙම පුරවැසි උගුල්වලට තවදුරටත් කිසිවෙකු රැවටිය යුතු නැත.

4-taem

මෙම පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අනවශ්‍යය. බොරු මායාවක් ලොවට පෙන්නා සැප විදිමින් ජීවත්වන ඔවුහු මේ කරන්නේ රඟපෑමකි. වාද විවාද කර කාලය කා දැමිය යුතුද නැත. මේ එන්.ජී.ඕ පුරවැසි උගුල් සංවිධාන ගැන ‘යහපාලන’ ආණ්ඩුවට හොද අවබෝධයක් ඇත. එබැවින් ආණ්ඩුව තමන්ගේ මාර්ගයේ බිය නොමැතිව පෙරටම ගමන් කරනු ලබයි.

‘යහපාලන’ බලයට පත්වී මාස 18ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. රාජපක්ෂ ආණ්ඩුවට 2014 සාපේක්ෂව ජනතාවගේ ජීවන බර ඉහල ගොස්ය. උද්ධමනයේ ප්‍රතිශතයක් ලෙස 3.3 සිට 4.8 දක්වා වැඩිවී ඇත. විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 8.3 සිට 6.6 දක්වා අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ බිඳ වැටෙමින් සමස්ථ කොටස් මිල දර්ශකය 7299 සිට 6465 දක්වා පල්ලම් බැස ඇත. විරැකියාව 4.3 සිට 4.9 දක්වා වැඩිවී ඇත. ජාත්‍යන්තර වර්ගීකරණ වලින් ලංකාවේ ආර්ථිකය පහලටම පල්ලම් බසී. මේ මොලයක් කරපු හරියක්ය. කුරුල්ලෙකු කිසි විටක වසන අත්තෙහි ශක්තිය ගැන නොසිතයි. කුරුල්ලා සෑම විටම විශ්වාසය තබන්නේ තමන්ගේ ම පියාපත් ගැනය. රාජපක්ෂ ආණ්ඩුව සිතුවේ එසේය. ‘යහපාලන’ ආණ්ඩුව සිතුවේ බටහිර රටවල ආලයේ තරම පමණි. එය මුලාවක්ම විය.

ලැම්බෝගිනි අල්ලන්නට පත්වූ ‘යහපාලන’ ආණ්ඩුව අවසානයේ ඇමතිවරුන් 30 දෙනෙකුට කෝටි 118ක සැප වාහන ගන්නට සල්ලි පාර්ලිමේන්තුවෙන්ම අනුමතකර ගත්තේය. එජාපය සමඟ ආණ්ඩුවේ වරදාන භුක්ති විදින ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ ඇමති විජිත් විජයමුණි සොයිසා කියන්නේ තමාගේ බෙල්ලේ ඇටයක් ගෙවී ඇති බැවින් සහ පිට කොන්දේ ඩිස්ක් ගොස් ඇති බැවින් රුපියල් ලක්ෂ 350ක අලුත් වාහනය අතවශ්‍ය බවකි. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද මේ දෙන විහිළු තහළු දිය නොහැක.

නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. මහර අධිකරණය ඉදිරිපිට බන්ධනාගාරයෙන් ගෙන ආ රැදවියන් පිරිසකට ඊයේ වෙඩි පිට වෙඩිය. ඉස්සරනම් කොහෝ හෝ මිනිසෙක් හාට් ඇටෑක් එකක් හෝ හැදී මලද එය බැර වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමටය. කැලණියේ ආචාරියා කට ඇරියානම් සුදු වෑන් එකකින් වැඩේකර ඇති බවක් ලුණු ගොරකා දමා කියනු ඇත. තහනම් කල බව කීවද ග්ලයිෆොසේට් රසායනයට වඩා අහිතකර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඉකුත්දා රේගුවෙන් මුදාහැර තිබේ. සතුට යනු එම රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම වන අතර දුක යනු මෙවැනි දෑ ගෙනෙන විට රසායනික පොහොරවලට එරෙහිව ගෝරනාඩු දමන අතුරලියේ රතන හිමි රාජගිරිය අසපුවේ මුනිවත රැකීමය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වන බවට ඇතැමුන් කියති. ඇමතිකමක් නොමැතිව නින්ද නොයන අය සහ බරපතල අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ඇති අය ඇගබේරා ගැනීම සඳහා එසේ යෑම සක්‍රයාගේ පුතා වයිමාට වුවද වැලකිය නොහැකි වනු ඇත.

942872_472636409479088_1921220828_n

දුරකථන බදු දැන් සියයට 49.57කි. මාසයකට රුපියල් 1,840ක දුරකථන බිලක් ගෙවන අයෙකු දැන් එයට අමතරව රුපියල් 912ක බදු ගෙවිය යුතුය. ෆ්‍රී වයිෆයි දෙන්නට ආ ආණ්ඩුව අමාරුවෙන් ගෙවූ ඩේටා බිලටත් වැඩේ දුන්නේය. දේශීය නිෂ්පාදනයක් වන මයික්‍රෝ කාර්වලට දේශීය වෙළෙඳපොළ තුළ ඉඩ ලබානොදී ඉන්දීය මෝටර් රථ වෙළඳපොල පෝෂණය කිරීමට ඉඩ ලබාදී තිබේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදී සිටින ලෙස පවත්වන ජනමත විචාරණයේ ක්‍රියාකල යුතු ආකාරය දැනුවත් කිරීමටද ශ්‍රී ලංකාවේ ඇමති දුසිම් භාගයක් දැන් බ්‍රිතාන්‍යයේය. අනේ අනිච්චං කියන්නේ මේවාටය.

බදු ගසන්නේ ටික කාලයකට බවද රට ආර්ථික අතින් ස්වයංපෝෂිත කලවිට තව වසර කිහිපයකින් ජනතාවට සහනදෙන බවද ‘යහපාලන’ ආණ්ඩුව කියයි. පුංචි කාලේ වාගේම දැනුත් මිනිසුන් සුරංගනා කථා ඇසිමට කැමතිය. එහෙත් ඒවා විශ්වාස කරන්නේ නැත. ආණ්ඩුවෙන් බැට නොකන අය දැන් හොයන එක නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ අසීරු වැඩක්ය.



අනවශ්‍ය දේවල්

  • 141,986 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
S M T W T F S
« May   Jul »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: