05
අගෝ.
15

නිර්මාල්ගේ කුඩා දුවලා හා හුත්තිගේ පුතාලා

මෙය පසුවූ පසු සටහනෙකි. කෙනෙකුගේ විචාරාක්ෂියට මේවා යල්පිණූ, පිළුණු වූ මත දැක්වීම් සේ පෙනෙන්නට පුලුවන. එහෙත් නූතන තාක්ෂණය හා වානිජමය තරගය මත විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සමාජය සිසාරා සිදුවන තොරතුරු (වෙසෙසින් ඔපාදූප හා ගොතනු ලැබූ කටකතා) සංසරණය ඉතා වේගවත්ය. මෙය තොරතුරු අධිභාරයකි. ඒ තත්ත්වය එක්කෝ ප්‍රේක්ෂකයා හෝ පාඨකයා වෙහෙසට පත්කරයි.  නැතිනම් යම් තොරතුරකට ප්‍රතිචාර දක්වන්නට සූදානම් වෙද්දී එවැනිම එහෙත් වෙනත් ඕපාදූප සමූහයකින් සමාජය පුරවාලයි. සමාජ ප්‍රතික්‍රියාවන් සඳහා හේතු වියයුතු කෙතරම් තදබල, සංවේදී දේ වාර්තා වුවද, ඒවා ඊළග නිමේෂයේදී පැරණි පුවත් තත්ත්වයට පත්වෙයි. විද්‍යුත් මාධ්‍යයන්ගේ මේ අසාමාන්‍ය තොරතුරු වේගය නිසා ඇතිවී තිබෙන සංකූලතාව හෙවත් පරිකල්පනය හා ප්‍රතිචාරයෙන් තොර පිරිසක් බිහිවීම  මදක් හෝ සමනය කරගත හැක්කේ මුද්‍රිත මාධ්‍යය තුළ මෙවැනි කතිකාවන් සඳහා මුල පිරීමෙනි. 

‘සැබෑ රණවිරුවන් යනු උතුරේ සිටි අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ මිනී මරුවන් නොව සංගීතයෙන් හදවත් සනසන අපියි’ තේමා කරගත් ‘සහෝදරත්වයේ දිනය’ නම් වූ සමරුවක් තමන් ‘අලුත් පරපුර’ යැයි හඳුන්වාගන්නා කණ්ඩායමක් විසින් කොළඹදී පසුගිය ජුනි 19 වනදා පවත්වන්නට යෙදුනි. (බොහෝ දෙනෙකුට එය අමතක වී ඇති බව ඉදුරාම දනිමු. ඒ තත්ත්වය, මේ ලිපියේ සමාරම්භක ඡේදයේ මා මතුකරන තර්කයට කදිම උදාහරණයකි) ප්‍රස්තුථ සැ(මැරුමට) බොහෝ පාර්ශ්වයන්ගෙන් ක්ෂණික හා උනුසුම් ප්‍රතිචාර ලැබෙනු දක්නා ලදි. එහෙත් සිදුවීමේ සංවේදීතාව නිසාම ඒ සියලු ප්‍රතිචාර බොහෝ හැඟීම්බර, ප්‍රහාරාත්මක ඒවා විය. අප සිතන්නේ තරමක් කල් ගතවී වුවද, මෙවැනි සිදුවීම් පිළිබද විවේකී මනසින් කෙරෙන සමාජ කථිකා වඩවඩාත් සමාජගත විය යුතු බවකි; නිර්දය වුවද විවේචන ගැඹුරු විය යුතු බවකි. නැතිනම් වන්නේ, එවැනි හරසුන් දේ හුදු ජනප්‍රියතාව හෙවත් සංස්කෘතික මතකයේ ‘කාලාවරෝධී භුක්තිය’ මත තවදුරටත් සමාජයේ තහවුරුවීමය; සම්ප්‍රදායන් බවට පත්වීමය.

අපේ විග්‍රහයට ප්‍රවිෂ්ටවීමට පෙරතුව නෛතික ප්‍රශ්නයක් මතුකරනු රිසියෙමි. මේ පිරිස ශ්‍රී ලංකා රජයේ හමුදා අතින් මරණයට පත්වූ ත්‍රස්තවාදීන් ‘අපේම සහෝදරයින්’ පිරිසක් සේ හඳුන්වයි. ඒ ත්‍රස්තවාදීන් මරාදැමූ විරෝධාර හමුදාව ‘මිනීමරුවන්’ සේ හඳුන්වයි.වචනයක් එහා මෙහා වූ පමණින්, හත්මුතු පරම්පරාවම අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවන්නට හෝ මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කරන්නට තරම් පිරිසිදු නීතියක් ඇති රටේ, මේ පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මේ වරද ප්‍රමාණවත් නොවන්නේ ඇයි දැයි අපි නොදනිමු. 

මේ ගර්හිත දේශපාලනය අපේ මහා කලාවද කලාකරුවාද, දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් කරන්නේය. රටේ පාලන තන්ත්‍රය බිහිකරගැනීම, මොළය වෙනුවට බඩ විසින් තීරණය කරන්නට පටන් ගත්තා සේම, පෙරදිග ධාන්‍යාගාරයේ බැතකරුවන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ තීරණාත්මක සාධයක් බවට බත් වෙනුවට පාන් පත්වූවා සේම සිංහලයේ සංස්කෘතියේ මහා නිර්මාපකයෝ හුදු පුරාවස්තුන් බවට ඌණනය කරවනු ලැබ තිබේ. මහා ශෛලමය පිළිම, දැවමුවා මූර්ති කෞතුකාගාරයන්හී පසුපස මිදුල් වලට හෝ අඳුරු ගබඩා වලට ගාල් වෙද්දී, ඔද්දල් විඥාන දූෂණයේ නිර්මාණාත්මක අවිචාරය, එනම් පැරිස් බදාමයෙන්, සිමෙන්තියෙන්, සෘජු ෆෝම්, ඉටි වලින් වලින් කළාවූ සැහැල්ලු ‘නූතන කලා කෘති’ කෞතුකාගාරයන්හී ආලින්ද අරක්ගෙන තිබේ. අගනා මාණික්‍යයන් ගං පතුලේ සැඟවෙද්දී ගොමරිටි උඩ පාවෙන්නට පටන්ගෙන තිබේ. එහෙයින් මේ ගර්භිත දේශපාලන ක්‍රියාවලියේ පැවැත්ම සඳහා කාලීන, ජනප්‍රිය ඔවුන් අලුත් යැයි සිතන පරපුරු බිහිකර ගන්නේය; පෝෂණය කරන්නේය. එක් පාර්ශ්වයකට පමණත් දොස්කීම සදොස්ය; අගතිගාමීය. ‘කණයින්’ පන්ඩිතයින් වෙද්දී අපි උන්ටම පමණක් දොස් නොකියමු. පෙරට පැමින ස්වකීය අනන්‍යතාව හා ඓතිහාසික අයිතිය වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට, නිදිවදින හෝ තැන තැන අප්‍රසිද්ධියේ කසු කුසු ගාන නෝංජල් ‘ලූලන්ද’ මේ අලකලංචි වලට වගකිව යුතු බව අපේ අදහසයි. සමාජය චෞරයින්ගෙන් ගහනවත්ම, එය ඉවසන දනා සුදනකු වන්නේ නැත. ප්‍රශ්නය අධර්මිෂ්ඨ මිනිසුන් බහුලවීම හා ඔවුන්ගේ සැහැසිකම් නොවේ. අධර්මිෂ්ඨයින්ට ප්‍රතිචාර නොදක්වන දැහැමි මිනිසුන්ගේ නිහඬතාවය ය.    

දෙගල්දොරුව පන්සලේ පුංචි සාමනේර හිමියන්ගේ ‘අනේ කූඹින්නේ – තොපටත් රජෙක් ඉන්නේ’ පද්‍යයෙන් කම්පනය වී සිටි මොණරවිල කැප්පෙටිපොල ඌවේ මහා අධිකාරමගේ හිත තුළ සිට සිංහලයා සුද්දාගේ විලංගු කඩාගෙන පිටතට පනින්නේ, කිවුලේගෙදර මොහොට්ටාලට මුණ ගැසෙන්නට පෙර, තිත්තවෙල මහ පනික්කල නම් වූ, පරපුරෙන් බෙර වයන්නෙකු හා ඇතිවන දෙබස හේතුවෙනි. අප කලාකරුවන් යැයි අමතන්නේ ඒ මිනිසුන්ට ය. ජාතිය දියකර හැරීම පිණිස එකමුතු වන්නට කලාකරුවන්යැයි කියාගන්නා කල්ලියකට අයිතිය ඇත්නම්, ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට සුජාත කලාකරුවන් හට යුක්තියුක්ත අයිතියක් තිබේ. ජාතිය වෙනුවෙන් පෙරට එන බලවේගයන් උදෙසා රණ බෙර වැයීමේ යුතුකමක් තිබේ. එසේ සිදු නොවන්නේ ඒ මහා සම්ප්‍රදායේ උරුමකරුවන් හෙවත් දේශයේ සුජාත කලාකරුවන් මේ අවාසනාවන්ත දේශපාලන සංස්කෘතියේ වළව් වල දාසයන් හෝ යාචකයන් වී ඇති බැවිනි. තාක්ෂණික, වානිජ විසූක දස්සන තුළ අතරමංවී ඇති බැවිණි. ඊටම සමාන්තරව ඒ රණ බෙර හඬවෙනුවට හරසුන්, බොල් බජව්කාරයින් හා බයිලාකාරයින් මැතිඇමතිවරුන්ගේ හෙංචන් හා පෙංචන් වී ඇති බැවිණි. 

කලාව යනු කුමක්ද? කලාකරුවා යනු කවරෙක්ද? ආදී වූ කරුණු සම්බන්ධයෙන් පුලුල් වෛෂයික සමාලෝචනයක් කිරීමට අපි මෙහිදී අපේක්ෂා නොකරමු. එහෙත් සංක්ෂිප්තව, ශ්‍රී ලංකාව යන මානව භූගෝලීය සීමාවේ ඓතිහාසික සංදර්භයට සමාන්තරව අප කලාකරුවන් සේ හඳුනාගන්නේ කලාව පූජනීය කොට සලකන පිරිසකි. එහෙත් ජනප්‍රිය රැළි වල නපුරු ආගමනයත් සමග, බේබද්දන්, ජිවිතයෙන් පරාජය වී ඉච්ඡාභංගත්වයට පත්වූවන්, පවුල් අවුල් වූවන්, මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූවන්, උග්‍ර ස්ත්‍රීවාදීන් හා ස්ත්‍රී වාදිනියන්, විෂමකාර ලිංගක ආශාවන් ඇත්තන්, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සොර අඹුවන්, කෞශල්‍යයට වඩා ‘කඳට’ මුල්‍ය වටිනාකමන් ඇති සමාජ ශාලා නාටිකාංගනාවන්, නූතන රැළි වල න්‍යායාචාරීන්, මූලාචාරීන් හා/හෝ ප්‍රධාන චරිත බවට පත්ව තිබේ. සිය ‘කෞෂල්‍යයන්’ ගේ පටන් ශරීරාංග දක්වා මිලක් නියම කරගනිමින්, ඒ පැවැත්ම සඳහා අවශ්‍ය සමාජ ප්‍රාග්ධනය පමණටත් වඩා රැස්කරගෙන සිටින ‘තොරම්බල් කරත්ත’ වලින් ආඪ්‍ය මේ නොසන්ඩාල රැළි වලට වඩා, බස් රථයක විරිදු සුරල් වයා සිඟා කන්නා කලාකරුවකු යැයි අපට දැනේ. ඒ යටත් පිරිසෙයින් අනිත්‍ය ගැන හෝ යමක් නිර්මාණාත්මකව කියන බැවිණි. 

රටේ ජනවිඥානය දන්නා, එය අමතන ජන කලාකරුවන් මේ රටේ සැබෑ කලාකරුවන් බව අපේ අදහසයි. පොත්ත පාට කරගත් පමණින්, පංචස්කන්ධය නඩත්තු කළ පමණින්, අරවා මේවා පේන්නට රගපෑ පමනින්, පත්තර වල මුල්පිටු ඡායාරූප වලට බාගෙට ඇද පෙනී සිටි පමණින්, අත් වල මස් ගොබ හදාගත් පමනින්, කලාකරුවන් බවට ස්වයං අභිෂේක වන්නන් හා වන්නියන් පිළිබද අප තුළ ඇත්තේ හිරිකිතක් ම පමණි. රටේ හෝ ගමේ හෝ මනුෂ්‍ය ජීවිතයේ හෝ යම් සංසිද්ධියක් පිළිබද කවදාක හෝ මේ රටේ මාධ්‍ය සැබෑ ජන කලාකරුවන් ගෙන් අදහස් විමසා,ඒවා ජනගත කර ඇත්ද? නැත. ආසියාවේ ආශ්චර්ය ගැනද, යහපාලනය ගැනද, මානව අයිතිවාසිකම් ගැනද, ත්‍රස්තවාදය ගැනද, පුවත්පත් සාකච්ඡා තැබිය හැක්කේ මේ කොලඹ සිටින උප සම්ප්‍රදායන්ටම පමණි. ඇත්තෙන්ම සිදුවී ඇත්තේ මේ රටේ සුජාත කලාකරුවන් සමාජමය හෝ දේශපාලන වටිනාකමක් නොමැති පිරිසක තත්ත්වයට දුර්වල කිරීමය. 

විද්‍යුත් මාධ්‍යයන්ගේ බාහුල්‍යය හා තාක්ෂණික නව නිපැයුම් හේතුවෙන්, නවීකරණය වී ඩිජිටල්කරණයද වීමෙන් සිදුවන ජනප්‍රිය සංස්කෘතියේ වේගවත් සංසරණයද සමගින්, විකල්ප ධාරාවන් හෙවත් අදිසි රැළි වල ව්‍යාප්තිය අපට හැටහේ. නව අවකාශයන් තුළ රැ‍‍ඳී සිටීමට මේ අදිසි රැළි වල සාමාජික සාමාජිකාවන් අත්පත් කරගෙන ඇති ‘ජීවන කුසලතා’ පිළිබඳවද අපි දනිමු. කලාව යුගයේ පර්යාවලෝකනයක් බව අපිදු පිළිගනිමු. එහෙත් මේ දුස්-කලාවන් (හෝ කලාකරුවන්) ප්‍රමුඛ වන තරමට, අසම්මත යුගයක අපි ජීවත් නොවන බව අපේ හැඟීමයි. ඒ දුස් සම්ප්‍රදායන් සමස්ත මහා සමාජයේ පර්යාවලොකනයක් යැයි අරුත් ගැන්වීම, බේරුවල, කාත්තන්කුඩි වැනි ස්ථානයක සිදුකෙරෙන සමීක්ෂණයකින් පසුව, රටේ ජනප්‍රියම ආගමික ග්‍රන්ථය කුරානය යැයි තීරණය කිරීමට දෙවෙනි නොවේ. එහෙත්, සම්මත බහුතරය තුළ පුරඟනන් ගේ පහස සොයන අසම්මත කිහිප දෙනෙකු හෝ සිටිය හැක. සමාජයක මහා සංස්කෘතියක් හා උප සංස්කෘතීන් කිහිපයක් ඇත්තාක් සේම ප්‍රධාන ධරාව හා උප (හෝ විකල්ප) ධාරාවන් තිබිම ගැන අපි පුදුම නොවෙමු. එහෙත් නැට්ට විසින් බල්ලා වැනීම ප්‍රශ්නයකි. එසේම ප්‍රධාන ධාරාවේ නිහඬතාවද ප්‍රශ්නයකි.

මේ උප සම්ප්‍රදායන්ගේ නැත්නම් රැළි වල ගාමක බලවේගයන් වී ඇති මූලාචාරීන් කවුද? ඔවුන් මෙහෙයවන බලවේග මොනවාද? මාක්ස්වාදී දෘෂ්ටිය, අධිසත්තා යථාර්තවාදය, බටහිර ලිබරල් සමාජ සම්බන්ධතා, සමලිංගිකත්වය, බටහිර ස්ත්‍රීවාදය, නිරුවත්වාදී ප්‍රවණතාවන්‍ ගුරු කොටගත් නිර්මාණ වේදිකාව සිනමාව හෝ පුංචි තිරය මත බහුල කළෝ ඒ මූලාචාරීන්ය. ඔවුහු, සිය රට ජාතිය ආගම ගැන කිසිදු හැගීමක් නැති, කල්ලතෝනි මතවාදයක් සහිත, නූතනවාදී ජනප්‍රිය සංස්කෘතියේ බලපෑමෙන් කලකට ඉහතදී මුසපත්ව දැන් ඒ ජනප්‍රිය සංස්කෘතියේම පැවැත්ම උදෙසා දරදිය අදින විකෘති දුස්-සංස්කෘතික ජීවිහුය. ගැටවර වයසේ දරු දැරියන්ගේ හැගීම් කළමනාකරණයේ හා නියාමනයේ උපන් සමත් කමක් දක්වන්නෝය. ස්වකීය පැවැත්ම පිණිස, සිය අම්මා අප්පච්චී වුව ඉහළ ලන්සුවකට සමාජමය වශයෙන් උකස් කිරීමට සමත් ඇත්තෝය. සිය ප්‍රතිරූපයේ රූපාන්තරණය තුළ විවිධ මට්ටම් වලදී, දේශද්‍රෝහීත්වයම පළට කළ ඇත්තෝය. ශ්‍රී ලංකා හමුදාව, බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි තීරණාත්මක ලෙස සටන් කරද්දී යුධ හමුදාව යනු විකෘති ලිංගික ප්‍රේරණයන්ගෙන් සමන්විත පිරිසකැයි යන මතය ජාතික කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීමට චිත්‍රපට, වේදිකා නාට්‍යය තනන්නෝය. අපේ මහා ශිෂ්ටාචාරයේ ආභාසයෙන් සුඛිත මුදිත කළ යුතු යෞවනය, පර දේශයෙන් ආ වැලන්ටයින් උන්මාදයක අතරමං කර, කොළඹ විහාර මහා දේවී පිටයේදී, නවයොවුන් හිරිමල් යෞවනියන්ගේ වටොර (කළව) මත තැබූ චොක්ලට් පෙති, දිවෙන් ගැනීමට තරුණයන් පෙළඹවූ ඇත්තෝය. මනෝරාජික ආදර විසක් පොවා යෞවනය වස්සන් හා වැස්සියන් බවට පත් කර සිහිනයක් දෙසට දැක්වූ ගොපල්ලෝය. ඒ දක්ෂ ව්‍යාපාරිකයෝ, මේ අදිසි රැළි හා පොදු සමාජ විඥානයෙන් විනිර්මුක්ත දේශපාලකඥයින් අතර පාලම් සාදා සිය කූටප්‍රාප්තිය සමරති. ඒ ඕනෑම සෙප්පඩ විජ්ජාවකට ඇති අයිතිය, අප ජීවත් කරවීමට මරණය තෝරාගත් සදාඅනුශ්මරණීය මිනිසුන් පිරිස‘ම්ලේච්ඡයන්‘ යැයි නම් කර ප්‍රසිද්ධියේ ඉටි පන්දම් පත්තු කිරීමක් දක්වා  පුළුල්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නොව සිත් රිද්දවා ගන්නා සාතිශය බහුතරයේ නිවටත්වය පිළිබද සලකුනෙකි.

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ මූලධර්ම වලට අනුව, එක් සන්ධිස්ථානයකදී, මානව කල්ප වානර පරිණාමය මානව පරිණාම රේඛාව හා වානර පරිණාම රේඛාව සේ දෙකට බෙදුනි. මානව පරිණාම රේඛාව දිගේ ඉදිරියට ආ පිරිසේ මිනිස් ගති ලක්ෂණ තහවුරු වෙමින් දියුණු වූ අතර, වානර පරිණාම රේඛාව දිගේ ඉදිරියට ආ වානරයින් තුළ ‘වඳුරු ලක්ෂණ’ බෙහෙවින් වර්ධනය විය. එසේ නොවුවා නම්, කලකදී සෑම වඳුරකුම මිනිසෙක් විය යුතුය. අප මේ සමාජගත කරන්නට උත්සහ දරන්නේ පරිණාමවාදය පිළිබඳ නව මතයක් නොවේ. මානව සමාජයේද විවිධ කාලීන සිදුවීම් සමග ඇති වන වර්ධනයන් නව සම්ප්‍රදායන් බිහිකරයි. ඒ සම්ප්‍රදායන් ප්‍රධාන ධාරාව හා මුහුවීම යුග ගණනාවක් මුළුල්ලේ සෙමෙන් ප්‍රවේශමෙන් සිදුවිය යුත්තකි. රැල්ලක් යනු සම්ප්‍රදායක් නොවේ. රැලි යනු ‘ආවෝ-ගියෝ’ ය. (සම්ප්‍රදාය හා සාම්ප්‍රදායිකත්වය වරදවා වටහා නොගන්න). බොහොමයක් සමාජමය ‘රැළි’ පිටුපස සිටින මූලාචාරීන් විසින්, සාම්ප්‍රදායික කලාකරුවන් හඳුන්වන්නේ ‘කුහකයින්’ ලෙසය. එහි යම් සත්‍යයක් නැත්තේද නොවේ. එහෙත් සිය සම්ප්‍රදාය රැක ගන්නට කුහක වන ඒ මිනිසුන්, කලාවේ අහලකවත් නැති ජාති භ්‍රෂ්ටයින්ට වඩා නම් යහපත් බවද කිව යුතුය. 

කෙසේ වෙතත්  මිනිසුන්ගේ මිනිස්ගති, හෙවත් ‘මනුස්සකං’ පෙනෙන්නේ වඳුරන්ගේ වඳුරුගති වලට සපේක්ෂවය. සමාජය මිනිසුන්ගේ මිස වඳුරන්ගේ නොවේ. වඳුරන් නොසිටිය යුතු බවක් ඉන් අදහස් නොවන බවද වටහා ගත යුතුය. වඳුරන් උන්ට හිමිතැන සිටිය යුතුය. නොදියුනු මනසක් ඇති හෙයින් උන්ට එය නොතේරෙන්නේ නම්, ඒ තැන පෙන්වා කියා දිය යුතුය. තම වලව් වල, පෙරහැර වල කරනම් ගසා නැටුම් සෙල්ලම් පෙන්නූ පමණින්, වඳුරන්ට රිලවුන්ට මයික්‍රෆෝනය දීම ප්‍රඥා ගොචර නැත. අහිකුන්ටිකයකුගේ දෙන්නෙකුගේ ගුරු උපදේශ අනුව නැටුම්, කරනම් පුරුදුවූ වඳුරන් හෝ රිලවුන්, සිය හාම්පුතුන් සතුටු කරවන්නට බඩ පිනුමක් දෙකක් ගසා දියුණු මනුෂ්‍ය ප්‍රජාවේ මතවාදී නායකත්වය ලබාගැනීම වඳුරන්ගේ කෙසේ වෙතත් මිනිසුන්ගේ අවැඩ පිණිසම හේතුවනු ඇත.

-ආචාර්‍ය චමිල ලියනගේ 
http://www.yuthukama.com

MAIN , THEORY , ආචාර්‍ය චමිල ලියනගේ

Advertisements


අනවශ්‍ය දේවල්

  • 153,691 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2015
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: