16
අප්‍රේල්
15

ජවිපේ + යූඇන්පී තිරිසනුන්ගේ සත්‍ය කථා…මතකතබා ගැනීම පිණිසයි.

Nirmal-Ranjith-e1382513813136-150x150 _MEE0025 10689679 puchcha  Closeup of dead youth, w. note attached Hena Burned body of victim of terrorist rebel      UNP Project

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා

 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 23 කොටස

ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා ආණ්ඩුවට සහ එජාපයට එරෙහිව වර්ධනය වෙමින් තිබියදී 1988 ජනවාරි මසදී පැරණි වමට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 ජනවාරි 18 වැනිදා නිවේදනයක් කරමින් සමසමාජ, කොමියුනිස්ට්, නව සමසමාජ, මහජන පක්ෂයද, ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් සහ කල්ලිද, කතෝලික පල්ලියේ මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධානද රැසක් තහනම් කළේය. එම නිවේදනයෙන් කියා සිටියේ ඒවා අතුගා දැමීම දේශප්‍රේමී අරගලයේම කොටසක් බවය.

ඒ වන විට ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ 1986 දෙසැම්බර් 15වැනිදා බණ්ඩාරගම හිරණ තොටුපලේදීද අනුරාධපුර පුරවැසි කමිටුවේ කැඳවුම්කරු නන්දන මාරසිංහ 1987 නොවැම්බර් 27වැනිදා අනුරාධපුරයේදීද ජනතා සංගමයේ ක්‍රියාකාරකයෙකු වශයෙන් සිට මහජන පක්ෂයේ ගොවි සම්මේලනයේ නියමුවෙකු වූ ජේමිස් ඇතුගල කුරුණෑගලදී මරා දමා තිබිණි. දේශප්‍රේමී සන්නද්ධ මූලස්ථානය 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල පත්‍රිකාවේ සඳහන් වූයේ ද්‍රවිඩ ඊලමට ගැති වාමාංශිකයින් තෙවන සතුරු හමුදාව ලෙස නම් කල බවය.

දයා පතිරණ 1986 දෙසැම්බර් 15 ඝාතනය කිරීමෙන් පසු ඝාතන සංස්කෘතියකට එරෙහිව විජය කුමාරතුංගගේ නායකත්වයෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් 1986 දෙසැම්බර් 24වැනිදා කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1987 දෙසැම්බර් 26වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැරණි වමේ පක්ෂ සහ සංවිධාන 76ක් එකතුවී ඝාතන සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට දෙසැම්බර් 26 ව්‍යාපාරය නමින් සංවිධානයක් ගොඩ නගන ලදී. විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16වැනිදා ඝාතනය වීමත් සමඟම දෙසැම්බර් 26 ව්‍යාපාරය ක්ෂය වී ගියේය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1988 අවසාන වන විට ඊලමට පක්ෂ වාමාංශික නායකයින්, ක්‍රියාකාරිකයින්, හිතවතුන් 158 දෙනෙකු මරා දමා තිබිනි. ඉන් 117 දෙනෙකු විජය කුමාරතුංගගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයට අයත් අය වූහ. මරා දැමූවන් අතර පොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හිමි, බුත්තල මයිකල් රොද්‍රිගු පියතුමා, විජය කුමාරතුංග, ගාමිණී මැදගෙදර, මහින්දබාහු, ටී. අමරදාස, අමර වෙල්ලප්පිලි, එස්.බී යාලේගම, එල්. ඩබ්ලිව් පණ්ඩිත, ගාමිණී තුඩාවේ, එම්.ඩී.එම් චන්ද්‍රවිමල, ජෝෂ් රත්නායක, දේව බණ්ඩාර සේනාරත්න, හෙන්රි පමුණුව, ටී.බී විජේසූරිය ඇතුළු මුල්පෙලේ නායකයින් කිහිප දෙනෙක්ම විය.

මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග ඝාතනය වීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සඳහා මහජන පක්ෂය ඇතුළු ඇතැම් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් වලට අවශ්‍ය විය. ප්‍රා සංවිධානය බිහි වූයේ ඒ අනුවය. එහි නායකත්වය ගත්තේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර සහ සරත් ද සිල්වා නොහොත් හලාවත පොඩි සිල්වාය. ප්‍රා යනුවෙන් කෙටියෙන් හඳුන්වන සංවිධානයේ සම්පූර්ණ නම මහජන විප්ලවකාරී රතු හමුදාවය.

ප්‍රා නායකයෙකු වූ පොඩි සිල්වා, ඩී.අයි.ජී. ධර්මසේකර සමගින් දේශපාලනය ඇරඹූ අතර 1971 කැරැල්ලේදී කුලියාපිටිය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට දායක විය. අනතුරුව අසූව දශකයේ මැද භාගයේදී දයාන් ජයතිලකගේ නායකත්වයෙන් යුත් විකල්ප කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු විය. විකල්ප කණ්ඩායම ඊපීආර්එල්එෆ් කණ්ඩායමේ දකුණු දිග ශාඛාව ලෙස ක්‍රියාකිරීමට උත්සාහ දැරීය. එහි සෙසු සාමාජිකයින් අතර ජෝ සෙනෙවිරත්න, චින්තක ද සිල්වා, සී.ජේ, දයාපාල තිරානගම, පුල්සරා ලියනගේ ඇතුළු කිහිප දෙනෙකුම විය.

විකල්ප කණ්ඩායමේ 23 දෙනෙකුම රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධි නඩුවක් 1987 මුල් භාගයේදී පවරන ලදී. එය කොළඹ මහ අධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් ඉදිරියේ විභාග විය. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟම එහි කොන්දේසියක් යටතේ අත්අඩංගුවට ගත් සියලු දෙනා 1988 අප්‍රේල් 22වැනිදා නිදහස් වූහ. ඒ අනුව පොඩි සිල්වාද නිදහස් විය.

ජවිපෙ මගින් සිදු කරන වාමාංශිකයන් ඝාතනයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රා සංවිධානය ගොඩ නැගීමේ මූලික සාකච්ඡාව රජයේ ලිපිකරු සේවා සංගමයේදී පැවතුණේ 1988 මැයි 18වැනිදාය. ප්‍රා සංවිධානයේ ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශය 1988 අගෝස්තු 01වැනිදා නිකුත් විය. දෙවන සංශෝධිත ප්‍රා ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව 1989 අගෝස්තු 01වැනිදා නිකුත් විය.

ප්‍රා සංවිධානය තුළ වඩාත් ක්‍රියාකාරි කණ්ඩායම වූයේ කේ.එල්. ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකි. විකල්ප සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ඇතැම් සාමාජිකයින්ද මහජන පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂවල ක්‍රියාකාරිකයින් පිරිසක්ද ජවිපෙ තර්ජනයට ලක්වී තිබූ හිටපු ජවිපෙ සාමාජිකයින් පිරිසක්ද, රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්ම ප්‍රා සංවිධානයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළෝය.

ජවිපෙ මර්ධනය කිරීමේ ලා තීරණාත්මක ලෙස කාර්යභාරයක් ඉටුකල ප්‍රා සංවිධානයේ පිරිසක් බුද්ධි අංශ සමඟද සබදතා පවත්වාගෙන ගියහ. ඇතැම් අයට ජාතික සහායක කණ්ඩායම යටතේ වැටුප් ගෙවූහ. හැඳුනුම්පත් ලැබිණි. ප්‍රධාන සාමාජිකයින් සංඛ්‍යාව 40ක් පමණ වූ අතර තව 200කට ආසන්න පිරිසක් එහි හිතවතුන් බවට පත්ව සිටියහ.

මේ කාලයේ ප්‍රා සංවිධානයට පරිබාහිර ජවිපෙට එරෙහිව ක්‍රියාත්මක වූ සෙසු නිල නොවන සන්නද්ධ කණ්ඩායම් වූයේ ස්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධානයන්ය. ප්‍රා සංවිධානය ද්‍රවිඩ ඊලම් සන්නද්ධ කල්ලි සමඟද එජාප ආණ්ඩුව සමඟද රජයේ අදාල ආරක්ෂක අංශ සමඟද නිරතුරුව සම්බන්ධතා පැවැත්විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර ගේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් ප්‍රා සංවිධානය සන්නද්ධ කිරීමෙන් අරමුණු දෙකක් අපේක්ෂා කල අතර එය ඉතා සාර්ථක විය. එනම් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත් කිරීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන්, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවට පත් කිරීමයි.

ප්‍රා සංවිධානය එජාප රජය මගින් ඔසී අබේගුණසේකර හරහා මුදලින් රුපියල් ලක්ෂ 20ක්ද කුලී වාහනද අවි ආයුධද ලැබිණි. එයට අමතරව ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය මගින් ප්‍රා සංවිධානයට ලබාදීම සඳහා මහජන පක්ෂයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදුන් බවද කියති. ජවිපෙ විසින් එල්ල කල භීෂණය හමුවේ අබල දුබල වී සිටි වමේ කොටස් ධෛර්ය සම්පන්නව නඟා සිටුවීමට ප්‍රා සංවිධානය යම් තරමකින් සමත් විය.

ප්‍රා සංවිධානය 1988 ඇරඹූවද එයට පෙර ශ්‍රීලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරකයින් පිරිසක් සන්නද්ධ පුහුණුව ලබාදීම සදහා 1988 ඔක්තෝබර් මසදී වව්නියාවේ ප්ලොට් ද්‍රවිඩ ඊලම් සංවිධානය වෙත යැවීමට මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග කටයුතු කළේය. ඒ ප්ලොට් නායක උමා මහේස්වරන් සමඟ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. එය රහසක් වශයෙන් පක්ෂයේ නායකයින් විසින් රඳවා ගනු ලැබීය. එසේ උතුරේ ප්ලොට්, ඊපීආර්එල්එෆ්, ඊරෝස් ද්‍රවිඩ සංවිධාන වලින් සන්නද්ධ පුහුණුව ලැබූ දකුණේ වාමාංශිකයන් සංඛ්‍යාව 100ක් පමණ වූ අතර ඔවුන්ගෙන් පිරිසක්ද ප්‍රා සංවිධානය ඇරඹූ පසු එයට දායක විය.

ප්‍රා සංවිධානයේ බංකර් සහ නිවාස ගණනාවක් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගියේය. කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, බැරැක්ක පටුමගේ නව වමේ බංකරය, නොරිස් කැනල් පාරේ බංකරය, බොරැල්ලේ ඔස්ලෝන් බංකරය, අනුරාධපුර රජරට සේවය අසල වෘත්තිය සමිති බංකරය, වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ බංකරය, කුරුණෑගල ජයවික්‍රමගේ බංකරය ඒ අතර ප්‍රධාන විය. එක්සත් සමාජවාදී පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද ඉහළම කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කළේය. ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකු වන උමා ප්‍රකාශ් සිටියේද ෆෙස්ටස් පෙරේරාගේ නිවසට ආරක්ෂාව සපයමිනි. පසුව ඔහු ප්ලොට් නායක උමා මහේෂ්වරන් 1989 ජුලි මස ඝාතනයට ලක් වීමෙන් පසු ඉන්දියාවට පැන ගියේය.

බටලන්ද වධකාගාරය කළු බළල්ලු සංවිධානය මගින් මෙහෙයවූ අතර ඒ සමඟද ප්‍රා සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායක පොඩි සිල්වා සහ ධර්මසිරි 1989 ජුනි 19වැනිදා රනිල් වික්‍රමසිංහද හමුවී තිබිණි. කර්නල් ජානක පෙරේරා ගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී අවි ලබාගත් බවට වාර්තා වේ. පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර සමඟ ඩග්ලස් පීරිස් ඇතුළු බටලන්ද වධකාගාරයේ මෙහෙයුම්වලට සම්බන්ධ කිහිප දෙනෙකු සමඟ ප්‍රා සංවිධානය වෙනුවෙන් සම්බන්ධතා නිරතුරුව තබා ගත්තේය. පොඩි සිල්වාගේ දිනපොත අනුව පද්මනාභ සමඟ නිරතුරුව උපදෙස් ලබාගෙන තිබිණි.

එජාප ආණ්ඩුව මගින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988 මාර්තු 25වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයට භාර දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් බාර ගත්තේ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ විසිනි. චන්ද්‍රිකා කුමාරතුංග දරු දෙදෙනා සමඟ 1988 අප්‍රේල් මස රට හැර ගියේය. එජාප ආණ්ඩුව ලබා දුන් සියලු ආයුධ 1988 මාර්තු 25වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ ඇයගේ නිවසේය. පසුව චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1988 ජුනි 12 වැනිදා ඔසී අබේගුණසේකරට ලිපියක් ලියමින් 1988 ජුනි 30 වැනිදා පසුව තමාගේ නිවස ආයුධ තබා ගැනීමට, කිසිදු සාකච්ඡාවකට හෝ දේශපාලන කාර්යයකට ඉඩ නොදෙන බැවින් ඉන් ඉවත්වන ලෙස දන්වන ලදි. මෙම ආයුධ වලින් කොටසක්ද පසුව ප්‍රා සංවිධානයට යොමු විය.

පොඩි සිල්වාගේ රියදුරු සිරිපාල වූ අතර ප්‍රා සංවිධානය පරිහරණය කළේ පැහැර ගෙන එනු ලැබූ සැකකරුවන්ගේ වාහනය. ඔසී අබේගුණසේකර විසින් ප්‍රා වෙත අවසන් වරට මුදල් ලබා දෙන ලද්දේ 1989 ජුනි 20වැනිදාය. ටෙලෝ සාමාජිකයින් දෙදෙනෙකුද ඔවුන්ගෙන් මරණයට පත්විය. මාෂල් නැමැත්තෙකු 1989 ජුලි 29වැනිදා පැහැරගත් අතර ඔහු අගෝස්තු 04 වැනිදා නිදහස් කරනු ලැබුවේ ලක්ෂ 5ක කප්පමක් ලබා ගැනීමෙනි. සැකකරුවන් කිහිප දෙනෙක්ම අදාළ පවුල්වලින් මුදල් ලබා ගත් පසු නිදහස් කළෝය.

ප්‍රා සංවිධානය මගින් අත්අඩංගුවට ගත් අය මරා දැමුවේ අත් පා කපා දරුණු වධ දීමෙනි. ජවිපෙන් ගැටුම් හදා ගෙන ඉවත්වූ පැරණි ජවිපෙ සාමාජිකයින් ගෙන් ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් පිළිබඳ ඔත්තු ඔවුනට ලැබිණි. බංකර සහ වධකාගාර තුළදීම ජවිපෙ සාමාජිකයින්ට දරුණු වධ දී ඔවුන් බිල්ලක් ලෙස යොදා ගනිමින් සෙසු ජවිපෙ සාමාජිකයින් හඳුනා ගැනීම ඇරඹුවේ ප්‍රා සංවිධානය මගිනි. ජවිපෙට තිබූ පුරුද්දක් වූයේ පොදු සමාජයට අළෙවි කල හැකි මට්ටමෙන් හෝ යම් සිවිල් බලයක් ඇති පුද්ගලයෙකු පක්ෂයට හිතවත් වූ කල්හි “අහවලත් දැන් අපේ පක්ෂයේ” යැයි කියමින් වෙනත් අය දිනා ගැනීමට උත්සාහ කිරීම හෝ විරුද්ධවාදීන් මානසිකව ඇද දැමීමට උත්සාහ කිරීමය. එම හේතුවෙන් අනාවරණය වූ ජවිපෙ හිතවතුන් කිහිප දෙනෙක්ම ප්‍රා සංවිධානයේ ඉලක්ක බවට පත්වී තිබිණි.

ප්‍රා සංවිධානයට ප්‍රජා ත්‍රන්ත්‍රවාදී විභවයක් නොවිය. එයට අවශ්‍ය වූයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සන්නද්ධ බලයක් ගොඩනඟා එය විනාශ කිරීම පමණි. එහි න්‍යාය පදනම් වූයේ දෙවන ලෝක යුධ සමයේ ස්ටැලින් ඉදිරිපත් කල පැසිස්ට් විරෝධී මහජන පෙරමුණේ න්‍යාය මගිනි. ජවිපෙට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සෙවීමට ප්‍රා සංවිධානය උත්සුක නොවීය.

සරසවි සිසුන් 396ක් ඉකුත් භීෂණ සමයේදී ඝාතනය වූ අතර තවත් සරසවි සිසුන් 227ක් අතුරුදහන් විය. ප්‍රා සංවිධානය ඝාතනය කල 1,222ක අතරට සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඇතුලත් වේ. ඉන් වැඩි පිරිසක් මරා දැමුවේ ප්‍රා සංවිධානයට ගොනුවී සිටි ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ ඉහළම නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ ඊශවරගේ ආරියසේනය. රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ඉහළ පෙළේ නායකයින් අත්අඩංගුවට ගැනීමට හේතු වූ ජවිපෙ කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායකයෙකු වන රජා මහත්තයා අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන්නේද ප්‍රා සංවිධානය මගිනි. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ සාමාජිකයින් සහ ජවිපෙ හිතවතුන් සංඛ්‍යාව 1,222කි.

ප්‍රා සංවිධානයේ කටයුතු 1990 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූයේ නැත. එහෙත් හලාවත පොලිසිය මගින් වට්ටක්කුලිය ඉස්සන්දූවේ පිහිටි ප්‍රා මූලස්ථානය 1997 මැයි 29වැනිදා වටලනු ලැබීය. අනතුරුව එහි සාමාජිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගන්නා ලදී. ඔවුන් අතර මහජන පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද විය. පසුව ඔවුන් නිදහස් වූහ.

 ඉන්දු ලංකා ගිවිසුමෙන් 1987 ජුලි මස ගිවිස ගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කල 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 වැනිදා පළාත් සභා සංස්ථාපනය කරන ලදි.

එජාප ආණ්ඩුව මගින් පළාත් සභා ඡන්දය පැවැත් වූයේ අවස්ථා 4කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28වැනිදාද මධ්‍යම සහ බස්නාහිර පළාත් සභා ඡන්ද ජුනි 02වැනිදාද, දකුණු පළාතේ ඡන්දය ජුනි 09වැනිදාද, නැගෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19වැනිදාද පැවැත්විණි. පළාත් සභා පනතට එරෙහිව වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය කළේය. පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට විරුද්ධව 1987 නොවැම්බර් 09වැනිදා ජවිපෙ මගින් පළමු ජාතික විරෝධතා දිනය පවත්වන ලදී.

පිළිගත් දේශපාලන පක්ෂ වලින් ආණ්ඩු බලය හිමි එජාපය සමඟ තරඟ කළේ එක්සත් සමාජවාදී පෙරමුණ(කොප, සමසමාජ,නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය), ඊ. පී. ආර්. එල්. එෆ් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පමණි. ශ්‍රීලනිප, මහජන එක්සත් පෙරමුණ, රුක්මන් සේනානායකගේ එක්සත් ලංකා ජනතා පක්ෂය පළාත් සභාවට විරෝධය පළ කරමින් එය වර්ජනය කළහ. ඡන්ද දිනයන්හි ජවිපෙ ඇඳිරි නීතිය පනවා තිබූ අතර ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු විය. මාතලේ එසපෙ අපේක්ෂක හිටපු මන්ත්‍රී එස්. බී යාලේගම ඇතුළු රට පුරා පළාත් සභා අපේක්ෂකයින් සහ ඡන්ද දායකයින් කිහිප දෙනෙක්ද ඝාතනය කර තිබිණි. ඡන්දය වැටීමේ අනුපාතය වූයේ සියයට 49.7කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම අනුපාතය සියයට 7.97ක් විය. මාතර එය සියයට 20කි.

පළාත් සභා ඡන්දයෙන් පසු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා රට පුරා වේගයෙන් වර්ධනය වූ අතර එය නොවැලැක්විය හැකි තත්ත්වයකට පත්වී තිබිණි. බිමි බෝම්බ තාක්ෂණය අත්හදා බලමින් 1988 අප්‍රේල් 05වැනිදා අකුරැස්ස අමලගොඩ හන්දියේ බිමි බෝම්බයක් තැබූ අතර එය නිෂ්ක්‍රීය කිරීමට යෑමේදී බෝම්බය පුපුරා යාමෙන් ලුතිනන් බුද්ධප්‍රිය අලකාවල මිය ගියේය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අගලවත්තේ මෙරිල් කාරියවසම් 1989 සැප්තැම්බර් මසද, අධ්‍යාපන සේවා අමාත්‍යවරයා වූ කුලියාපිටියේ ලයනල් ජයතිලක 1988 සැප්තැම්බර් 26වැනිදාද, දිසා ඇමතිවරයෙක් වූ හබරාදූවේ ජී.වී.එස් ද සිල්වා 1988 මැයි 01වැනිදාද, ගලගෙදර ඩබ්ලිව්.එම්.පී.ජී. බණ්ඩා, කරන්දෙනියේ දයා සේපාල සේනාධීරද, නුවර අනුර ඩැනියල් තලාතුඔයේදී 1989 ජුනි 25වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ඝාතනය කරන ලදී. එයට ප්‍රථම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ තංගල්ලේ ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 01වැනිදා අගුණකොලපැලැස්සේදී වෙඩි තබා මරා දැමූ අතර දෙනියායේ කීර්ති අබේවික්‍රම 1987 අගෝස්තු 18වැනිදා පාර්ලිමේන්තුවේ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය.

කම්කරු පන්තිය බලහත්කාරයෙන් වැඩවර්ජනයකට 1988 ඔක්තෝබර් 10වැනිදා යොමු කළේය. දැවැන්ත විරෝධතා වලින් 1988 නොවැම්බර් වන විට සම්පූර්ණයෙන් රට අරාජික වූ අතර රට මෙහෙයවන පුංචි ආණ්ඩුව බවට ජවිපෙ පත්වී තිබිණි. නියෝග නොතැකූ බස් රියදුරන්, ඇඳිරි නීතිය නොතකා රූපවාහිනී නැරඹූ කිහිප දෙනෙක්ද මරා දමා තිබිණි. ජන ජීවිතය පත්වූයේ ඉමහත් අවුලකටය. බස් වැඩවර්ජනය හේතුවෙන් මිනිසුන් කිලෝමීටර් විස්ස තිහ පයින් ගියේය. බස් වර්ජනය 1988 ජුනි 12 වැනිදා ආරම්භ වූ අතර එය නිමා වූයේ ජුනි 13වැනිදාය. රුපියල් 2,500ක මාසික වැටුප් වර්ධකයක් ඉල්ලා ජවිපෙ බලහත්කාරයෙන් මෙහෙයවූ බස් වර්ජනය නිමාවන විට මරණයට පත්ව සිටි ලංගම සේවකයින් ගණන 115කි.

ජවිපෙ සංවිධානය කල මෙම විරෝධතාවන් ගේ අවසාන අරමුණ වූයේ ජාතික විමුක්ති ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහාය. එහෙත් පන්ති බලවේගයන් අවම මට්ටමින් හෝ ඊට නායකත්වය දීමට සූදානම් කිරීමක් කර තිබුණේ නැත. මේ සඳහා එක්සත් පෙරමුණේ අරමුණු 49කින් යුත් ජාතිය ගලවා ගැනීමේ වැඩපිළිවෙළ ජවිපෙ මගින් 1988 සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ජාතික විමුක්ති ආණ්ඩුවක් බිහි කිරීමට දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාද 1988දී අවසාන භාගයේ දී ආරම්භ කළේය. ජවිපෙ කල ආයාචනයට ශ්‍රිලනිප, මහජන එක්සත් පෙරමුණ, රුක්මන් සේනානායකගේ එක්සත් ලංකා ජනතා පක්ෂය, අශ්රොෆ්ගේ මුස්ලිම් කොංගසය, ආචාර්ය චානක අමරතුංගගේ ලිබරල් පක්ෂය, කුමාර් පොන්නම්බන්ගේ ද්‍රවිඩ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය ජවිපෙ ඉල්ලීමට යම් අනුකූලතාවක් දක්වමින් සාකච්ඡාවට එක්විය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද පුළුල් දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීමේ අරමුණින් පක්ෂ 08 සංධානය ගොඩනැගිමේ බර  කරට ගත්තේය.

සාකච්ඡා පැවැත්වූයේ රුක්මන් සේනානායකගේ වුඩ්ලන් මන්දිරයේදීය. සාකච්ඡා කෙරෙහි සිරිමා බණ්ඩාරනායක මැතිනිය වැඩි විශ්වාසයක් නොතබන ලදී. එබැවින් අනුර බණ්ඩාරනායක කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට සෙසු පක්ෂ කටයුතු කළේය. එහෙත් මෙහිදී ජවිපෙ සහ ශ්‍රිලනිප දෙපිරිසම සිදුකළේ රඟපෑමක් පමණි. ජවිපෙට අවශ්‍ය වූයේ ශ්‍රිලනිපය ගමනක අවසානය දක්වා ගෙනයෑමටය. ශ්‍රිලනිපයට අවශ්‍ය වූයේ ජවිපෙන් ආධාර ලබා බලයට පැමිණීම පමණි.

සාකච්ඡා සඳහා ජවිපෙ නියෝජනය කළේ ඩී.එම්. ආනන්ද, ආනන්ද ඉඩමේගම සහ සෝමවංශ අමරසිංහද සාකච්ඡාවලට එක්විය. ආනන්ද ඉඩමේගම ජවිපෙ වෙනුවෙන් සාකච්ඡා ඇදගෙන ගියේය. ජවිපෙ තෙවැනි නායකයා වූ දිසානායක මුදියන්සේලාගේ නන්දසේන නොහොත් ඩී.එම්. ආනන්ද 1954දී වාරියපොලදී උපන් අතර පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ උපාධිධාරියෙකි. අමල් නොහොත් අධිකාරි ලෙසද හැදින්වූ ඔහු රණසිංහ ප්‍රේමදාස සමඟ දැඩි සම්බන්ධයක්ද ඇතිකරගෙන තිබිණි. සුචරිතයට ගොස් තෙවරක් ඔහු ප්‍රේමදාස හමුවී තිබිණි. පසුව ඩී.එම්. ආනන්ද 1989 ඔක්තෝබර් මස කොළඹ රජා මහත්තයාගේ ඔත්තුවක් අනුව ඇහැලියගොඩදි අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ නීති පීඨ කඳවුරෙන් මත්තේගොඩ කඳවුරු ගෙන ඒමෙන් පසු ඝාතනයට ලක්විය. අත්අඩංගුවට පත්වීමෙන් පසු ජනාධිපති ප්‍රේමදාස හමුවිමට ඔහු කල ඉල්ලීම ප්‍රතික්ෂේප විය. කර්නල් ජානක පෙරේරා විසින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් දෙදෙනෙක් වන පියදාස රණසිංහ සහ එච්.බී. හේරත් ගලහ අරලිය වතුයායේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඩී.එම්. ආනන්දගේ ලැබුණු තොරතුරක් අනුවය.

සාකච්ඡාවට එක්සත් ලංකා ජනතා පක්ෂයෙන් සහභාගි වූ එහි ලේකම් ගාමිණි විජේසේකර 1963දී එජාපයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබාගෙන 1977දී එජාප විධායක සභාවට පත්විය. පසුව 1986දී එජාපය අතහැර ගොස් රුක්මන් සේනානායක සමඟ එක්සත් ලංකා ජනතා පක්ෂය පිහිටුවූ අතර 1990දී ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ යළි එජාපයට එක්වී 1994දී පාර්ලිමේන්තුවට පත්වීය. අනතුරුව ගාමිණී දිසානායක මරදාන හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී මිය යෑමේදී ඔසී අබේගුණසේකර, විරසිංහ මල්ලිමාරච්චි, එම්.ජී. ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් සමඟ මරණයට ලක් විය.

මෙම සාකච්ඡාවන්ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් චම්පික රණවක, ගාමිණී මාලසිංහ ඇතුළු සරසවි ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙක්ද සහභාගි විය. දේශප්‍රේමී එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමට කටයුතු කල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු වී සිටි ගාමිණී මාලසිංහ වෛද්‍ය ගාමිණී විජේසේකර ගේ රථයෙන් ගමන් කරමින් සිටියදී මිරිහාන ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදී. වෙන්නප්පුව ජෝසප් විදුහලේ අධ්‍යාපනය ලත් මාලසිංහ ආරච්චිගේ ෆැන්සිස් ගාමිණී පදිංචිව සිටියේ ලුණුවිල මණ්ඩිරිප්පුව වෙරළුගහ පාරේය. ඔහුගේ පියා ජෝජ් අප්පුහාමි විය. පවුලේ බාලයා වූ හෙතෙම රාජගිරියේ දේශිය ආයුර්වේද වෛද්‍ය පීඨයේ බලය ලබාගැනීම සඳහා කල ක්ෂණික මෙහෙයුමේ නායකයෙකුද විය. වෛද්‍ය ගාමිණී සම්බන්ධීකරණයෙන් කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලයේ ගුරුජිත් සිං සමඟ සාකච්ඡා වාර කිහිපයකට 1987/88දී ගාමිණී මාලසිංහ එක්වී සිටියහ.

ශ්‍රිලනිපයෙන් සාකච්ඡාවලට සාහභාගිවූයේ ධර්මසිරි සේනානායක, සෝමසාර දිසානායක, අනුරුද්ධ රත්වත්තේ, ඉන්ද්‍රපාල අබේවීර, ආරිය බුලේගොඩය. විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක එක් වතාවක් පමණක් එයට එක්විය. අශ්රොෆ්ගේ මුස්ලිම් කොංගසය, මුස්ලිම් කලාපීය පාලනයක් අවශ්‍ය බව කියමින් සාකච්ඡාවෙන් ඉවත් විය. රුක්මන් සේනානායකද සියළු දෙනා එක්වන්නේ නැතිනම් එය සාර්ථක නොවන බව කියමින් ඇග බේරා ගත්තේය. අවසානයේ අශ්රොෆ් ජනාධිපතිවරණයේ රණසිංහ ප්‍රේමදාසට සහාය දෙන බවට ප්‍රකාශයක් නිකුත් කළේය. අවසානයේ පක්ෂ 8 සාකච්ඡාවේ ඉතිරි වූයේ දිනේෂ් ගුණවර්ධන, පොන්නම්බලම් සහ චානක අමරතුංග පමණි.

පක්ෂ 8 දේශප්‍රේමී එක්සත් ජාතික පෙරමුණ සාකච්ඡාව ජවිපෙ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය. එය 1986දී මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගොඩනැගිමේදී සිදු කරන ලද උපක්‍රමික ප්‍රවේශයේම තවත් සංධිස්ථානයක් විය. ජනාධිපතිවරණය 1988 ඔක්තෝබර් 20වැනිදා පැවැත්වෙන බව නිවේදනය කල පසුව ශ්‍රිලනිපය එයට තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟම දේශප්‍රේමී එක්සත් ජාතික පෙරමුණ දෙදරා ගියහ. ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ඉල්ලිමක් ජවිපෙ රටට කියා පෑවේය. සිය සන්නද්ධ හැකියාව පිළිබඳව අධි තක්සේරුවක් ජවිපෙට ඒ වන විට ඇති වී තිබිණි. ජවිපෙ පාලනය රෝහණ විජේවිරගෙන් ගිලිහීමින් පැවතිණි. පක්ෂය තුළ විජේවීරගේ කණ්ඩායම සුළුතරවී ඩී.එම්. ආනන්ද සමන් පියසිරිලා බලවත් වී තිබිණි. එක්සත් පෙරමුණ තුළද හෘද වස්තුවෙන්ම මස් රාත්තල ලබා ගැනිමේ වුවමනාව ජවිපෙට තිබිණි.

ජනාධිපති මැතිවරණ වර්ජනය තුළින් බලාපොරොත්තු වූයේ එජාපයම තවදුරටත් බලයේ සිටීම මගින් ඉදිරියේදී වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම උපක්‍රමික අවශ්‍යතාව අනුව ශ්‍රිලනිපය දේශදෝහියෙකු ලෙස අනතුරුව නම් කළේය. ශ්‍රීලනිපයේ ආරිය බුලේගොඩ සහ එස්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ මගින් පක්ෂය පිහිටුවීමට මුල් වූයේද ජවිපෙයි. බස් වර්ජනය සමයේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජිතයින් 1989 අගෝස්තු 17වැනිදා සුචරිතයද ජනාධිපති ප්‍රේමදාස සමඟ සාකච්ඡා කළේය. ප්‍රේමදාසගේ සර්ව පාක්ෂික සමුළුව 1989 සැප්තැම්බර් 13වැනිදා ආරම්භ වූ අවස්ථාවේදීද ප්‍රගතිශීලි පක්ෂය එයට එක්වීය.

ජනාධිපති මැතිවරණයට නාම යෝජනා ලබා දුන්නේ එජාපයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රිලනිපයෙන් සිරිමා බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකරය. ඔහු ජනාධිපතිවරණයේදී රඟපෑවේ ප්‍රේමදාස ගේ සහායට ඩැනී ලෙසටය. 1988 දෙසැම්බර් 19වැනිදාට දෙවන ජනාධිපතිවරණයට දින නියම විය. මුළු රටම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ විරෝධතා හේතුවෙන් පරිපාලනය අඩාල විය. මැතිවරණය කඩා කප්පල් කිරීමට සියළු උත්සාහයන් එමගින් ගනු ලැබීය. එතෙක් මිතුරෙකු වූ ශ්‍රිලනිප මව්බිමට එරෙහි දෝහියෙකු ලෙස සලකා එහි සංවිධායකවරුන් සහ ක්‍රියාකාරකයින් ඝාතනය කිරීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කටයුතු කළේය. දඹුලේලේ ශ්‍රිලනිප සංවිධායක ජනාධිපතිවරණයට පෙර දින ඝාතනය කළේය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 දෙසැම්බර් 01වැනිදා නියෝග 5ක් නිකුත් කළේය. ඒ අනුව ජනාධිපතිවරණයට එරෙහිව ඇඳිරි නීතිය පැනවිය. ජනාධිපතිවරණයට අදාළ සියලු ශ්‍රේණීන්වල මැතිවරණ නිලධාරීන්ට ඉන් ඉවත් විය යුතුය. සියළුම ග්‍රාම සේවකයින් ගේ සේවාවන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට දෙසතියකට පෙර අත්හිට විය යුතුය. රෝහල් සේවය දෙසැම්බර් 18 සහ 19 අතවශ්‍ය සේවාවකි. සතියක් තුළ ක්‍රියාත්මක වන පරිදි සියලු සුපිරි පන්නයේ හෝටල් වසා තැබිය යුතුය. මෙම නියෝග කඩකරමින් ඡන්දය දුන් ඡන්ද දායකයින් ගණනාවක්ද සේවය කල මැතිවරණ නිළධාරින් සහ  ග්‍රාම සේවා නිළධාරින් කිහිප දෙනෙක්ම ඝාතනයට ලක්විය.

ඡන්දය දමන ප්‍රථම 12දෙනා මරා දමන බවට නියෝග කළේය. ඡන්දය ප්‍රකාශ කල කිහිප දෙනෙකුගේ ඇඟිලි කපා තිබූ බවට වාර්තා විය. ජනපතිවරණ සමයේ දේශපාලන ඝාතන 681ක් සිදුවී තිබිණි. ඉන් 63 දෙනෙක් ඡන්ද රාජකාරිවල නිරත වූ ග්‍රාම නිලධාරින් ඇතුළු රජයේ සේවකයින් විය. මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තා අනුව රජයේ දිසාපති කාර්යාල 25කින් 16කම ක්‍රියාකාරිත්වය බිද වැටී තිබිණි. මොණරාගල පමණක් ඡන්දපොල 49ක් වසා දැමීමට සිදුවිය. ඡන්ද මධ්‍යස්ථාන 207ක එකම ඡන්දයක් හෝ පාවිච්චි කර තිබුණේ නැත.

ජනාධිපතිවරණ ඡන්ද වර්ජනයෙන් මුළුමනින් වාසි වූයේ එජාප ආණ්ඩුවට බැවින් ඔවුන් මැර බලයෙන් ජයග්‍රහණය සඳහා සියලු කටයුතු ක්‍රියාත්මක කළේය. එජාපයේ  ආර්. ප්‍රේමදාස 2,569,199 ලබා ගනිමින් සියයට 50.43ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. පවතින දැඩි භීෂණය මත වූවද ශ්‍රීලනිපයේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඡන්ද 2,289,860 ලබා ගනිමින් සියයට 45.95ක ප්‍රතිශතයක් ලබා ගත්තාය. මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර ඡන්ද 235,719ක් ලබාගෙන සියයට 4.63ක ප්‍රතිශතයක් ගත්තේය. වැඩි ඡන්ද 279,331කින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විය. මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්දය  ප්‍රකාශ කර තිබුණේ සියයට 55.32කි.

ජනාධිපතිරණයට පසු දින එනම් 1988 දෙසැම්බර් 20 වැනිදා පෙරවරු 11ට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. ඒ අනුව 1989 පෙබරවාරි 15වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට තීරණය විය. ජවිපෙ 1989 ජනවාරි 01 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මහ මැතිවරණය ප්‍රෝඩාවක් බැවින් එය වර්ජනය කරන්නැයි ප්‍රකාශයක් නිකුත් කළේය. මහ මැතිවර්ණ රැස්වීම් වලට බෝම්බ ගැසීම් අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඝාතනය කිරීම්, දේශප්‍රේමී ජනාතා ව්‍යාපාරයේ නියෝග කඩ කරන්නන් ඝාතනය කිරීම රටපරා සිදුවිය.

සෙන්කඩගල එජාප කාර්යාලයට පහර දී පුද්ගලයින් 6 දෙනෙක් මරණයට පත් විය. නව සම සමාජයේ අපේක්ෂකයෙක් වූ නිශ්ශංක කරුණාතිලකගේ නිවසට පහර දි ආධාරකරුවෝ 6 දෙනෙක් මරා දැමුවේය. හිඟුරක්ගොඩ සහ මාතර ශ්‍රීලනිප රැස්වීම්වලට බෝම්බ ප්‍රහාරයන් එල්ල කළේය. ශ්‍රීලනිප දෙවන පෙල නායකයෙකු වූ  කළුතර ඉන්ද්‍රපාල අබේනායක ඇතුළු ශ්‍රීලනිප අපේක්ෂකයින් 9 දෙනෙක්ද එක්සත් සමාජවාදී පෙරමුණේ 4ක්ද ඝාතනය විය. වැඩි ප්‍රහාරයන් එල්ල වූයේ ශ්‍රිලනිපයටය. ඡන්දය දුන් පලමු 5 දෙනාට දඬුවම මරණයයි බොහෝ ප්‍රදේශවල පෝස්ටර් ගසා තිබිණි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ වීමට පෙර  සිවි දිනක් ඇතුළත එසේ ඝාතනය වූ සංඛ්‍යාව 433කි. මැතිවරණ දිනයේදී පමණක් ඝාතනය වූ සංඛ්‍යාව 84කි. ඡන්ද මධස්ථානවලට බෝම්බ ගැසීම් සහ වෙඩි තැබීම් වැනි සිදුවීම් 121ක් වාර්තා වී තිබිණි.

ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට 8කින් ඉහළ ගොස් තිබිණි. භීෂණය අනුව නියත ජය හිමි වූයේ එජාපයටමය. ඒ අනුව පාර්ලිමේන්තු ආසන 125ක්ද ශ්‍රිලනිප පාර්ලිමේන්තු ආසන 67ක්ද ලබා ගත්තහ. මහ මැතිවරණයෙන් පසු රටේ අරාජික තත්ත්වය තවත් උග්‍ර වූවා මිස අඩු වූයේ නැත. ජනාධිපති ප්‍රේමදාස 1989 අප්‍රේල් 20වැනිදා ගිරාදුරුකෝට්ටේදී පැවති රැස්වීමක් අමතමින් ජවිපෙට සහ කොටි සංවිධානයට සාකච්ඡා සඳහා ආරාධනා කළේය. ඒ අනුව කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් 1989 අප්‍රේල් 27වැනිදා සිය බිරිද සමඟ ලන්ඩනයේ සිට පැමිණ ප්‍රේමදාස ජනාධිපතිවරයා හමුවිය. අනතුරුව මැයි 14වැනිදා යෝගි ඇතුළු පිරිසක්ද කොටි සංවිධානය වෙනුවෙන් එම සාකච්ඡාවන්ට එක්විය. ජනපති ප්‍රේමදාස 1989 අප්‍රේල් සිට ජුනි 9වැනිදා දක්වා කොටි සංවිධානය සමඟ කොළඹදී සාකච්ඡා කරන ලද අතර ඔවුනට තරු 5 හිල්ටන් හෝටලයේ සියළු පහසුකම් ලබාදී තිබිණි. එමෙන්ම කොටි සංවිධානයට සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ආයුධ සහ මුදල්ද ලබා දෙන්නා ලදි.

නිර්පාක්ෂක පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ජවිපෙ මෙහෙයවීමෙන් පක්ෂ 8ක් එක්වී සැදූ දේශප්‍රේමී එක්සත් පෙරමුණ අවසානයේ ඉතිහාසයට එක්වූයේ එසේය.

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 21 කොටස

ස්වාධීන ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක වූයේ කොළඹ සරසවියේදීය. එහි ආරම්භය 1979 වසර දක්වා දිවගියද නිල වශයෙන් ස්ථාපිත වූයේ 1980 පෙබරවාරි 02වැනිදාය. කොළඹ සරසවි ශිෂ්‍ය සභාව 1979 වසරේ හිමි වන්නේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයටය. විද්‍යාපීඨයේ චන්ද්‍රසිරිගේ ආකර්ෂණීය නායකත්වය එයට හේතු විය.

පැරණි වම නියෝජනය කල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ජවිපෙට මුහුණ දිය හැකි විකල්ප සංවිධානයක් ලෙස 1980 ශිෂ්‍ය නිලවරණය සඳහා ස්වාධීන ශිෂ්‍ය සංගමය බිහි කළේය. දෙමළ සිසුන් ඔවුන්ගේ ඉලක්කය විය. එහෙත් ඔවුහු නිලවරණය වර්ජනය කළේය. වසර 1980 ශිෂ්‍ය සභාව යළි ජවිපෙ සතු විය. දෙමළ සිසුන්ගේ සහාය මත මහ ශිෂ්‍ය සභාවේ බලය 1981 ස්වාධීන ශිෂ්‍ය සංගමය සතු විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූයේ දීප්ති ළමාහේවාය. ඒ 1980/81දීය.

කොමියුනිස්ට් පක්ෂයේ හාඩ්ලයින්, ජනවේගය, සමසමාජයේ වාම ප්‍රවණතාවය, මිටි පහර යන දේශපාලන ප්‍රවාහයන්ගේ ක්‍රියාකාරියන්ගෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයට පන්නරයක් ලැබුණු අතර සමසමාජයේ ලංකා ශිෂ්‍ය සංගමය, කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයෙන් මතවාදීව බිදුනු පිරිසක් එය පෝෂණය කළේය. ද්‍රවිඩ ජනයාගේ ඊළාම් ස්වයං නිර්ණ අයිතිය පිළිගත් වාද්දුවේ තිලක් ප්‍රනාන්දු සංගමයේ මතවාදය පෝෂණය කිරීමට බොහෝ දුරට බලපෑවේය. ටී අන්ද්‍රානිගේ නායකත්වයෙන් යුත් ස්පාටයිස්ට් ලිග් ට්‍රොස්කිවාදී කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් ඔහු කටයුතු කළේය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කොළඹ සරසවියේ 1980 වන විට ද්‍රවිඩ ජාතික සිසුන් 400ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලැබූ අතර ඔවුන්ගේ සහාය ස්වාධීන ශිෂ්‍ය සංගමයට හිමි වන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ එම මතවාදය අනුවය.

ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවියේ නිලවරණය සඳහා උපරිම ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවද මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට අවස්ථාව අහිමිවී ගියේය. ජවිපෙ ඇතුළු ද්‍රවිඩ ඊළාම් ස්වයං නිර්ණ අයිතියට එරෙහි ශිෂ්‍ය සංවිධාන එකට එකතු වී ශිෂ්‍ය සභාවේ බලය ලබාගෙන සභාපති තනතුර ජවිපෙටද ලේකම් තනතුර ශිලනිපයටද භාණ්ඩාගාරික තනතුර එජාපයටද බෙදා ගන්නා ලදි. දයා පතිරණ සරසවි දේශපාලනය ආරම්භ කරන්නේ මෙම නිලවරණයට විද්‍යා පීඨයෙන් තරඟ වැදීමෙනි. සංගමයේ න්‍යායාත්මක පසුබිම පසු කාලයේ ඉදිරියට ගෙන යන්නේ දයා පතිරණ මගිනි.  යාපනයේ සරසවි ශිෂ්‍ය අප්පුතුරෙයි විමලරාසා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ගෙන සිටි අතර ඔහු නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් 1982 මැයි 14වැනිදා සංකේත පන්ති වර්ජනයට යාපනය සහ මඩකලපු සරසවි ශිෂ්‍යයන් හැරුණු විට එයට සහභාගි වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දෙවන සභාපතිවරයා වූයේ චම්ලි වර්ණකුලසූරියයි. දයා පතිරණ එහි තෙවන සභාපතිවරයා විය. ඒ 1984/85 කාල වකවානුවේදීය. ඔහු විභාගයට නියමිත පරිදි ලියාපදිංචි නොවීම නිසා ඔහුගේ ශිෂ්‍යභාවය 1986දී අහෝසි විය. එහෙත් සරසවිවල සිසුන් පිළිගත් මතවාදය අනුව ශිෂ්‍යභාවය අහෝසි කලද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) නියෝජනය කලහැකි විය. පේරාදෙණිය උදලාගම කොමිසමෙන් 1983දී ශිෂ්‍යභාවය අහෝසි වූ රංජිදම් ගුණරත්නම් අන්තරේ කැදවුම්කරු ලෙසින් 1985 අප්‍රේල් සිට 1987 මැයි දක්වා දෙවරක් කටයුතු කළේ ඒ අනුවය.

රැඩිකල්වාදී වාමාංශික නැඹුරුවක් ආරම්භයේ සිටම පෙන්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය  ද්‍රවිඩ ඊළම පිළිගත් හෙයින් උතුරේ ඊරෝස් සංවිධානය සමඟ ප්‍රථම සාකච්ඡාව ඇරඹීය. එහි නායකයෙකු වන ඩේවිට්සන් සමඟ ප්‍රථම සාකච්ඡාව පැවැත්වූයේ 1980 අප්‍රේල් 10වැනිදාය. අනතුරුව කේ. පද්මනාභ ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම සමඟ 1981 සිට සම්බන්ධතා පැවැත්විය. පසුව උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානය සමඟ ෂර්ලි කන්දප්පා සහ සිවරාම් හරහා 1986 සිට සම්බන්ධතා ගොඩනගා ගත්තේය.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05දෙනෙක් ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක තාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි. එය සම්බන්ධීකරණය කළේ සිවරාම් විසිනි. ලියුම්කරු 1988 අප්‍රේල් මසදී ප්ලොට් නායක උමා මහේෂ්වරන්ගේ වැල්ලවත්තේ රොක්සි සිනමාහලට යාබද ස්ථානයේදී හමුවූ අතර ජවිපෙට මුදල්වලටද සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමකට නොමිලේද අවි පුහුණුව දුන් බව පිළිගත්තේය. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහි ඕනෑම අයෙකු සමඟ ප්ලොට් සංවිධානය කොන්දේසි විරහිතව සහාය දෙන බව ඔහු එහිදී අවධාරණය කළේය. සිවරාම් සහ ෂර්ලිද එම අවස්ථාවට එක්වී සිටියහ.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරි යුගය වූයේ දයා පතිරණ යුගයයි. උතුරේ ද්‍රවිඩ තරුණ ප්‍රචණ්ඩත්වය නාගරික ගරිල්ලා ප්‍රහාර මගින් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුලත් කිරීමට අත්හදා බැලීම් සිදුකරන ලද්දේ රෝහණ රත්නායක ඝාතන සිද්ධිය මුල් කරගෙනය. පද්මසිරි සහ රෝහණ ඝාතනයන්ට නායකත්වය දීම සදහා වෙනත් හේතු නිසා සංගමය කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික ලුම්පන් සහ පහළ මධ්‍යම පාන්තික සිසුන් ජනප්‍රිය විය. ජවිපෙ 1983 ජුලි තහනමත් සමඟම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් පසුබෑම සහ නිල මට්ටමින් ඇණ හිටීම නිසා එහි රික්තයද පිරවීමට ඔවුන්ට හැකිවිය.

මුල් කාලයේ මෙහි මග පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කල අය අතර දයාන් ජයතිලකද විය. ඔහු කීර්තිධර පුවත්පත් කලාවේදි මර්වින්ද සිල්වා ගේ ප්‍රත්‍රයා විය. ලංකා ගාඩියන් සඟරාවේ නියෝජ්‍ය සංස්කාරකයා වූ ඔහු ඊ.පී.ආර්.එල්.එෆ් ඊළාම් සංවිධානය මගින් පසු කාලයේ පිහිටවූ නැගෙනහිර පළාත් සභාවේ ආර්ථික කටයුතු ඇමති වශයෙන්ද කටයුතු කළේය. ඇමරිකානු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකි. කොළඹ සරසවියේ ඉතිහාස පීඨයට 1983දී බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ඇතුළත් වූ ඔහු වසර දෙකක් එහි සේවය කළේය. රෝහණ රත්නායක ඝාතනය සිදුවූ 1984න් පසු ඉන් ඉවත්විය.

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ දකුණු දිග ශාඛාව වශයෙන් ක්‍රියාත්මක වූ විකල්ප කණ්ඩායමේ නායකයා විය. විකල්ප කණ්ඩායමට ජෝ සෙනෙවිරත්න, පුල්සරා නයනි ලියනගේ, දයාපාල තිරානගම, චින්තක ද සිල්වා, සී.ජේ. සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙක්ම අයත් වූහ. මතවාදී අතින් ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ 1986දී ඉවත් වූ දයාන් ජයතිලක එහි ඝාතන වැඩපිළිවෙළට සහාය නොදුන් අයෙකි. මහජන පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ හෙතෙම දාර්ශනික මතවාදයන් ගොඩනැගීමට උපන් හපනෙකි. විජය කුමාරතුංග චින්තනය ස්ථාපිත කරමින් විජයවාදියෙකු වූ ඔහු අනතුරුව රණසිංහ ප්‍රේමදාසවාදියෙකු බවට පත් වෙමින් ප්‍රේමදාස චින්තනය හදුන්වා දුන්නේය. ඔහුගේ දේශපාලන කටයුතු සඳහා පුල්සරා ලියනගේ සහ තිසරණී ගුණසේකර ගෙන් සුවිශේෂ සහනයක් හිමි විය.

දයා පතිරණගේ නායකත්වයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවිය තුළ ගෙන ගිය ක්‍රියාකාරකම් 1986 වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු ලැබිය. ජවිපෙට පෙර කොළඹ සරසවියේ තග් වැඩ සිදු කලේ එම සංගමය මගිනි. ජවිපෙ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 වැනිදා පිහිටු වූ අතර එය කොළඹ සරසවියේදී 1986 ඔක්තෝබර් 02වැනිදා ස්ථාපිත කිරීමේදී එයට ස්වාධීන ශිෂ්‍ය සංගමය තිරශ්චීන ලෙස පහර දුන්නේය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සරත්, හේමන්ත, රොෂාන්, සමන්ටද ජිනානන්ද හිමි සහ ධම්මික හිමි ඇතුළු ජවිපෙ සියළු අනුගාමිකයින්ටද සරසවියේ ක්‍රීඩාගාර පෙදෙස එදින සිට තහනම් කලාපයක් ඔවුන් විසින් පත්කරන ලදී. ඒ වන විට කොළඹ සරසවිය භාරව සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නියෝජිතයා වූයේ ලලිත් විජේරත්නය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ අදිසි නායකයා වූයේ රංජිත් වීරවංශය. කැළණි සරසවියේ තාරපේරියේ රත්නජෝති හිමි එහි ලේකම්වරයා වූ අතර ජයවර්ධනපුර සරසවියේ රනිල් රෝයල් සභාපතිවරයා විය.

එමෙන්ම විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකු වූ උඩුගොඩ සෝරත හිමියන්ට සරසවියේ කනුවක බැද දවසක් තිස්සේ හිරිහැර කල ස්වාධීන ශිෂ්‍ය සංගමය 1986 නොවැම්බර් 12වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවති වීරසූරිය සැමරුමේ කටයුතු  සඳහා කොළඹ සරසවියට ගිය කැළණි සරසවියේ මච්චාගම සේනාරත්නටද කුරිරු ලෙස පහර දුන්නේය. ඔහු නිදහස් කර ගැනීමට ආචාර්යවරුන්ට පවා මැදිහත් වීමට සිදුවිය. මෙයට පිළිතුරක් ලෙස ජවිපෙ සිදු කලේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරියෙකු වූ රත්නපුරේ ප්‍රදීප් උදයකුමාර තේනුවර ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් යද්දී නේවාසිකාගාරයට රැගෙන ගොස් තිරශ්චීන ලෙසින් පහරදීමය. අවසානයේ එය උච්ච ස්ථානයකට පත්වූ අතර ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ සහ ක්‍රියාකාරියෙකු වූ සෝමසිරි 1986 දෙසැම්බර් 15වැනිදා පැහැරගෙන ගොස් දයා පතිරණගේ බෙල්ල කපා බණ්ඩාරගම හිරණ තොටුපලේ මරා දමා තිබිණි.

දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. ලේකම් වූයේ නිමල් වීර බෝපගේය. ජවිපෙ බලය හිමි අන්තරයට හිමි ඔවුන් විසින් 1987 ජනවාරි 02වැනිදා නව අන්තරයක් ගොඩ නගන ලදී. එහි කැඳවුම්කරු වූයේ මොරටු සරසවියේ ඇඩම්ස්ය. එය නාමික අන්තරයක් බැවින් ලත් තැනම ලොප් විය. ඇඩම්ස් ආරක්ෂාව පතා 1988දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර ලියුම්කරුට ඔහු පසු කලෙකදී ඔස්ට්‍රේලියාවේදී වසර 2000දී හමුවීමකදී කියා සිටියේ එය තමාගේ උවමනාවකට සිදුකල දෙයක් නොවන බවය.

පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර ධර්මසිරි, නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී. ඒ. චන්ද්‍රප්‍රේම නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව ආචාර්ය නලීන්ද සිල්වා ගේ ජාතික චින්තන මතවාදය නියෝජනය කල කණ්ඩායම වන චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් වූ ශීලාල් ලක්තිලක, සෙනරත් ජයසුන්දර ඇතුළු සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර ඔවුන් පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට පැමිණීමෙනි.

විජය කුමාරතුංගගේ මහජන පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වූ ශ්‍රී ලංකාවේ මහජන ශිෂ්‍ය සංවිධානයද ජවිපෙට එරෙහිව ස්වාධීන ශිෂ්‍ය සංගමය සමග අත්වැල බැද ගත්තේය. ජවිපෙ විසින් 1988 කැළණිය සරසවිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි එහි ක්‍රියාකාරිකයින් වූ යාපා බණ්ඩාර සහ ප්‍රේමරත්න හේරත් ඝාතනය කරන ලදී. නායක විපුල ගුණරත්නට බරපතල තුවාල සිදුවිය. විජය කුමාතුංග ඇතුළු එම පක්ෂයේ 117 දෙනෙකු භීෂණ සමයේදී මරා දැමූ අතර එයට ශිෂ්‍ය සම්මේලනයේ සාමාජිකයින් 07ක්ද ඇතුළත් විය. විජය කුමාරතුංග අවමගුලේදී ඊ.පී.ආර්.එල්.එෆ් එවකට නායක වර්ධරාජා පෙරුමාල්ගේ කථාව සිංහලෙන් කියවන ලද්දේ උපුල් ශාන්ත සන්නස්ගලය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බොහෝ ක්‍රියාකාරකම් ජවිපෙ දැනගත්තේ එහි ක්‍රියාකාරිකයෙකු වශයෙන් පෙනී සිටි ජවිපෙ හිතවතෙකු වූ ඇල්පිටියේ කරු මගිනි. එමෙන්ම ජාතික රහස් ඔත්තු සේවයද සිරිකොතට සම්බන්ධවී සිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අසංග කරුණාරත්න හරහා පෝෂණය විය.

බොරැල්ලේ දූගී පවුලක උපන් කේ. එල්. ධර්මසිරි ජවිපෙට එරෙහිව ප්‍රා සංවිධානය සමඟ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මුළු ශක්තියම යොදවන්නට විය. ජවිපෙ වනසා දැමීමට ඔවුන් ඝාතනය කිරීමේ සංහාරයේදී තීරණාත්මක කාර්යභාරයකට ස්වාධීන ශිෂ්‍ය සංගමය යොමු විය. අර්ධ මිල්ටරි කණ්ඩායම්වලින් ඔවුනට ආයුධ, හැඳුනුම්පත්, වාහන, මුදල් නොඅඩුව ලැබිණි. නිර්මාල් රංජිත් දේවසිරි, නිමල්වීර බෝපගේ ඇතුළු බොහෝ දෙනා ඝාතන සංස්කෘතියට විරෝධය පා ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන් ඉවත් වූහ.

ප්‍රා සංවිධානයෙන් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,200ක් වූ අතර ඒ අතර සිටි සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. අත් පා කපා දරුණු වධ දී ඔවුන් මරා දැම්මේය. මානව හිමිකම් ක්‍රියාකාරියින්වූ නීතිඥ චරිත ලංකාපුර 1989 ජුලි 07වැනිදාද, නීතිඥ කාංචන අබේපාල 1989 අගෝස්තු 28වැනිදාද, ගම්පහ නීතිඥ නෙවිල් නිශ්ශංක 1989 ඔක්තෝබර් 03වැනිදාද බැංකු නිලධාරියෙකු වූ නිදහස් මාධ්‍යවේදී එච්.ඊ දයානන්ද 1988 දෙසැම්බර් 02වැනිදාද ඝාතනය කළේ ප්‍රා සංවිධානය යටතේ වැඩකල ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින්ය. හංසයින්ට ජලයෙන් කිරි වෙන්කර හැක්කේ යම් සේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඝාතකයින්ට සමස්ත සරසවි සිසුන් අතරින් ජවිපෙ සිසුන් හඳුනා ගැනීමට හැකි විය. ධර්මසිරි සහ ඔහුගේ අනුගාමිකයෝ එයට නායකත්වය දුන්නේය.

ධවල භීෂණයේ අවසාන කාලයේ එනම් 1989/90 දී කොළඹ අවට වධකාගාර නොහොත් මස් කඩ කිහිපයක්ම තිබිණි. පරණ තුරඟ තරඟ පිටිය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, ජයවර්ධනපුර සරසවි නේවාසිකාගාරය, විලියම් ප්‍රේදිරිස් ක්‍රීඩාංගණය, කැලණිය බටලන්ද, කැලණි සරසවියේ කොටසක් ඒ අතර විය. ඉන් ප්‍රමුඛත්වයක් ගත් කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එම සංගමයේ සාමාජිකයෝ බොහෝ අවස්ථාවන්හි සැගවී සිටි බංකර පිහිටා තිබුණේ කොළඹ කොටුවේ රීගල් සිනමා ශාලාව අසල ගුණසේන මහානාමගේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, නොරිස් කැනල් පාරේ සහ කාසල් වීදියේ නිවස, කොම්පඤ්ඤවීදියේ කොවිල අසළ සහ  කොටුවේ තරුණ මධ්‍යස්ථානයයි. චම්පික රණවක සහ නිහාල් රංජිත් පැහැරගත්තේද කාසල් වීදියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ කුසුම් දිසානායකගේ නිවස අසලදීය.

කොළඹ සරසවියේ වාණිජ පීඨයේ උපුල් සද්ධාසේන, ශ්‍රස්ත්‍ර පීඨයේ රොඩිගූ, අනිල් හෙට්ටිආරච්චි, නාවල චන්ද්‍රකිරිති හිමි, වාණිජ පීඨයේ දයාරත්න, පමණක් නොව මිනුවන්ගොඩදී සිය නිවසින් පැහැරගත් විද්‍යාපීඨයේ හේමන්ත චන්ද්‍රසිරිගේ හිස වෙන්කර මරණය සිදුවූයේද  නීතිපීඨ කඳවුර තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙනි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා කටයුතු කල කොළඹ නීති පීඨයේ සරත් එදිරිසිංහ 1989දී ගංගාරාමය ඉදිරිපිටදී පැහැර ගෙන අත්පා කඩා මරා දැම්මේද ඔහු ඉගෙන ගත් නීති පීඨය තුළදීමය. වධකාගාරය තුළ ස්වාධීන සිසුන් සිය ආධිපත්‍යය පතුරා ගෙන තිබිණි. නන්දා මාලනීගේ කැසට්පටියක හඬ නිරතුරුව වාදනය විය.

කෑගල්ලේ උපන් සරත්  එදිරිසූරිය බ්ලොම් නේවාසිකාගාරයේ නැවතී සිටි අතර ඔහුගේ කුඩා කාලයේදීම මව මිය යෑමෙන් අනතුරුව පියා ඔවුන් හැරගොස් තිබිණි. සරසවි නීති පීඨයට ඇතුලත් වන විට ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු විය. ඒ ඔහු හදා වඩා ගත් පවුලේ අය පක්ෂයේ අය වූ හෙයිනි. සරත් ඝාතනය කල අවස්ථාවේදී ඔහු කියා සිටියේ දයා පතිරණගේ ඝාතනයට ඔහු නායකත්වය දුන් බවකි.

කොලඹ නීති පීඨයේ වධකාගාර කඳවුරට ගෙන ආ අය අතර ඉහළම ජවිපෙ නායකයන් වූයේ තෙවැනියා වූ ඩී. එම්. ආනන්ද සහ මුදල් ලේකම් වූ ගුණරත්න වනසිංහය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ සමරප්පුලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේද ඇසක් අහිමිව එහි කලක් සිටියේය. එම ස්ථානයේ එක් අවස්ථාවකදී සිටි රැදවුම්කරුවන් සංඛ්‍යාව 850ක් පමණ විය. රැදවුම්කරුවන් කිහිපදෙනෙකු එකම දන්වැලක යොදා දෑස් බැද වධ දෙන ලදී. දෑස් විවර කළේ දිනකට එක්වරක් පමණක් සිදු කල වැසිකිළි යාමේදීය. එක දම්වැලක චම්පික රණවක, නිහාල් රංජිත්, පිටිපන ගුණසිරි හිමි, අට හැවිරිදි ලේනා නමින් හැදින්වූ සාමණේර හිමිනමක් ඇතුළු අට දෙනෙකු විය. මාස දෙකහමාරකට පසුව දෙහිවල විලියම් මිල්ස් අසලදී දමා ගොස් තිබිණි. ලංගම සේවයෙන් විශ්‍රාම ගිය යකා අන්කල් වධකයින්ගේ ආවතේව කරුවෙක් බවට පත්වී තිබිණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. එම අවස්ථාවේදී යතුරු පැදිය පැදවූයේ පරාක්‍රම විසිනි. ඔහු නොනවත්වා නොරිස් කැනල් දක්වා යතුරු පැදිය ගෙන ඒමට සමත් විය. එමෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් වූ නිහාල් හපුආරච්චි මෝදර පන්සලක ටියුෂන් පන්ති පවත්වමින් සිටියදී 1989 සැප්තැම්බර් 15වැනිදා ඝාතනයට ලක්විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.

අසූව දශකයේ මුල් භාගයේ සහ මැද භාගයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සුවිශේෂිත කාර්යභාරයක් සිදු කල ස්වාධීන ශිෂ්‍ය සංගමය අසූව දශකය අවසානයේදී(1988/89) මෙම සියවසේ ආසියාවේ සරසවියක ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ සහ කෘරතම ශිෂ්‍ය සංවිධානය බවට පත්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ උපත සහ විපත සිදුවූයේ එසේය.

ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නිල නොවන සන්නද්ධ අංශය වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. එය හැදින්වූ කෙටිනම ඩී.ජේ.වී යන්නයි. එය ජවිපෙ සාමාජිකයින් අතර අංශය නමින් හැදින්විය. ජවිපෙ සාමාජිකයන් නොවන ඉන්දු ලංකා ගිවිසුමට සහ එජාප ආණ්ඩුවට එරෙහි ඕනෑම අයෙකුද මෙයට සම්බන්ධ කරගන්නා ලදී. දෙවැනි කැරැල්ලේදී දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නෂ්ටිය සහ මෙහෛයවන්නා වුයේ ජවිපෙයි.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ(ඩිජේවි) අණදෙන නිලධාරියා වූයේ කීර්ති විජයබාහුය. ඔහුගේ නියම නම සමන් පියසිරි ප්‍රනාන්දුය. මෙන්ඩිස් මහත්තයා, කබ්රාල්, ජනක ලෙසද ඔහු හැදින්විණි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් සන්නද්ධ අංශයේ වගකීම් දැරුවේ ඔහුය. එමෙන්ම දකුණ, බස්නාහිර සහ සබරගමු කලාපයන්හි යුධ ලේකම්වරයාද ඔහු විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු ජවිපෙ නායකයා වශයෙන් රත්නපුර කුරුවිටදී 1989 නොවැම්බර් 28වැනිදා පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජවිපෙ නායකයා ලෙසද පත් වූයේ ඔහුය.

කැලණිය සරසවියේ උපාධිධාරියෙකු වූ සමන් පියසිරි ජේෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණසේකර විසින් 1989දී දෙසැම්බර් 27වැනිදා නාවලදී අත්අඩංගුවට ගත් අතර දෙසැම්බර් 29වැනිදා මරැමුවට පත් විය. කුලියට ගත් නාවල නිවස ගුවන් විදුලියේ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දුට අයත් අතර අත්අඩංගුවට පත්වූ  අවස්ථාවේදී එම නිවසේ ඔහුගේ මව සහ පෙම්වතියවූ ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික දයා වන්නිආරච්චිගේ සොහොයුරියද විය.

රට පුරා 1986 සිට 1990 දක්වා ධවල භීෂණයක් ගෙන ගිය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ලකර යුධ අවි පැහැර ගත්හ. මින් කටුනායක ගුවන් කඳවුරට 1987 මැයි සහ 1988 අප්‍රේල් 22වැනිදා ප්‍රහාරයන්ද, 1987 මැයි කොතලාවල ආරක්ෂක පීඨයටද, 1988 නොවැම්බර් 1වැනිදා පන්නල හමුදා කඳවුරට සහ කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටද තවත් පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ භාරව සිටියේ සමන් පියසිරිය.

කොළඹ මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13වැනිදා පස්වරු 7ට එල්ල කරන ලද ප්‍රහාරයකින් ජවිපෙ සාමාජිකයින් 170ක් මුදා ගැනීම මෙහෙයවූයේද ඔහුය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයින් සමඟ ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබදව බොහෝ දෙනා මවිතයට පත්විය. එයට අමතරව බම්බලපිටිය පොලිස් ස්ථානයට සහ වාද්දුව, ත්‍රිමලේ හමුදා කඳවුර ඇතුළු ස්ථාන ගණනාවකටම වෙනත් අයගේ නායකත්වයෙන්ද අවි පැහැරගැනීම් රැසක් සිදුවිය.

ජවිපෙ කටයුතු වලට එරෙහි වූ ප්‍රතිගාමීන් පක්ෂය මගින් හඳුන්වනු ලැබුවේ “පෙතියෝ” නමිනි. ජවිපෙ මගින් 1986 සිට 1990 දක්වා ඇති කල දෙවැනි කැරැල්ලේ “පෙතියෝ” කියා එසේ මරා දමන ලද සංඛ්‍යාව පොලිස් වාර්තාවලට අනුව 6,577කි. ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක බ්‍රිත්‍යානයේ  සන්දේශය ගුවන් විදුලිය සමඟ පැවති සාකච්ඡාවකදි කියා සිටියේ එසේ මරා දැමූ සංඛ්‍යාව 6,000ක් පමණ වන බවය.

“පෙතියෝ” කියා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් මෙසේ මරා දැමූවන් අතර මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය සී පටුවිතාන සහ කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඇතුළු රජයේ සේවකයින් 487, පොලිස් නිලධාරීන් 342, හමුදා භටයින් 209, සරසවි සහ පාසල් සිසුන් 187, නීතිඥයින් 14, වෛද්‍යවරුන් 16, කලාකරුවන් 8, විදුහල්පතිවරුන් 52, පොලිස් පවුල් සාමාජිකයින් 93, භික්ෂූන් 30, කතෝලික පූජකවරුන් 2 සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන්  5,135 අයත් විය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය උතුරේ සියලු දිස්ත්‍රික්ක පහේද නැගෙනහිර මඩකලපුවේද ක්‍රියාත්මක වූයේ නැත. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික්ක 25න් 19කය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්ථානය හැදින්වූයේ දේශප්‍රේමි සන්නද්ධ බලකායේ අණදෙන මධ්‍යස්ථානයේ නමිනි. පහත බලකායන්ට නියෝග නිකුත් කරන ලද්දේ එමගිනි.

එම බලකායන් නම්කර තිබුණේ කොළඹ- රංජිත් පරාක්‍රම, නුවර- කැප්පෙටිපොල, ගාල්ල- කමල බන්දු, මාතර- සුසිල් වික්‍රම, කුරුණෑගල- නිමල් කරුණාතිලක, කළුතර- කරුණාරත්න, මාතලේ- මුනිදාස, අනුරාධපුර- පද්මසාර, ත්‍රිකුණාමලය- විමලරත්න, හම්බන්තොට- ගුණසේන වර්ණපටබැදි, ශිෂ්‍ය අංශය- නිමල් බාලසූරිය, භික්ෂු අංශය- කුඩහපොළ යන නමිනි. එයට අමතරව මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය සහ මව්බිමේ සතුරන්ට දඬුවම් දීමේ ජාතික ව්‍යාපාරය නමින් සංවිධාන දෙකක් විය.

සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජවිපෙ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වූයේ 1984 අග භාගයේ බේරුවල පැවැත්වූ රැස්වීමේදිය. ද්‍රවිඩ ඊලමට සහාය දුන් දකුණේ විකල්ප කණ්ඩායමේ සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ පුහුණු වීම් වලට එරෙහිවද ජවිපෙ මර්දනය කිරීමේ වැඩපිළිවෙළට මුහුණ දීම සඳහාද සන්නද්ධ අංශයක් සංවිධානාත්මකව බිහි කිරීමට අවශ්‍ය බවට එහිදී යෝජනා විය. කොස්ලන්දේදී 1985 දෙසැම්බර් මස පැවති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සන්නද්ධ අංශයේ කටයුතු වේගවත් වීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි. එය එළිපිට ක්‍රියාවට නැගෙනුයේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමට පෙර 1986දීය.

එමෙන්ම මුදල් සෙවීම සඳහා රාගම සෝමේ නොහොත් සමරප්පුලිගේ සෝමසිරි ගේ නායකත්වයෙන් කණ්ඩායමක්ද 1984 අග භාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීමේ කටයුත්තේදී තරුණ සංගමයේ සාමාජිකයන් වූ ගම්පහ සුනිල් අබේරත්න 1985දීද මාතර තල්පාවිල ධර්මේ අම්බලන්ගොඩදීද , අනුරාධපුරයේ සරත් විජේසිංහද මරුමුවට පත්විය. ගල්ගමුව විශාලතම බැංකු කොල්ලය 1985දී සිදු කළේය. දිගන මහජන බැංකුව 1988 අගෝස්තු 22වැනිදා කඩා බැදී ලක්ෂ 60ක මුදල් රන්භාණ්ඩ කොල්ලකන ලදි. එවැනි මුදල් රැස් කිරීම් 1985 සිට 1990 දක්වාම ක්‍රියාත්මක විය.

දෙවන කැරැල්ලේ සෑම දිස්ත්‍රික්කයකම දේශපාලන සහ මිලිටරි නායක වශයෙන් දෙදෙනෙකු විය. කොළඹ වරෙක මිලිටරි නායකයා ලමයා නොහොත් පතීය. දේශපාලන අංශයේ නායකයා සමරේ විය. මුලදී ආයුධ එකතු කර ගත්තේ සුළු වශයෙන් හොරකම් කිරීමෙනි. දිවයින පුරා නිවෙස්වලින් තුවක්කු පතුරම් පැහැර ගැනිම ඇරඹුණේ 1987 මැයි මාසයේදීය. ප්‍රථම ප්‍රහාරය හමුදා කඳවුරට එල්ලවූයේ 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේදීය. රටපුරා සිටින ජවිපෙ සාමාජිකයින්ට ඉදිරියේදී ඇතිවන අවශ්‍ය තත්ත්වයන්ට සූදානම් වන ලෙස 1987 අප්‍රේල් මස දක්වන ලදී.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අවි පුහුණු කඳවුරු 100ක් පමණ රටපුරා 1986/1990 කාලයේ පැවතිණි. දකුණේ කැලෑබදවද රජරට රක්ෂිතයන්හීද, මධ්‍යම කඳුකරයන්හීදීද ශ්‍රී පාදයේ එරත්න මාර්ගයට යාබදව පිහිටි වනයකද ප්‍රධාන කඳවුරු තිබිණි. එක්වරකට පුහුණු කරන ලද විශාලතම කණ්ඩායම 140ක් වූ අතර එය පවත්වන ලද්දේ නකල්ස් වනයේදීය.  එක් සාමාජිකයෙකු තව සාමාජිකයෙකුගේ පවුලේ තොරතුරු, ජිවත්වූ ස්ථානයන්, සේවා ස්ථානයන් සහ සැබෑ නමද නොඅසා සිටීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ගති ලක්ෂණය විය. එම කලාව ස්පාඤ්ඤයේ බාක්ස් ගරිල්ලා ව්‍යාපාරයෙන් ප්‍රචලිත වූ ආකෘතියකි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සිය විරුද්ධවාදීන් ඝාතනය කර විකෘති කර ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක්ද 1988 ජනවාරි මස ආරම්භ කළේය. එයට එරෙහිව පසු කළෙක ජවිපෙ ක්‍රියාකාරිකයින්ද පුළුස්සා මරා දමා එම සිරුරුද ප්‍රදර්ශනයට තබා දතට දතක් ඇසට ඇසක් යනුවෙන් සටන් පාඨ පෝස්ටරයක ලියා ප්‍රදර්ශනය කිරීම රටේ සාමාන්‍ය දෙයක් බවට පත් විය.

සන්නද්ධ අංශයේ තුවක්කුකරුවන් අතර ඇතමෙකුට ඉහළම ඉල්ලුමක් අංශය තුළ තිබිණි. මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16වැනිදා ඝාතනය කල ටාසන් වීරසිංහ 1989 ඔක්තෝබර් 03 වැනිදා මිය යන විට ඝාතන රැසක් සිදුකර තිබිණි. තවත් තුවක්කුකරුවෙකු වූ ලයනල් රණසිංහ නොහොත් ගාමිණි 1989 මාර්තු 14වැනිදා අත්අඩංගුවට ගත් අතර ඒ වන විට ඝාතන 43ක් සිදුකර තිබිණි.  ඔහු 1989 ඔක්තෝබර් මස මරණයකට පත්විය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මුදල් ගෙවා ද්‍රවිඩ ඊලම් සංවිධාන වලින්ද සටන් පුහුණුව සහ බිම් බෝම්බ තාක්ෂණය පිළිබඳව පුහුණුව ලබා ගත්තේය. ප්‍රථම වරට එල්.ටී.ටී.ඊ යුධ පුහුණුව සහ බෝම්බ තාක්ෂණය පුහුණුව ලැබුණේ ජැෆ්න ජයා නමින් හැඳන්වූ අශෝක ජයතිලකය. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වූ ඔහු සමඟ එසේ යුධ පුහුණුව ලැබූ පිරිසට පසුව අනුරාධපුරයේ දිස්ත්‍රික් කමිටුවේ සන්නද්ධ නායක ෆොන්සේකා ඇතුළු 16 දෙනෙකු ඇතුලත් විය. පුහුණුව ලැබුවේ මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යන විට කුංජිකුලම් එල්.ටී.ටී.ඊ කඳවුරේදීය.

ඔවුන් විසින් ක්ලෝමෝ ගස් බෝම්බ පලු ගහක සවිකර හුංගම මිරිස්ස කැලේදි අත්හදා බැලීම්ද කර තිබිණි. රට පුරා බිම් බෝම්බ රැසක්ද පුපුරුවා හරින ලදී. පසුව සිවරාම් හරහා උමා මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානයෙනොද  පුහුණුව ලබාගත් බවට වාර්තා විය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 මාර්තු 07 වැනිදා සිට එජාප ආණ්ඩුව සමඟ තීරණාත්මක සටනකට යොමු විය. පාවා දෙන්නන් සහ දෝහින් කියා ගම් මට්ටමින් දේශපාලන සතුරන් ද ඝාතනය කළේය. මරා දමන අයගේ අවසන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳව නියෝගද පැනවීය. ඒ අනුව දේහය ඔසවා ගෙන යෑමේදී එය පොළොවේ මට්ටමෙන් අඩියකට වඩා ඔසවා ගත නොහැකිය. ආගමික වැඩ කටයුතු සඳහා උපරිම මට්ටමින් සහභාගි කර ගනු ලැබුවේ භික්ෂූන් 2කි. අවසාන කටයුතු උත්සවයකින් තොරව පැවැත්විය යුතුය. දේහය අවමංගල රථයකින් ප්‍රවාහනය නොකල යුතුය. අවසන් මරණ උත්සවය සඳහා සහභාගි විය හැකි උපරිම ගණන 10කි. මේ නිති කඩවූ අවස්ථාවලදී දැඩි දඩුවම් පැනවූ බව වාර්තා විය.

කැරැල්ල අවසාන කාලයේ එනම් 1989 දෙසැම්බර් වන විට ආරක්ෂ අංශවලින් කැරලිකරුවන් පැහැර ගන්නා ලද ටී 56 ගිනි අවි 172ක්, එස්.එම්.ජී අවි 2, රිපිටර් තුවක්කු 162, පතොරම් තුවක්කු 250, ගල් කටස් 1257, පිස්තෝල 63ක් රිවෝල්වර 54ක් සොයා ගත් අතර ඒවා පසුව විනාශ කරන ලදී.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අරගලය නැතහොත් ජවිපෙ දෙවැනි කැරැල්ල තීරණාත්මක ලෙස පරාජය කිරීමට හැකිවූයේ රණසිංහ ප්‍රේමදාස රජය දේශපාලන සහ ආරක්ෂක හමුදා යන දෙඅංශයෙන්ම සමන්විත උපාය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හේතුවෙනි. එය ආරක්ෂක හමුදා උපාය මාර්ගයකට පමණක් සීමා වූයේ නම් කැරැල්ල අඛණ්ඩව ඇදී යන ප්‍රාදේශීය, ග්‍රාමීය යුද්ධයක් බවට පත්වීමට ඉඩ තිබිණි. ඉන්දීය විරෝධය කැරැල්ලේ මූලික පදනම වූ අතර එයට දේශප්‍රේමී ආවරණයක් ලැබිණි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රජය ඉන්දිය හමුදාව 1989 ජුලි අවසානයට පෙර ඉවත්කර ගත යුතු බවට 1989 ජුලි 01වැනිදා නිවේදනය කළේය. ඉන්දීය හමුදාවට එරෙහිව කටයුතු කිරීමට කොටි සංවිධානයට ආයුධ පිරවූ ටක් 12ක් භාර දුන්නේය. අම්පාරේ සිටි ඉන්දීය හමුදා සේනාංකය ඔක්තෝබර් 25වැනිදා ශ්‍රී ලංකාවෙන් මුළුමනින් ඉවත් වූ අතර සෙසු සේනාංකද උතුරු නැගෙනහිරින් පියවරින් පියවර  ඉවත් විය. එවිට ජවිපෙ කැරැල්ල ආණ්ඩු විරෝධයක් දක්වා මාරු විය. එමගින් ජනතා සහාය දෙදරා ගිය අතරද ආරක්ෂක අංශවල සහායද ආණ්ඩුවට ලැබිණි.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ඇද වැටීම බරපතළ ලෙස ආරම්භ වූයේ හමුදා සහ පොලිස් භටයින් ඉන් ඉවත් නොවීම නිසා එම පවුල්වල අය ඝාතනයට පත්කිරීමට 1989 අගෝස්තු මස ගත් තීරණයක් සමඟය. එය බෞතිස්ම වූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න විසින් මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නට ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය(ඔප්ස් කම්බයින්) පිහිටුවා එහි නායකත්වය 1989 අගෝස්තු 4වැනිදා ලබාදීමත් සමඟය.

එහිදී ඒකාබද්ධ මෙහෙයුම් ඒකකට භටයින්ගෙන් කණ්ඩායම් 100ක් අනුයුක්ත කෙරිණි. බ්‍රිගේඩියර් ලකී අල්ගම යටතේ තොරතුරු විමර්ෂණ ඒකකයක්ද කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක්ද පූර්ණ බලතල සහිතව පිහිටුවනු ලැබීය. ක්ෂණික විහිදුම් බලකායේ අණදෙන නිලධාරියා වූයේද කර්නල් ජානකය.

ජවිපෙ සමාරම්භක නායක රෝහණ විජේවීර ගේ මරණයෙන් මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 වැනිදා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නව නායක සමන් පියසිරි ප්‍රනාන්දු ඇතුළු දේශපාලන මණ්ඩලය 1989 නොවැම්බර් 28වැනිදා රත්නපුර කුරුවිටදී තීරණය කළේය. එම තීරණය ගැනීමට නිවැරදි විග්‍රහයක් ඔවුන් සතු නොවීය. තිබුණේ රණකාමී ආස්වාදය පමණි. ඒ අනුව 1989 දෙසැම්බර් 13 වැනිදා තෝරා ගත් ආරක්ෂක ස්ථානයන්ට ප්‍රහාරයන් කිහිපයක් එල්ල විය. එය ඔහු ඇතුළු ඉතිරිව සිටි සගයින්ටද මරණය කැඳවා ගැනීම ඉක්මන් කරවන්නක් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1990 පෙබරවාරි වන විට වාෂ්ප වී ගියේය.

ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න ගේ සැලැස්ම, අනුකම්පා විරහිත වුත් ඉතාම උපායශීලී සහ සූක්ෂ්ම වූත් ක්‍රියාමාර්ගයක් විය. ඔප්ස් කම්බයින් අංශය සටන ජයගත් පසු 1990 මාර්තු 08වැනිදා විසුරුවන ලදී. ජවිපෙට එ‍රෙහිව සන්නද්ධ ආරක්ෂක මෙහෙයුම් 1990 අප්‍රේල් 19වැනිදා සිට නවතා දමන බව රජය මගින් නිවේදනය කරන ලදී. ස්වාධීන භාරවීමේ කමිටුවල වැඩ කටයුතු එදින සිට අරඹන ලදී.

ඉකුත් අසූව දශකයේ අවසාන භාගයේ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ක්‍රියාවට නැගූ දෙවන කැරැල්ලේදී එහි දේශපාලන මණ්ඩලයේ 13 දෙනාගෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ සෝමවංශ අමරසිංහට පමණි. ජවිපෙ මධ්‍යම කාරක සභාවේ 30 දෙනාගෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ සිව් දෙනෙකුට පමණි. ඉන් එක් අයෙකු ඉකුත් වසරේ දී මිය ගිය අතර එක් අයෙකු එතෙර පදිංචිව සිටී.

ජවිපෙ සමාරම්භක නායකයා වුයේ රෝහණ විජේවීරය. දෙවන නායකයා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කිර්ති විජයබාහුය. ඒ රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 වැනිදා සවස අත්අඩංගුවට ගෙන 13වැනිදා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. ජවිපෙට එරෙහි ප්‍රථම වටයේ සංහාරයෙන් පසු දේශපාලන මණ්ඩලයේ ඉතිරි වූ ජවිපෙ නායකත්වය වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න, ශාන්ත බණ්ඩාර සහ සෝමවංශ අමරසිංහ යන සිවිදෙනා පමණි. මින් සෝමවංශ අමරසිංහ භූගත වූ අතර 1990 මාර්තු මස ආරක්ෂිත පියවරක් ලෙස රටින් පලා යනු ලබයි. ජවිපෙ තෙවන නායකයා වූයේ සෝමවංශය.

ඉතිරි වූ දේශපාලන මණ්ඩලයේ සිව්දෙනා ගෙන් තිදෙනෙකු වූ සමන් පියසිරි ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර සහ ලලිත් විජේරත්නගේ මෙහෙයවීමෙන් ඉතිරිවූ මධ්‍යම කමිටු සාමාජිකයන්ගේද සහභාගිත්වයෙන් සමන් පියසිරි ජවිපෙ නායකත්වයට පත්වූයේ 1989 නොවැම්බර් 28වැනිදා රත්නපුර කුරුවිට පැවති සාකච්ඡාවකදීය. එහිදී දේශපාලන මණ්ඩලයේ පුරප්පාඩුවලට උපාලි ජයවීර, රංජිතම් ගුණරත්නම්, ගාමිණී විජේගුණසේකර පත් කල අතර සෙසු 6 දෙනා මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පත්කර ගැනීමට තීරණය විය. ඊලඟ රැස්වීම 1990 ජනවාරි 05වැනිදා පන්නිපිටියේදී පැවැත්වීමටද එහිදී තීරණය විය. එහෙත් දෙවන වර රැස්වීමෙන් පසු ශාන්ත බණ්ඩාර 1989 දෙසැම්බර් 20වැනිදා කුරුවිටදීද, ලලිත් විජේරත්න කොළඹදීද, සමන් පියසිරි දෙසැම්බර් 27වැනිදා නුගේගොඩ නාවලදීද, උපාලි ජයවීර 1990 ජනවාරි 02වැනිදා නුවරඑළිය හාවාඑළියේදීද  අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ඇතුළතදී ඝාතනයට ලක්විය. සමන් පියසිරි 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට ලක්වන විට ජවිපෙ දෙවන නායකයා වශයෙන් නායකත්වය දරා තිබුණේ දින 32ක් පමණි.

කුරුවිටදී 1989 නොවැම්බර් 28වැනිදා දේශපාලන මණ්ඩලයට පත්වූ රංජිතම් ගුණරත්නම්ට භාර දුන් කලාපය වූයේ කොළඹ, ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්ය. ගාමිණී විජේගුණසේකරට ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් කලාපය භාර විය. රංජිතම් කුරුණැගලදීද, ගාමිණී කළුතරදීද සති කිහිපයකින් ඝාතනයට ලක්විය.

රංජිතම් ගුණරත්නම් යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයෙකි. උදලාගම කොමිසම මගින් 1983දී ශිෂ්‍ය භාවය අහෝසි කරන ලදී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 1985 අප්‍රේල් සිට නොවැම්බර් දක්වාද 1986 ඔක්තෝබර් සිට 1987 මැයි දක්වාද කැදවුම්කරු ලෙස කටයුතු කලේ ඔහුය. කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව නායකත්වය දීමට එවකට අන්තරේ කැදවුම්කරු සරත් එදිරිසූරියට නොහැකිවූ අවස්ථාවේදී රංජිතම් සියළු පාර්ශවයන් එක්රැස් කර අන්තරය මෙහෙය විය. දයා පතිරණ ඝාතනය සිදුවූ 1986 දෙසැම්බර් 15වැනිදාට පසු සීසී කඩ විසිවීමට ගිය අන්තරේ රැක ගැනීමටද ඔහු සමත් විය. ලියුම්කරු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ ඔහු අවසාන වරට ප්‍රසිද්ධියේ සරසවි සිසුන් දහසකට අධික පිරිසක් ඇමතුවේ 1987 නොවැම්බර් 12වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවති වීරසූරිය සමරු ප්‍රදර්ශනයේදීය. කොළඹ සරසවිය තායිලන්තය තමාසාක් සරසවියක් කිරීමට ස්වාධීන ශිෂ්‍ය සංගමයට ඉඩ නොදෙන්නයැයිද ඔහු එහිදී පුටුවක් මතට නැගී කල කථාව තවමත් මතකය.

කෑගල්ලේ අගුරුවැල්ලේ උපන් ද්‍රවිඩ ජාතිකයෙක් වූ ඔහුගේ මව සිංහල ද්‍රවිඩ මිශ්‍ර පවුලකට අයත්ය. කෑගල්ලේම උපන් මව ශාන්ත මේරි ද්‍රවිඩ විදුහලේ විදුහල්පතිනිය වශයෙන්ද කටයුතු කළාය. කෑගල්ල පින්නවල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලත් රංජිතම් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුගේ නැගණිය නිරංජලාය. එකම සොහොයුරා ප්‍රේමකුමාර් ගුණරත්නම්ය. අසූවේ දශකයේ ජවිපෙ දෙවන කැරැල්ලේ ඉහළම වැඩ කිඩ පෙන්වූ ජීවත්ව සිටින අතලොස්ස අතරින් ඔහුද ප්‍රමුඛයෙකි. වර්තමානයේදී ප්‍රේමකුමාර් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාරම්භක නායකයා ඔහුය. ගැමුණු, කුමාර්, කුමාර් මහත්තයා, නොයෙල් මුදලිගේ යන නම්වලින්ද ප්‍රේමකුමාර් ගුණරත්නම් හැදින්විය.

ප්‍රේමකුමාර්ගේ වැඩිමහල් සොහොයුරා වූ රංජිතම් ජවිපෙට බදවා ගනු ලැබුවේ ශාන්ත බණ්ඩාරය. ඒ 1981දීය. පසුව කෝට්ටේ පදිංචි වූ ශාන්ත බණ්ඩාරගේද මුල් ගම වූයේද කෑගල්ලය. ප්‍රේමකුමාර් ජවිපෙට බැදුනේ සොහොයුරා වූ රංජිතම් හරහා නොවේ. තමාගේම පාසැල වූ කෑගල්ල පින්නවල මහ විද්‍යාලයේ සිසුවෙකු සහ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු වූ වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාරගේ සම්බන්ධීකරණයෙනි.

ප්‍රේමකුමාර් උපන්නේ 1965 නොවැම්බර් 18වැනිදාය. කෑගල්ල ශාන්ත මරියා, පින්නවල මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු 1981 සිට ජවිපෙ දේශපාලන කටයුතුවලට උනන්දුවක් දැක්වූයේය. පේරාදෙණිය සරසවියට ඇතුල් වූයේ 1985දීය. එහිදී ජවිපෙ වැඩවලට ක්‍රියාකාරිව දායක විය.

පල්ලකැලේ හමුදා කඳවුරට පහර දුන් කණ්ඩායමේ ප්‍රේමකුමාර් සාමාජිකයෙකු විය. ඒ 1987 අප්‍රේල් 15 වැනිදා උදෑසන 2ටය. පේරාදෙණිය සරසවියේ මාස් ශාලාවේදී අප්‍රේල් 14වැනිදා සවස් වරුවේ එක් රැස්වූ එම ප්‍රහාරක කණ්ඩායමට කාන්තාවන් දෙදෙනෙකුද අයත් විය. බහුතරයම උපාධිධාරීන් සහ උපාධිධාරි අපේක්ෂකයින් වූ අතර චන්ද්‍රසිරි, බී. කොස්තා, සමරනායක, ජයන්ත, ලක්ෂ්මන්, සිසිර දේවප්‍රිය සහ රංජිත් වීරසිංහ ඒ අතර විය. ප්‍රහාරය භාරව සිටියේ එවකට මධ්‍යම කාරක සභික සහ මහනුවර ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරයා වූ ශාන්ත බණ්ඩාරය. කඳවුර ආක්‍රමණය කල බලකායේ නායකයා වූයේ කලක් පුහුණු හමුදා  සෙබළෙකු වූ මහින්දය. තිකුණාමලය කල්ලාර් කඳවුරට ඇතුළුවීමේදී පසුව මිය ගියේය. වෑන් රථයක නැගී පැමිණ කල පල්ලකැලේ ප්‍රහාරයෙන් අවි ආයුධ රැසක් පැහැර ගැනීමට ජවිපෙ සමත් විය.

ප්‍රහාරයෙන් සති 6කට පසු 1987 මැයි 23වැනිදා ගලගෙදරදී පොලිස් අත්අඩංගුවට පත් ප්‍රේමකුමාර් නුවර පොලිසියට ගෙන එනු ලැබීය. අවසානයේ මැගසින් බන්ධනාගාරයේ ත්‍රස්තවාදී මර්දන පනත යටතේ රඳවා තබා ගෙන කොළඹ මහාධිකරණයේ 1988දී ඔහු ඇතුළු පිරිසට පල්ලකැලේ ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන ලදී. පසුව ඔහු නුවර බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ආ අතර එහිදී ජවිපෙ මධ්‍යම කාරක සභික ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් රාගම සෝමේ  සමඟ 1988 දෙසැම්බර් 13 වැනිදා උමඟක් හාරා පලා යන ලදී.

ජවිපෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් වශයෙන් 1989 පෙබරවාරි මස පූර්ණකාලීනව ප්‍රේමකුමාර් යළි එක්වූ අතර එයට කලින් එය දැරුවේ ඔහුගේ සොහොයුරු රංජිතම් විසිනි. ත්‍රිකුණාමලය දිසා කමිටුවේ සමාජිකයින් වූයේ ප්‍රේමකුමාර්, සේරම්, පින්දෙනිය, අර්ජුන සහ සනත්ය. එයට පෙර 1987 ඔක්තෝබර් 25වැනිදා කලාර් හමුදා කඳවුරට ජවිපෙ විසින් පහර දී ආයුධ කිහිපයක් පැහැර ගෙන තිබිණි. ජවිපෙ සාමාජික හිටපු හමුදා  සෙබළෙකු වූ මහින්ද මියගියේ එහිදීය.

ප්‍රේමකුමාර් කන්තලේ ස්ථානගතවී ජවිපෙ දිසා කටයුතු මෙහෙයවිය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම ඔහු කථා කලද දෙමළ භාෂාවෙන් ඔහුට එකල ලිවීමට නොහැකිය. ජවිපෙ උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයෙන් ආයුධ, පුහුණුව සහ බිම් බෝම්බ තාක්ෂණයද එකල ලබාගෙන තිබිණි. කේඩර්වරුන් 100කින් සමන්විත දින 10ක අධ්‍යාපන කඳවුරු දෙකක් ඔහු විසින් පැවැත්වූ අතර ඉන් තෝරා ගත් 25 දෙනෙකුට තෙදිනක සන්නද්ධ පුහුණුව ලබා දෙන ලදී.

ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ප්‍රේමකුමාර්ගේ මෙහෙයවීමෙන් සැලසුම්කල අතර හමුදා සේවයෙන් ඉවත්ව ආ සරත් කුලේද මෙහෙයුම්වලට සහාය විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම්  කනුව අසළදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමට ඔවුහු සමත්වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සැමරුම පැවැත්වෙන 1989 ජුලි මසදීය. ත්‍රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. වසර 1989 ජුලි 25 වැනිදා මුල්ලිපතානයිදී බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ටක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය සෙබළු 14ක් මරමුවට පත්විය. සියලු ආයුධ පැහැර ගැනීමට ඔවුහු සමත් විය.

ජවිපෙ මෙය සිදු කලබව දැන ගත් ඉන්දීය රෝ රහස් ඔත්තු සේවය ඉන්දීය හමුදාවට එරෙහිව ප්‍රහාර නතර කරන්නැයි ඉන්දීය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් එස්.එච් ජුරි විසින් ජවිපෙ තෙවන නායක ඩී. එම්. ආනන්ද ගෙන් ඉල්ලා සිටි බව කියති. ඒ අනුව ඉන්දීය හමුදාවට එරෙහි ප්‍රහාර නතර කරන්නැයි ප්‍රේමකුමාර්ට නියෝග කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජවිපෙ සාමාජිකයෙකුවන ජයන්ත විසින් ලියවන පට්ටල් මගින් ටී 56 අවි කිහිපයක් ත්‍රිකුණාමලයේ දී සෑදූ  අතර එය අත්හදා බැලීමේදී ඉතා සාර්ථක වූ අතර  1989දී සැප්තැම්බර් අවසානයේදී ඔහු කෑලි කෑලිවලට කපා  මරා දමා තිබිණි.

ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24වැනිදා හමුදා අත්අඩංගුවට පත් වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. එවකට එම ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා වූයේ විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකාය. කන්තලේ හමුදා නිවස් ඛණ්ඩයේ ඔහු රඳවා සිටි අතර ඔහුට පෝස්ටර් ඇදීමට හැකි නිසැක හැකියාව, කථිකත්වය සහ ද්‍රවිඩ භාෂාවේ නිපුණත්වය හේතුවෙන් හමුදාව සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනගා ගැනීමට හෙතෙම සමත් විය. පසුව ඉන්දීය හමුදාව 1990 මාර්තු මස ලංකාවෙන් යෑමට ආරම්භ කිරීමත් සමඟම ඔහු කපිතාන් ජයන්ත කොතලාවල යටතේ යාපනයට රැගෙන ගිය බව කියති. පසුව කොළඹට පැමිණි අවස්ථාවකදී අස්ථානගතවූ බව කියති.

පසුව ජවිපෙ යළි ගොඩනැගීමේදී තීරණාත්මක කාර්යභාරයක් සිදුකල නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම සමඟ 1992දී යළි සබඳතා ගොඩනගා ගැනීමට ප්‍රේමකුමාර් සමත් විය.  නුගේගොඩ විජේරාම මංසන්දියේ ජයවර්ධනපුර අසළ කාමරයක් කුලියට ගෙන සිටි හෙතෙම විදේශගතව සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සමඟ සබඳතා ගොඩනැගිමට සමත් විය. සෝමවංශගේ උපදෙස් අනුව කමල් දේශප්‍රිය විසින් ප්‍රේමකුමාර් හමුවී සබඳතා අලුත් කරගත් අතර ජවිපෙ පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගුනේ ඉන් අනතුරුවය. ටිල්වින් සිල්වා 1994 සැප්තැම්බර් නිදහස් වීමෙන් පසු පූර්ණ කාලීනව යළිත් එක්විය.  තංගල්ලේදී 1995දී විශේෂ සමුළුවක් පවත්වා ජවිපෙ නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීමට ඔවුහු සමත් වූහ.

වෛද්‍ය චම්පා සෙනෙවිරත්න, වෛද්‍ය කොස්තා ගෙන් පසු 1993දී විවාහ වූයේ ප්‍රේමකුමාර් සමඟය. වැලිසර ලය රෝහලේ සේවය කල ඇය 1994 මහ මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයටද නාම යෝජනා ලබා දුන්නාය. ප්‍රේමකුමාර් වර්තමානයේ දෙදරු පියෙකු වන අතර දරු පවුල ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.

ප්‍රේමකුමාර් 1984 සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් 2012 මාර්තු මස දක්වා කටයුතු කළේය. ඉකුත් ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂට ජනාධිපතිධූරය සඳහා සහාය ලබාදී උපක්‍රමිකව රජයට එක්වී කටයුතු කල යුතු බවට ජවිපෙ දේශපාල මණ්ඩලයට ඉදිරිපත් වූ  යෝජනාවේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. විරුද්ධව ඡන්දය දුන් ප්‍රේමකුමාර් සහ සේනාධීර කියා සිටියේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු වූවද රජයට එක් නොවිය යුතු බවය.

ජන විමුක්ති සහයෝගිතා පෙරමුණේ නාමය පෙරටුගාමී සමාජවාදි පක්ෂය ලෙස සංශෝධනයට ලක් වීමෙන් පසු ප්‍රේමකුමාර් එහි නායකයා විය. 2012 අප්‍රේල් 07වැනිදා අලුයම කිරිබත්ගොඩ ගැමුණු මාවතේදී අත්අඩංගුවට ගත් ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බැවින් ඕස්ට්‍රේලියානු තානාපතිවරියගේද මැදිහත් වීමෙන් පසු අප්‍රේල් 09වැනිදා රාත්‍රියේ මුදා හැරි අතර අප්‍රේල් 10වැනිදා යළි ඔස්ට්‍රේලියාවට යවන ලදී. මෙහිදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ දිමුතු ආටිගලද පැහැරගෙන පසුව නිදහස් කර තිබිණි.

ජවිපෙ ඉතිහාසයේ ආරම්භයේ සිට අභ්‍යන්තර බෙදීම් ඇතිවී තිබේ. එයටද සෑහෙන තරමේ ඉතිහාසයක් ඇත. ලොකු අතුල කණ්ඩායම බිහිවූයේ 1970 කාලයේදීය. ඩී.අයි.ජි. ධර්මසේකරද කණ්ඩායමක් පිහිටුවා ඇමරිකා තානාපති කාර්යාලයටද පහර දුන්නේය. අනතුරුව 71 කැරැල්ලේ පරාජයෙන් පසු සිරගෙදරදීම කෑගල්ල කණ්ඩායම ජනතා සංගමය නමින් පෙනී සිටීය. වසර 1985වන විට ජනතා විමුක්ති පෙරමුණේ නව ප්‍රවණතාවය නමින් කණ්ඩායමක් උඩුවගේ හෙන්රි විසින් පිහිටුවන ලදී. ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සමඟ පක්ෂයේ ප්‍රතිපත්ති මත ඇතිවූ ගැටුමකදී 2008දී ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ පිහිටුවන ලදී.

ජවිපෙන් ඉවත්ව පෙරටුගාමී පක්ෂය පිහිටවූ ප්‍රේමකුමාර් ජවිපෙ “ප්ලග්” ගැලවීමට සමත් විය. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයේ බලය ලබාගැනීමට පෙරටුගාමී පක්ෂය සමත් වූ බැවිනි. රෝහණ විජේවීරගේ ජවිපෙට එදා නායකත්වය දුන්නේ අන්තරේ හිටපු කැඳවුම්කරුවන් වූ ශාන්ත බණ්ඩාර, එච්.බී හේරත්, ඩී.එම්. ආනන්ද, උපාලි ජයවීර වැනි අයයි. ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයට  මෙදා නායකත්වය දෙන්නේද අන්තරේ හිටපු කැඳවුම්කරුවන් වූ චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව, උදුල් ප්‍රේමරත්න වැන්නෝය. අසූව දශකයේ ජවිපෙ දෙවන කැරැල්ලේ ඉතිරි වූ කැරලි නායකයා වන ප්‍රේමකුමාර් ගේ මීළඟ භූමිකාව දන්නේ ඔහුම පමණක් විය හැකිය.

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 18 කොටස

ඉකුත් අසූව දශකයේ ධවල භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) වැඩ කළේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 19ක පමණි. උතුරේ දිස්ත්‍රික්ක පහේද නැගෙනහිර මඩකලපුවේද ජවිපෙ ක්‍රියාත්මක වූයේ නැත. ඒ අනුව ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන් 19ක් වූහ. මධ්‍යම කමිටුව සැකසුණේ දේශපාලන සභිකයින්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ මිලිටරි අංශයේ ලේකම්වරුන්ගෙන් යුක්තවය.

ජවිපෙ 1988 එහි දේශපාලන මණ්ඩල සභිකයින් වුයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, ඩී. එම් ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු, පියදාස රණසිංහ, එච්. බී. හේරත්, ගුණරත්න වනසිංහ, ආර් .බී. විමලරත්න, සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, නන්දතිලක ගලප්පත්ති, ලලිත් විජේරත්න වේ. ජේෂ්ඨත්වයෙන් කෙසේ වෙතත් අවසාන කාලයේ පක්ෂයේ “වැඩකාරයෝ” බවට බව ඩී.එම්. ආනන්ද සහ සමන් පියසිරි පත් විය. එයට හේතු වූයේ ශිෂ්‍ය, කාන්තා හා භික්ෂු පෙරමුණද බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන ලේකම් ලෙසද ඩී.එම්. ආනන්ද කටයුතු කිරීමත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කල කීර්ති විජයබාහු වූයේ සමන් පියසිරි නිසාත්ය. අවසාන භාගයේ ජවිපෙ බලය රෝහණ විජේවීර අතින් ගිලිහී ඔවුන් අතට ඉබේම ඇදී ගියේය.

මෙම දේශපාලන සභිකයින් සියලු දෙනා අතරින් අවසානයේ ජීවත් වීමට ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි. ජවිපෙ 1994දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේදී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ සෝමවංශ විසිනි. පක්ෂය යළි ගොඩනැගීමේදී විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිසද ඒ වෙනුවෙන් කල සුවිශේෂ මෙහෙවරක් ඉටු කළෝය.

සෝමවංශ අමරසිංහ එකල හැදින්වූයේ සිරි අයියා නමිනි. ජවිපෙ දෙවන කැරැල්ල පැවති අසූව දශකයේ අවසාන භාගයේදී  කොළඹ මානව හිමිකම්, සංස්කෘතික, මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නිරතුරුව සම්බන්ධතා පැවැත්වූ ඔහු ජවිපෙ නායකයින් සහ සෙසු බහුජන සංවිධාන නායකයින්ද සම්බන්ධීකරණය කළේය. බොහෝ උද්ඝෝෂණයන්හි අදිසි නායකයෙකු විය. අගමැති රණසිංහ ප්‍රේමදාසගේ දකුණු අත බවට එවකට පත්වී සිටි ඇමති සිරිසේන කුරේගේ ඥාති සොහොයුරෙකු අවාහ වී සිටියේද සෝමවංශගේ සොහොයුරියක සමඟය.

ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉහත නම් සඳහන් 13දෙනාගෙන් සිව්දෙනෙකු හැර අන් සියලු දෙනා ලියුම්කරුගේ වෘත්තීය මිතුරන්ය. ඔවුහු කාර්යාලයට මෙන්ම නිවසටද 1986-90 අතර කාලයේදී පැමිණි අවස්ථා බොහෝය. සිරි අයියාද ඒ අතර විය. ඔහුගේ රතුපාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. ඉංග්‍රීසි බසින්ද කටයුතු කිරීමට සමත් ඔහු බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය.

එකල සෝමවංශ පෙනී සිටියේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. සිරි අයියා නොහොත් රෙජි අන්කල් ලෙසද ඔහු හැදින්විය. අත් දිග කමිස වලින් නිරතුරුව සැරසී සිටියේය. එක් දරු පියෙකු වූ ඔහුගේ බිරිද කළුතර ගුරුවරියකි. වාරියපොල නිළඹ ප්‍රදේශයේ අරලිය වත්ත ඉඩම සහ බටුවිට ගෝනපොල හන්දියේ නිවසද ඇටම්පිටිය පාරේ නෙළුව කටුගහ වලව්ව පක්ෂය වෙනුවෙන් මිලදී ගෙන තිබ්බේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. පක්ෂයේ නායක රෝහණ විජේවීරගේ අවසාන කාලයේ අභ්‍යන්තර කවයේ හොදම මිතුරෙකු වූයේද සෝමවංශයි.

කලක් පොලිසියේ සහ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහ ඔහුගේ පියාය. මව ගෘහණියකි. පවුලේ බාලයා සෝමවංශය. ඔහුට වැඩිමහල් සොහොයුරන් හතර දෙනක් සහ සොහොයුරියන් තිදෙනෙකි. කළුතර පයාගල ඔහු උපන් අතර කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව කළුතර විද්‍යාලයට දෙවැනි ශ්‍රේණියේදී ඇතුල් විය.  සෝමවංශ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් කොළඹද අනතුරුව ගාල්ල, කල්මුණේ, බිබිල සහ රාජාංගනයේද සේවය කළේය.

වසර 1969දී කාසල් වීදියේදී පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියාගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවති ජවිපෙ පන්තිවලට සහභාගිවලට සහභාගි වී පක්ෂයට එක්විය. ඔහු ව්‍යාපාරයට ගෙන ආවේ නවරත්න බණ්ඩා බව කියති. ඔහුගේ 5 ශ්‍රී 6022 දරණ හොන්ඩා බයිසිකලය පක්ෂය වෙනුවෙන් ලබා දුන්නේය. 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී සෝමවංශට නියම වී තිබුණේ එවකට අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැකිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැරගෙන යෑමේදී රිය පැදවීමටය. ඔහුට වාහන එළවීමට ඇති හැකියාව නිසා මෙම කාර්යය පැවරූ බව පියසිරි කුලරත්න පවසා තිබිණි.

වසර 1971 අප්‍රේල් 04වැනිදා රාත්‍රි බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල රාත්‍රී 11.30වන තෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ සිටියද අන් කිසිවෙකු පැමිණියේ නැත. පසුව ඔහු බෝම්බ බෑගය සමගින් කුලී රථයක නැගී කොටහේන නවාතැනට ගිය අතර පසුව අත්අඩංගුවට පත්ව ගාල්ල සහ යාපනය බන්ධනාගාරයේ සිටියේය. රෝහණ විජේවීර ප්‍රථමවරට ඔහු දුටුවේ 1975දීය. අනතුරුව 1976 දෙසැම්බර් මසදී කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, රාගම සෝමේ ඇතුළු කිහිප දෙනෙකු සමඟ නිදහස් වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ක්‍රියාකාරි විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියාගේ නිවස ඔවුන්ගේ මූලස්ථානය විය.

එජාප ආණ්ඩුව මගින් 1983දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කල පොලිස් දැන්වීමේ ඡායාරූප අතර ඔහුගේ ඡායාරූපයද විය. තවත් පක්ෂ ක්‍රියාකාරියන් 380කගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය. තහනමත් සමඟ පක්ෂ ක්‍රියාකාරිකයින් සමඟ රහසිගතව කටයුතු කිරීම ඇරඹූ ඔහු 1984දී කොළඹට පැමිණ යළි දේශපාලන කටයුතු කරගෙන ගියේය. ලයනල් බෝපගේ ඉවත් වීමත් සමඟම 1984 අප්‍රේල් මසදී සෝමවංශ දේශපාලන මණ්ඩලයට පත්විය. ශාන්ත බණ්ඩාර, ඩී.එම්. ආනන්ද, වනසිංහද දේශපාලන මණ්ඩලයට පත්වූයේ එම මස අග භාගයේදීය.

රෝහණ විජේවීර සිය දරු පවුල සමඟ හපුතලේ වල්හපුතැන්න නිවසට කැදවාගෙන යන්නේද සෝමවංශය. ඔහු විජේවීර සමඟ ඔහුගේ මස්සිනා ලෙස රඟපාමින් කටයුතු කල බව විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනීගේ ප්‍රකාශනයේ ද සඳහන්ය. විජේවීරගේ දරුවන්ගේ පාසැල් ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැඳවාගෙන යන්නේද සෝමවංශය. විජේවීර උලපනේ නිවසට යන්නේ 1988 මාර්තු මාසයේදීය.

සෝමවංශ ඒ අතරතුරදී කොළඹ බහුජන සංවිධාන සමඟ නිරතුරුව සංවිධානයේ වැඩ කළේය. බොරැල්ල ගෝතමී විහාරයේදී නිරතුරුව ඔහු දක්නට ලැබිණි. ගෝතමී විහාරයට අවිගත් කණ්ඩායමක් 1988 සැප්තැම්බර් 07වැනිදා කඩා වැදී සියලු ලේඛන අත්අඩංගුවට ගෙන මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් 8 දෙනෙකු පැහැර ගෙන ගිය අවස්ථාවේදී එකල භූගතව සිටි සෝමවංශ අමරසිංහ ලන්ඩනයේ ඇම්නෙස්ටි ආයතනයට දුරකතන පණිවිඩයක් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට ඒ සැණින් කථා කර ඔවුනට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. පසුව කොළඹ එජාප නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මැදිහත් වී ඔවුන් බේරා ගත්තේය.

සෝමවංශගේ බිරිඳ සහ දරුවා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ. යළිත් ඔවුන් 1989 අවසාන භාගයේදී ඉන්දියාවේ කේරලේ සිටින මිත්‍රයෙකු වෙත යැවීමට අමරසිංහ සමත්වූ අතර ඒ ඔස්සේ තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට සිය බිරිද සහ දරුවා ගියෝය.

විජේවීරගේ නායකත්වයෙන් යුත් අවසාන දේශපාලන මණ්ඩල රැස්වීමට තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 දිනයන්හිදීය. එහෙත් වනසිංහ සහ ඩී. එම් ආනන්ද එයට සහභාගි නොවේ. මෙය සෝමවංශගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දේ එහෙත් එය විජේවීර සුළු කොට තකයි. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇදිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් වන විට නිමා කරයි.

සමන් පියසිරි, ලලිත් විජේරත්න, ගමනායක සහ විජේවීර කාරයෙන් පිටත් වේ. ශාන්ත බණ්ඩාරද වෙනම යයි. සෝමවංශ අමරසිංහ සහ පියදාස රණසිංහ මඩවල ප්‍රදේශය බලා පිටත් වන අතර ආපසු එන ගමනේදී සෝමවංශ ට්‍රිනිටි කන්දෙන් බසී. පියදාස රණසිංහ නුවරදී අත්අඩංගුවට පත්වේ. එච්. බී. හේරත් එදින සවස 3ට ගලහ නිවසේදී අත්අඩංගුවට පත්වේ. එදිනම සවස විජේවීරද, පසුදින උදේ ගමනායකද අත්අඩංගුවට පත්වේ. සෝමවංශගේ ඉව හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත් වීමට වරම් ලැබිය.

සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය.   ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ නිවස පිහිටියේ කොටහේනේ අල්විස් ඇවනිව්හිය. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත.

එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 මාර්තු මාසයේදීය. පසුව කේරලයට ගොස් බිරිද සහ දරුවා හමුවේ. දරු පවුල තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට යවන සෝමවංශ අමරසිංහ ඉතාලිය හරහා ප්‍රංශයටත් ස්විස්ලන්තයටත් සංක්‍රමණය වේ.

සෝමවංශ අමරසිංහ රට යැමට උදව් කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ  සංදේශයේ නිෂ්පාදක චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්‍රමසිංහද මදුරාසියේදී ලියුම්කරුට හමුවිය.

පසුව 1994දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා ජවිපෙ මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව සෝමවංශද ලංකාවට පැමිණ ජවිපෙ ක්‍රියාකාරකම්වලට වර්තමානය දක්වා පූර්ණකාලීනව කටයුතු කරයි. අසූව ධවල භීෂණයෙන් පසු ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර තලයේදී සෝමවංශ රඟපෑ භූමිකාව පිළිබදව විවිධාකාර විවේචන පැවතියද ජනතා විමුක්ති පෙරමුණට යළි පණ ලබාදීමේදී ඔහු පසුබිම ඇති කථාව මෙයයි.

වසර 1980 ජුලි මස ඩේලි නිවුස් පුවත්පතේ පලවූ පුවතක් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අනුමැතිය දුන් බවය. රජයේ තලගොල්ල රෝහල සහ එම රෝහල පිහිටි හෙක්ටයාර් 14ක ඉඩම ඉතාම අඩු බද්දකට පෞද්ගලික වෙද විදුහලට පවරා දීමටද එයට ඇතුලත් කරන සිසුන්ගේ සායනික පුහුණුව ජන සතු වස්තුවක් වන රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහලේ ලබාදීමටද එමගින් අනුමැතිය හිමිවිය.

යෝජිත පෞද්ගලික වෙද විදුහලේ සම්පූර්ණ බලය එහි අධ්‍යක්ෂක මණ්ඩලයට හිමි වන අතර ඔවුන් සියල්ලෝම ආර්ථික වශයෙන් මහත් සාර්ථකත්වයක් ලත් ප්‍රයිවට් දොස්තරලා වූහ. ප්‍රයිවට් වෙද විදුහලට සිසුන් ඇතුලත් කිරිම සඳහා අයදුම්පත්ද කැදවා ඒවා පරික්ෂා කරමින් සිටින බවද අනතුරුව පුවත්පත් වාර්තා කළේය. ස්වාධීන වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපතිවරයා වූයේ බර්නාඩ් සොයිසාය. වර්තමානයේදී රජයේ සේවය කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 18,221කි. යෝජිත පෞද්ගලික වෙද විදුහල 1981 අවසාන කාර්තුවේ පටන්ගත් අතර ඉන් ප්‍රථම වරට වෛද්‍යවරුන් සුදුසුකම් ලබා පිටවීමට තිබුණේ 1986 අවසාන කාර්තුවේදීය. වෛද්‍ය හිඟයට නියම විසඳුම වන්නේ වෛද්‍ය පීඨයකට ඇතුල්වන සිසුන් 25 බැගින් පහසුකම් ලබාදී වැඩි කිරීම බව මහාචාර්ය කොල්වින් ගුණරත්න ඇතුළු විද්වතුන් පෙන්වා දුන්හ.

එජාප ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කල අධ්‍යාපන ධවල ප්‍රතිකාවටද එරෙහිව සිසුන් දස දහසකට ආසන්න පිරිසක් 1982 ජනවාරි 20 වැනිදා ගාලු මෝදර ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා එවකට එහි තිබූ පාර්ලිමේන්තුවද වටකරන ලදී. ආණ්ඩුව එයට පහර දුන් අතර විශාල පිරිසක් තුවාල ලැබූහ. තිදෙනෙකු සදාකාලික ආබාධිතයන් බවටද පත්විණි. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25වැනි ඡේදය යටතේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගෙන සිටි රජයේ වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විභාගයෙන් අසමත් වූවන්ය. 1981දී ප්‍රථම කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 69,000ක්ද සිව්වැනි කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 125,000ක්ද අය කරගෙන තිබිණි.

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය 1981 සැප්තැම්බර් 09වැනිදා තාවකාලික පදනමක් මත එම වෛද්‍ය පාඨමාලාව ආරම්භ කිරීම සුදුසු යැයි පිළිගන්නා ලදී. නමුත් එයට අනුමැතිය ලබා දුන්නේ දෙවන වසර විභාගය තෙක් පමණි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයින්ට 1981 ඔක්තෝබර් මසදී දේශන ශාලාවක් ලබාදෙන ලද්දේ කොළඹ නාලන්දා විදුහලෙනි. එහෙත් අවසානයේදී නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතා නිසා එය ඉවත් කිරිමට සිදුවිය.

මෙහි කටයුතු ඉදිරියට යද්දී සරසවි සිසුන් විවිධ උද්ඝෝෂණ ඇරඹීය. එමෙන්ම වෛද්‍ය සංගම්ද එහි හානිය රටට කියා පෑවේය. කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්.ආර්.බී අත්තනායක විසින් 1981 දෙසැම්බර් 09වැනිදා ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් කොළඹ වෛද්‍ය පීඨයේ පහසුකම් පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබාදීම නතර කරන ලදී. ඒ අනුව රාගමදී ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹිනි. අසූ තුනේ ජුලි කලබලය සමඟ ශිෂ්‍ය උද්ඝෝෂණ තාවකාලික පසුබෑමකට ලක්විය.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පහසුකම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබා නොදෙන බව එහි පීඨාධිපතිනිය 1983 දෙසැම්බර් 29වැනිදා ලිඛිතව සහතිකයක් ලබා දුනි. ඒ අනුව මාස 06ක විභාග වර්ජනය නිමා කරමින් පෞද්ගලික වෛද්‍ය සිසුන් සමඟ කොළඹ වෛද්‍ය සිසුන් 1983 දෙසැම්බර් මසදී පොදු විභාගයකට පෙනී සිටියහ. පසුව පෞද්ගලික සිසුන් හොර රහසේ කොළඹ මහ රෝහලේ සමාජ රෝග, අධිකරණ වෛද්‍ය, ස්නායු වෛද්‍ය අංශවලට සායනික පුහුණුවලට පැමිණියහ.

විවිධ ගැටලු සහ විරෝධතා අතර 1981දී ආරම්භ වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1987 වන විට සිසුන් 700ක් ඇතුළත් කරගෙන තිබිණි. එහි ප්‍රථම කණ්ඩායටම සිසුන් 120ක් අයත් වූවද එම කණ්ඩායම අවසාන වසරට එළඹෙන විට ඉතිරිව සිටියේ 60 දෙනෙක් පමණි. එයට හේතුව වී තිබුණේ කොළඹ වෛද්‍ය සිසුන්ට පැවැත්වෙන මූලික විභාග වලදී සිසුන් 50ක් පමණ අසමත් වී තිබීමය. තම අධ්‍යයන කාලය සම්පුර්ණ කල පෞද්ගලික විදුහලේ ප්‍රථම සිසු සංඛ්‍යාව 1987 ජුලි 30 වැනිදා කොළඹ වෛද්‍ය සිසුන් සමඟ අවසාන විභාගයට පෙනී සිටීමට නියමිතව තිබිණි.

ශිෂ්‍ය උද්ඝෝෂණවලට සමගාමීව කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලයද 1987 මාර්තු 18වැනිදා රැස්වී එකම විභාගයක් පැවැත්වීමට තම විරෝධතාව ප්‍රකාශ කරන ලදී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මෙම අරගලයට තම නායකත්වය දෙන ලදී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පුළුල් වී අන්තර වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවක් ගොඩනගන ලදී. එහි ක්‍රියාකාරි දායකත්වයක් සිදුකලේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන්ය. මෙම සටන වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව අතරට ගෙන යෑමට බර කර ගැසුවේ ගාමිණී විජේගුණසේකර ලේකම්ධූරය දැරූ ජවිපෙ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයි. වෘත්තීය නායකත්වය සැපවූයේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ සහාය ඇතිව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මගිනි.  ලියුම්කරු 1984 සිට මෙම සටන වාර්තා කිරීමට ක්‍රියාකාරිව දායක වූ බැවින් සිදුවූ මුළු ක්‍රියාදාමය පැහැදිලිව දනී.

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව වෙද සිසු හඬ නමින් පුවත්පතක්ද පලකර තම මතය ජනතාව අතරට ගෙන යෑම ආරම්භ කරන ලද්දේ 1987 සැප්තැම්බර් මසදීය. රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 1987 ජුනි 27 වැනිදා මහා සභාවක් රැස්වී කලින් අප්‍රේල් 04වැනිදා ගත් තීරණ මහා සභාවේදී සම්මත කර ගත්හ. ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ කොළඹ සරසවිය අතර ඇති සම්බන්ධය ඉවත් කරගත යුතුය. පෞද්ගලික වෙද සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගවලට පෙනී නොසිටිය යුතුය. පෞද්ගලික වෛද්‍ය සිසුන්ට වෙනම උපාධියක් පිරිනැමිය යුතුය. එනම් ඔවුන්ට කොළඹ එම්.බී.බී.එස්. උපාධිය නොදිය යුතුය. සීමාවාසික පත්වීම් දීමේදී රජයේ වෛද්‍ය සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. මෙම ඉල්ලීම් හතරට 1987 ජුලි 31ට පෙර විසදුම් ලබාදිය යුතු බවද එසේ නොවුනහොත් වර්ජන තීරණයක් ගැනීමටද දින 14ක කාලයක් බලධාරින්ට ලබා දෙන ලදී.

රජයේ වෛද්‍ය සංගමයට එවැනි ඓතිහාසික තීරණයක් ගැනීමට හැකිවූයේ එහි ප්‍රධාන ලේකම් සුනිල් රත්නප්‍රිය ගේ මැදිහත්වීම මතය. එවකට ඔහු නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරියෙකි. වෛද්‍ය පියරිසි ඇතුළු කාරක සභිකයෝද තරුණ වෛද්‍යවරු බහුතරයද ඒ වෙනුවෙන් ක්‍රියාශීලී වූහ. එකල රත්නප්‍රිය කොල්ලුපිටිය මුහන්දිරම් මාවතේ නැවතී සිටි අතර බොහෝ සාකච්ඡා රාත්‍රී වන තෙක්ම පැවැත්වුණේ එහි මූලස්ථානය වූ කුරුදුවත්තේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තික මධ්‍යස්ථානයේදීය. සටනට එක්වූ වෛද්‍යවරුන්, සිසුන් සහ වෘත්තීය සමිතිවල සෑම සාකච්ඡාවකටම පාහේ ලියුම්කරුද එක්විය.

රජයේ දන්ත වෛද්‍ය නිලධාරි සංගමයද සටනේ මුල සිටම ඉදිරියෙන්ම සිටියේය. රාජිත සේනාරත්න පේරාදෙණිය සරසවියේ හිටපු සටන්කාමී ශිෂ්‍ය නායකයෙක් වූ අතර 1987වන විට   ‍ දන්ත වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් වසර 12ක් පමණ දන්ත වෛද්‍යවරුන්ගේ අයිතින් දිනා ගැනීමට මැදිහත් විය. එපමණක් නොව ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රජාත්‍රන්තවාදී කප්පාදුවන්ට එරෙහිව ජන අරගලයේ මුල් පෙලේ නියමුවෙකුද විය.  ඔහුගේ බිරිද සුජාතාද සමඟ වෛද්‍ය රාජිත එම දිනවල දවසම කැපකලේ එම සටන වෙනුවෙනි. ඔහු එවකට විජය කුමාරතුංගගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රබල සංවිධායකයෙකු විය. එම දිනයන්හි බොහෝ සවස් කාලයේ ඔහුගේ බොරැල්ලේ නොරිස් කැනල් නිවසේ වෛද්‍ය සටන් නායකයින් සමඟ ලියුම්කරුද රාත්‍රී කාලයේ ගතකල අතීතය සොදුරු මතකයන්ය.

පෞද්ගලික වෙද විදුහලට එරෙහිව කල සටනේදී සටන් කාමී කම්කරුවන්ගේ මැදිහත්වීම එයට නව ජවයක් සහ ආකර්ශනයක් සැපයීය. එහි සියළු බර කරට ගත්තේ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ගාමිණී විජේගුණසේකරය. වෛද්‍යවරුන් වූ ආචාර්ය බාහුගේ පක්ෂයේ සුනිල් රත්නප්‍රියද විජයගේ පක්ෂයේ රාජිතද සමඟ ජවිපෙ ගාමිණීව සම්බන්ධීකරණය කලේ ලියුම්කරුය. සෑම රෝහලක් ඉදිරිපිටම ප්‍රචාරක පෝස්ටර්ද උද්ඝෝෂණද සංවිධානය කිරීමේ  අදිසි හස්තය බවට ඒ අනුව ජවිපෙ පත්විය.

ගාමිණී විජේගුණසේකර කැලණියේ ජනසංන්නිවේදනය පිළිබදව ගෞරව උපාධිධාරියෙකු වූ අතර කුඩා කර්මාන්ත, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලක් සේවය කළේය. අසූවේ ජුලි වර්ජනයෙන් ඔහුගේ රැකියාව අහිමි විය. ඔහුගේ සරසවි සගයෙකු වූ ජේෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මගින් හඳුනා ගත්තේ 1985දීය. මාලිමා පුවත්පතේ සංස්කාරකයා වශයෙන්ද කටයුතු කල ගාමිණී රෝහණ විජේවීර ඝාතනයෙන් පසු 1989 දෙසැම්බර් මස ජවිපෙ දේශපාලන මණ්ඩලයටද පත්විය. දකුණු පළාත භාරව කටයුතු කළේය. පසුව අත්අඩංගුවට පත්ව ඝාතනය විය.

රජය සමඟ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පෞද්ගලික වෙද විදුහල පිළිබද තම ඉල්ලීම් ලබා ගැනීමට 1987 ජුලි 15වැනිදා සිට වැඩ වර්ජනයක් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළේය. එයට සහාය පල කරමින් රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයද 1987 ජුලි 16වැනිදා සිට වර්ජනයට එක්විය. සියළු වෛද්‍යවරු සේවය අතහැර ගියා සේ රජය නිවේදනය කළේය. ජුලි 17වැනිදා එම වර්ජනයට ගාල්ල, පේරාදෙණිය සහ කොළඹ  වෛද්‍ය පීඨයන්හි ආචාර්ය මණ්ඩලය සහාය පල කළහ. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 17ක් මෙහිදී සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ලෙස එකට පෙල ගැසිනි.

වෛද්‍ය වර්ජනය වෙනුවෙන් ඉදිරිපත්කල ඉල්ලීම් ප්‍රතිපත්තියක් ලෙස පිලිගැනීමටත් කැබිනට් අනුකමිටුවක් ඒ සඳහා පත්කිරීමට රජය තීරණය කල බැවින් වෛද්‍යවරු අඛණ්ඩව ගෙන ගිය වර්ජනය 1987 අගෝස්තු 11වැනිදා සේවයට වාර්තා කරන ලදී. ඒ සමඟම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර සිසුන් සමඟ පරික්ෂණයට එකට පෙනී නොසිටීමට කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් තීරණය කිරීමත් සමඟම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියළු කටයුතු ඇණ හිටිනි.

වෛද්‍ය පීඨයේ සිසුන් ශිෂ්‍ය සටන්වලට අවතීරණ කර ගැනීමට මුල් කාලයේ බොහෝ අසීරු කරුණක් විය. ඒ සඳහා අන්තරේ මැදිහත්වූ අතර වෙද සිසු වෙනුර එදිරිසිංහ ඒ වෙනුවෙන් නායකත්වය දුන්නේය. වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට වර්ජන සහ සටන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පැවරූ ඓතිහාසික දිනය වූයේ 1987 මැයි 21වැනිදාය. ඒ පිළිබද රැස්වීමක් වෛද්‍ය පීඨයේදී පැවත්වූ අතර අන්තරේ වෙනුවෙන් මොරටුවේ නිමල් බාලසූරිය, රුහුණේ නන්දන ගලප්පත්ති ඇතුළු කිහිප දෙනෙක් රැස්වීම ඇමතුවා ලියුම්කරුට මතකය.

අවසානයේ එදින කොළඹ වෛද්‍ය පීඨයේ විභාග වර්ජනය පිළිබදව රහස් ඡන්දයක් පවත්වන ලදී. එම අවස්ථාවේදී සිටි කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංඛ්‍යාව 749කි. ඉන් 399 දෙනෙක් වර්ජන තීරණ ගැනීමේ බලය මුළුමනින්ම කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට පැවරීමට කැමැත්ත පල කලහ. තව 222ක් එයට එරෙහිව ඡන්දය පරිහරණය කලහ. තවත් 124 දෙනෙක් කියා සිටියේ බහුතරයේ තීරණයට මුළුමනින් එකඟවන බැවින් ඡන්දය පරිහරණය කිරීමෙන් වැලකි සිටින බවය. අවසානයේ රාගම පෞද්ගලික වෛද්‍ය විදුහල ජනසතු කිරීමේ යෝධ අඩිතාලම බවට එම ඓතිහාසික තීන්දුව පත්විය. අරුණ මුණසිංහ, ක්‍රිෂාන්ත අබේසේකර ඇතුළු කිහිප දෙනෙක්ම වෙද සිසු ක්‍රියාකාරි කමිටුවේ ලේකම්වරුන් වශයෙන්  කැපවීමකින් කටයුතු කළේය.

වෙද විදුහල් සටන වෛද්‍ය විද්‍යාල කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ රැස්වීම් ලෙස කළුතර, කොළඹ, මීගමුව, මහනුවර, ගම්පහ, බදුල්ල, රත්නපුරය ඇතුළු ස්ථාන 13කදී විශාල පිරිස්වල සහභාගිත්වයෙන් පැවති අතර ලියුම්කරු එම රැස්වීම් ගණනාවකට සහභාගි විය. එම රැස්වීම්වල කථිකයින් වූයේ වෛද්‍ය රාජිත සේනාරත්න, කොමියුනිස්ට් පක්ෂයේ බදගිරියේ මේධානන්ද හිමි(දැන් උපැවැදිව බ්‍රිතාන්‍යයේ සංදේශය ගුවන් විදුලියේ උපාලි ගජනායක වේ), මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, ආචාර්ය විජේකෝන් ඇතුළු කිහිප දෙනෙකි.

සමස්ත ලංකා සරසවි සිසු දෙමාපිය සංගමයද වෙද සිසු සටනට සහාය පලකරමින් දිස්ත්‍රික්කයන් ගණනාවක උද්ඝෝෂණ කටයුතු සංවිධානය කෙරිණි. මොරටු සරසවියේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය නායකයෙක් වූ අශෝකගේ පියාවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හැරී අබේගුණවර්ධන එහි සභාපතිවරයා විය. ප්‍රධාන ලේකම්වරයා වූයේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු අරුණගේ පියාවන කරවනැල්ල විදුහලේ විදුහල්පති එස්.බී. ජයසේකරය. භීෂණ සමයේදී සංගමයේ ලේකම් ජයසේකර 1990 අප්‍රේල් මස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා ලදී. ඔහුගේ බැද්දගානේ නිවස එකල බොහෝ දෙනා අතර සිත් ගත් ස්ථානයකි.

මෙම අරගලයට ක්‍රියාකාරිව මැදිහත් වූ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය සිසුන් ගණනාවක් එජාප ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් මගින් පසු කාලයේ ඝාතනය කරන ලදී. එයට කොළඹ වෙද සිසුන් වන වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක වේ. පේරාදෙණිය වෙද සිසුන් වන රංජිත් වීරසිංහ, ජයශ්‍රී උපාලි ජයසේකර, දේවප්‍රිය සිසිර කුමාර, ජයනන්දන ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර වේ. එල්.බී.එන් කොස්තා ඇතුළු වෙද සිසුන් 53ක් අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්, දිවි බේරා ගැනීමට විදේශ රටවලට සංක්‍රමණයවීමට සිදුවීම ඇතුළු තාඩන පීඩනවලට ලක්විය.

අවසානයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අවි අමෝරාගත් සටන නිමා වූයේ එය කැළණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි.

ජවිපෙ 1987 අවසානයේ සිදුකල දැවැන්ත පක්ෂ ප්‍රතිසංවිධානයත් සමඟම ජවිපෙ ක්‍රියාකාරිත්වයේ සීඝ්‍ර ඉහල යෑමක් දක්නට හැකිවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ඔක්තෝබර් 20 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ටත් මව්බිම පාවාදුන් සියළු දෝහින්ටත් එරෙහිවි දේශප්‍රේමී සංග්‍රාමයක් අරඹා ඇති බව ක්‍රියා සිටියේය.

එජාප සභාපති හර්ෂ අබේවර්ධන ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා 1987 අවසානයේදී ඝාතනය කල අතර එජාප ආණ්ඩුවට එරෙහිව රට පුරා ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සරසවි සහ පාසල් කේන්ද්‍ර කරගෙන ඇරඹීය.

ජවිපෙ කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට එජාප ආණ්ඩුව දරදඩු මර්දන පියවරක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙ යැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින් සහ හිතවතුන්ට බිය වැද්දීම්, බෝම්බ  ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම ඇරඹිණි. මින් බහුතරයක් සිදු කළේ විවිධ සංවිධානාත්මක ඝාතක කණ්ඩායම් මගිනි. මෙම අතුරුදහන් වීම් සහ පැහැර ගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී.

අදාළ කමිටු සම්බන්ධීකරණය කිරීම සහ වැඩකටයුතු ක්‍රියාවට නැගීම සඳහා එම ප්‍රදේශවල සරසවි වල ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් අනුගත කර තිබිණි. කොළඹ දිස්ත්‍රික්කයේ කමිටුව සම්බන්ධීකරණය කළේ ජයවර්ධනපුර සරසවියේ නන්දසිරි, ප්‍රීතිමාල් ගල්කිස්සේ චන්දිම හිමි, කළුතර අනුර අදිකාරම් වැනි අයයි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සම ලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ලියුම්කරු එහි සංවිධායක විය.

දෙසතියකට වරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ. මින් බොහෝ දෙනෙකු ඝාතනයට ලක්වූ අතර සෙසු අය විදේශ රටවල රැකවරණය පැතූහ. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර 1989 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යයේ දේශපාල රැකවරණ ලැබූ අතර එහිදී පුරවැසි කමිටුවට එක්වී සිටි 12 දෙනෙකුගේ පමණ ලේඛනයක් ඇමනස්ටි ජාත්‍යන්තරයට ඉදිරිපත් කල අතර ඒ අනුව අදාළ පුද්ගලයින්ට ඕනෑම මොහොතක දේශපාලන සරණාගතයින් ලෙස සංක්‍රමණය වීමේ පහසුකමද උදා විය.

මානව හිමිකම් කඩවීම පිළිබදව ප්‍රචලිතව කථා කළේ දිවයින පුවත්පතයි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර සිටම එය සිංහල ජාතිකවාදය වෙනුවෙන් නිර්භයව එදා පෙනී සිටියහ. දිවයින පුවත්පතේ  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩමුළුවක් 1987 නොවැම්බර් 30 වැනිදා කොල්ලුපිටියේ රන්මුතු හෝටලේදී පැවැත්විණි.  සියක් පමණ සහභාගිවු එම වැඩමුළුව උදෑසන 9.25ට ආරම්භ වී 4.40ට නිමාවට පත්විය. දයාසේන ගුණසිංහ, දයාරත්න රණසිංහ, උපාලි තෙන්නකෝන්, දේශප්‍රිය දිසානායක එහි දේශකයින් විය.

වැඩමුළුව නිමාවෙන් පසු දේශකයින් සහ ලියුම්කරු ඇතුළු 10දෙනෙක් පමණ ප්‍රධාන කර්තෘ එඩ්මන් රණසිංහගේ ආරාධනයෙන් එන්.සී.සී ක්‍රීඩාංගනයේදී සුහද හමුවක්ද පවත්වන ලදී. එය නිමාවී රාත්‍රී දිවයින ප්‍රධාන කර්තෘ කඩුවෙල රණාල සිය නිවසට වාහනයෙන් බැස යද්දී ඔහුට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. වසර 1952දී මාධ්‍ය දිවියට ඇතුල්වූ ඔහු දිවි බේරා ගත්තේ අනූ නමයෙනි. දුරකථනයෙන් පසුව ඇමතූ පුද්ගලයෙකු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු රටේ ඇතිවී ඇති තත්ත්වය වාර්තා නොකරන මෙන් තර්ජනාත්මකව කියා සිටියේය.

මෙම ප්‍රහාරය පිළිබඳ චෝදනාව එල්ල වූයේ එජාප ආණ්ඩුවේ ඇමති පෝල් පෙරේරාගේ සමීප මැරයෙකුටය. මසකට පසුව එම පුද්ගලයා බොරැල්ලේ කාසල් රෝහල ඉදිරිපිට යතුරු පැදියක යමින් සිටියදී ඝාතනයට ලක්වූ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔහුට අදාල චෝදනාවද සදහන් කර එහි වගකීමද භාරගෙන තිබිණි.

පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් පහත නිතිඥයින් හරහා හබයා කෝපුස් නඩු උසාවියට විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1987 ජුලි 27 වැනිදා සිට 1989 මාර්තු 15වැනිදා දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ නඩු සංඛ්‍යාව 661කි. මින් සියයට 95ක් ඉදිරිපත් කර තිබුණේ එම නීතිඥයින්ය. ඉන් බහුතරයක්ම ජවිපෙ සාමාජිකයින් නොවූහ.

භීෂණ සමයේදී නීතිඥ විජයදාස ලියනාරච්චි 1988 අගෝස්තු 25වැනිදා කොළඹ අළුත්කඩේ උසාවිය අසලදී පැහැර ගත් අතර පසුව මළ සිරුර 1988 සැප්තැම්බර් 03 වැනිදා කොළඹ ජාතික රෝහලේදී හමුවිය. ජවිපෙ ඉහල පෙලේ නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

නීතිඥ චරිත ලංකාපුර ඇල්පිටිය ආනන්ද විදුහලෙන් සහ කොළඹ නීති පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. කොම්පඤ්ඤවීදියේ ග්ලැඩිවින් ලේන්හි නවාතැනේදී 1989 ජුලි 07වැනිදා පස්වරු 2.00ට ඝාතනය කරන ලදී. මිය යන විට ඔහුගේ බිරිඳ චිත්‍රා ගැබිනි මවක් වූ අතර වර්තමානයේ එම දියණිය වන හංසිකා අගනුවරට ආසන්න සරසවියක විද්‍යා උපාධි අපේක්ෂිකාවකි.

නීතිඥ ලංකාපුර ඝාතනයෙන් පසු 1989 ජුලි 08වැනිදා අවසන් ගෞරවය සඳහා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගෙනවිත් තබන ලදී. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ අරමුණ වූයේ වෙද සිසු ත්‍රීමා විතාන ඝාතනය මෙන් සංවිධානාත්මක සහ දැවැන්තව එම ආදාහන කටයුතු සිදුකිරීමය. ලියුම්කරු එදින දවස පුරාම වෛද්‍ය විද්‍යාලයේ ගත කල අතර වෛද්‍ය විද්‍යාලයම දිස් වූයේ සටන් කඳවුරක් ලෙසිනි. දෙපසම ගේට්ටු බංකු සහ යකඩ බට යොදා අවහිර කර තිබූ අතර ආදානයට ගෞරව දැක්වීම සඳහා එක් පෝලිමක් පමණක් පෙලගස්වා තිබිණි. එය සැතපුමක් පමණ දිගය.

එදින පැමිණෙන හිතවතුන්ට දිවා ආහාරය  ලොකු කල්දේරම්වල පිසුවේ වෛද්‍ය සිසුවියන් විසිනි. ලියුම්කරුත්, නීතිඥ කාංචන අබේපාලත් ආපන ශාලාවේදී අන් අය සමඟ දිවා ආහාරය ලබා ගන්නා ලදී. වෙද සිසු සරත් කොල්ලුරේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් පිරිස මෙහෙයවමින් සිටියේය. අන්තරේ හිටපු කැඳවුම්කරු සහ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෙද සිසු වෙනුර එදිරිසිංහ සංවිධාන සැලසුම් සකස් කළේය.

හරියටම එදින එනම් 1989 ජුලි 08වැනිදා පස්වරු 2.10ට ආරක්ෂක හමුදා වෛද්‍ය විද්‍යාලයට කඩා වැදී විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් නීතිඥ ලංකාපුරගේ දේහය මහ පාරේ අවමංගල්‍ය රථයකට ඇතුල් කළේය. එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක් අධිකාරිද නීතිඥ අබේපාල සහ ලියුම්කරුද ඒ පිළිබදව විමසීමේදී පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ට දේහය භාරදීමට කටයුතු කල බව ඔවුහු පැවසූහ. නීතිඥ ලංකාපුරගේ බිරිඳ සහ සොහොයුරෙකුද ඔවුහු හඳුන්වා දුන්හ. අනතුරුව දේහය හෙලිකොප්ටරයක් මගින් ඇල්පිටියට ගෙන ගිය බවට වාර්තා විය.

නීතිඥ කාංචන අබේපාල 1989 අගෝස්තු 28වැනිදා පස්වරුවේදී ඝාතනය කළේ නාරහේන්පිට ඇන්ඩසන් තට්ටු නිවාසයේදීය. ඔහුගේ පියා ගුරුවරයෙකු මෙන්ම පානදුර අළුබෝමුල්ලේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර මව මාග්‍රට් ගුණසේකර වූ අතර ඇයගේ  සොහොයුරා වූයේ අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරය. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලත් කාංචන උපන්නේ 1961 ඔක්තෝබර් 18වැනිදාය. සිය පියා සභාපතීත්වය දැරූ ජාතික පරිසර සංගමයේ ක්‍රියාකාරි නියමුවෙකු වූ කාංචන සමඟ ලියුම්කරුද වරෙක කෙන්යාවේ පැවති පරිසර සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. සර්වෝදය නීති ආධාර සේවයේ ක්‍රියාකාරිකයෙකු වූ නිතිඥ කාංචන වෙනුවෙන් වාර්ෂික සැමරුම් උත්සව කිහිපයක්ද පැවැත්විණි.

ගම්පහ නීතිඥ නෙවිල් නිශ්ශංක 1989 ඔක්තෝබර් 03වැනිදා පැහැරගෙන ඝාතනය කරන ලදී. නීතිඥයින් වන ලංකාපුර, අබේපාල, නිශ්ශංක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ප්‍රා නැමති ඝාතක සංවිධානය තුළ ක්‍රියාකාරි වූ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ  සාමාජිකයින්ටය.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රවීණ ලේඛක එච්. ඊ දයානන්ද සුවිශේෂිත වැඩ කොටසක් කළේය. ජවිපෙ ඉහළ නායකත්වය සමඟ සබදතා පැවැත්වූ ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. පුරහල බැංකුවේ සේවය කළේය. දිවයින පුවත්පතට වමේ කථාව නමින් ලිපි පෙලක් ලියුවේ ඔහුය. එමගින් සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ නායකයින් ඉතිහාසයේ ආරම්භයේ සිට මේ දක්වා කරන ලද පාවාදීම් අවධාරණය කර තිබිණි. එකල දිවයිනේ බදාදා අතිරේකයේ අතිශයින් ජනප්‍රිය වූයේ නීතිඥ උභය වීරසිංහගේ නීතිය දෙස පියවි ඇසින්, ආචාර්ය සූරිය ගුණසේකරගේ ලන්ඩන් ගිය බණ්ඩා සහ දයානන්දගේ වමේ කථාව ලිපි පෙලය.

සරසවිවල ස්වයං නිර්ණ අයිතිය පිළිබඳව පැවති ප්‍රසිද්ධි සම්මන්ත්‍රණවලදී  ජවිපෙ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සහ පසුව මධ්‍යම කමිටු සභිකයෙකු වූ පී. තංගරාජා සමඟ එක්ව එම මතවාදයන් ප්‍රසිද්ධ වේදිකාවන්හිදී පරාජය කළේ ලේඛක එච්. ඊ දයානන්දය. මාතර ප්‍රදේශයේ උපන් දයානන්ද දරුවන් 5දෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවා විය. විද්දෝදය සරසවියෙන් අධ්‍යාපනය ලැබීය. ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරියෙකි.

දයානන්ද ඝාතනය වූයේ 1988 දෙසැම්බර් 02වැනිදා කොම්පඤ්ඤවීදියේ මාර්ක් ෆේඩ් ඉන්ධන පිරවුම්හලට ඔහු ගමන්ගත් වාහනයට තෙල් ගැසීමට පැමිණ සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලදී. එදින කලින් සේවය නිමවා ඔහු නිවස බලා නික්ම යන්නට සූදානම් වූයේ කුළුඳුල් දරුවා ප්‍රසූත කල බවට ලැබුණ දැනුම්දීම හේතුවෙනි. දයානන්දගේ ආදාහන කටයුතු ගම්පොල කුරුදුවත්තේදී සිදුකල අතර ගෝතමී විහාරාධිපති සහ මහ බෝධියේ නියෝජ්‍ය විදුහල්පති පොල්වත්තේ නාගිත හිමි සමඟ ලියුම්කරුද එයට එක්වී සිටි විශාල පිරිස අතර වූහ.

කීර්තිධර මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කළේ රාජගිරිය වැලිකඩ වත්තේ 1990 පෙබරවාරි 18වැනිදා උදෑසන 3.30ට පැහැර ගැනීමෙන් පසුවය. ඔහුගේ සිරුර හමු වූයේ මොරටුව කොරලවැල්ලේ මුහුදු වෙරළෙනි. ඔහුගේ නිවස පිහිටි ස්ථානය අසා  ගත්තේ කෙනත් හොන්ටර් ගෙනි. කෙනත් මේ බව අර්ජුන රණවකට දැන්වූ අතර සිද්ධිය ගැන සැක සිතා අර්ජුන ඒ පිළිබඳව ජේෂ්ඨ පොලිස් අධිකාරි හෙන්රි පෙරේරාටද දක්වා තිබිණි. චෝදනාව එල්ල වූයේ එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසටය. ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයක් වන ඉන්ටර් ප්‍රෙස් සර්විස් ආයතනයේ කොළඹ භාරව සිටියේය. ජවිපෙ නායකත්වය ඇසුරු කරමින් එජාප ආණ්ඩුව මගින් සිදු කරන මානව හිමිකම් කඩ කිරීම පිළිබදව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කළේය.

රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමට ආසන්නම හේතුව වූයේ ජවිපෙට හිතවත්ව සිටීමය. ඔහුගේ කොල්ලුපිටියේ නිවසේදී ආණ්ඩුව සහ ජවිපෙ අත්සන් කල ගිවිසුම පිළිබදව එම නාටකයේ ප්‍රධාන නළුවා වූ කේ. සී. සේනානායක නොහොත් චන්ද්‍රසිරි සමඟ 1988 මැයි 10වැනිදා ජවිපෙට පක්ෂව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබිණි. එමෙන්ම අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කරු වෙනුර එදිරිසිංහ 1989 සැප්තැම්බර් 21වැනිදා පැහැර ගෙන ගොස් ඝාතනය කළේද රිචඩ් ද සොයිසාගේ නිවස ඇතුළේ සිට පැමිණෙමින් සිටියදීය.

එමෙන්ම ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජයබාහු 1989 දෙසැම්බර් 27වැනිදා නාවල කොස්වත්තේදී ජේෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක විසින් අත්අඩංගුවට ගත් අතර එම නිවස ඔහුට සොයා දී තිබුණේ රිචඩ් ද සොයිසා විසිනි. එම නිවස අයත් වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දුටය. සමන් පියසිරි සමඟ එම නිවසේ සිටියදී ඔහුගේ හිතවතියෙකු වූ ජවිපෙ හිටපු දේශපාලන සභික දයා වන්නිආරච්චිගේ නැගණියද ඇයගේ මවද අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව සමන් පියසිරි 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට ලක්වී තිබිණි.

මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරකවරයා වූ ගැමුණු යසස් සෙනෙවිරත්න 1989 දෙසැම්බර් 10වැනිදා බොරැල්ල කොටා රෝඩ්හි ටර්නර් පාරේ නිවසක නැවතී උදෑසන පිටවී යන විට පැහැර ගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය. නිති විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර ඔහුගේ පියා ගාල්ල වක්වැල්ලේ පදිංචි ප්‍රකට නොතාරිස්වරයෙකි. පවුලේ එකම පිරිම දරුවා වූ ඔහුට සහෝදරයින් තිදෙනෙකි. රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නේවාසිකාගාරයේ ඔහු නැවතී සිටියේය. විවේකී අවස්ථාවන්හි ඔහුගේ ගිටාරයෙන් සී.ටී. ප්‍රනාන්දුගේ ගීත වාදනය කල අන්දම ලියුම්කරුට තවමත් මතකය.

බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරි වැඩවලට ආචාර්ය හේමා ගුණතිලක සහ ආචාර්ය සුසන්ත ගුණතිලකගේ ආශීර්වාදය හිමි විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය අතර ජෝසප් ප්‍රෙෂරි මාවතේ ඔවුන්ගේ නිවසේදී බොහෝ විට එහි ක්‍රියාකාරියන් දැකගන්නට හැකි විය. සිංහල බෞද්ධ ජාතික මතවාදය තහවුරු කිරීම සඳහා ඔවුහු කටයුතු කළේය.

මානව හිමිකම් ක්‍රියාකාරි ක්ෂේත්‍රයෙත් නීතිඥ සරත් කරලියද්ද ඉමහත් සේවයක් ඉටු කල අතර නුවර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සංවිධායක විය. 1989 ඔක්තෝබර් 26 පස්වරුවේ පැහැරගත් අතර පසුවදා උදෑසන ඔහුගේ දේහය ප්‍රධාන මාර්ගයේ දමා තිබිණි. රතු මකරු නම් ඝාතක කණ්ඩායම එහි වගකීම භාර ගත්තේය. නුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කඩවීම් රැසක් පිළිබඳව ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. මොහුගේ ලිපිකරු වූ සේන රන්කොත්ගේද ඝාතනයට ලක්විය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරිව දායක වූ නීතිඥයින් වූ ඒ.බී අත්තනායක, මීගමුවේ රෝහිත බුලත්වැව, ධර්මදාස ගෝමස්, රංජිත් පනාමුල්ල, බැටී වීරකෝන්, නුවර ජයතිලක, ගම්පහ සී කොතලාවල, මෙතුවන් සමරසිංහ, මාතර විජේවික්‍රම ඇතුළු නීතිඥයින් කිහිපදෙනෙක්ම තර්ජනය කිරීම් සහ පැහැරගැනීම් වලට ලක්විය. මෙම බොහෝ නීතිඥයින් ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීම ඉවහල් විය

කොටි ත්‍රස්තවාදයට සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි නැගුණු දැවැන්ත විරෝධය රට තුල ඇති වුණේ අසූව දශකයේ මැද භාගයේ සිටය. එවැනි දැවැන්ත විරෝධයක් තුළින් ආණ්ඩුව පලවා හැරීමේ හැකියාවක් ඇතැයිද ඒ අනුව කෙටි කලකදී ජයග්‍රහණයක් අත ලඟය යන හැගීමක් ජවිපෙ මගින් ඇතිකර තිබිණි. මේ නිසා සෑම කේෂේත්‍රයකම ක්‍රියාකාරිත්වය හැකිතාක් වර්ධනය කිරීමට  සියළු ප්‍රයත්නයන් ගනු ලැබීය.

ජවිපෙ සංවිධාන ව්‍යුහය දේශපාලන මණ්ඩලයේ සෘජු මෙහෙයවීම යටතේ කලාපීය, ක්ෂේත්‍ර සහ පෙරමුණු යනුවෙන් ප්‍රධාන අංශ 03කට බෙදා තිබිනි. කලාපීය අංශය සදහා කලාපීය කමිටුද, ක්ෂේත්‍ර සහ පෙරමුණු සදහා ජාතික කමිටු වශයෙන් කමිටු වර්ග දෙකක් තිබිණි. කලාපයන් දිස්ත්‍රික්ක වලටද දිස්ත්‍රික්ක ප්‍රදේශිකවලටද ආදී වශයෙන් බෙදා තිබූ අතර ප්‍රදේශ කමිටුවල සිට ඉහළට ක්ෂේත්‍ර සහ පෙරමුණු අංශ නියෝජනය විය.

රට කලාප 5කට බෙදා තිබූ අතර ඌව, නැගෙනහිර සෑම කලාප කමිටුවකට දේශපාලන ලේකම්වරයෙක්ද, යුධ ලේකම්වරයෙක්ද විය. ක්ෂේත්‍ර අංශය කොටස් 04කින් සමන්විත වූ අතර  එය අධ්‍යාපන, මුදල්, ප්‍රචාරක සහ සන්නද්ධ යනුවෙනි. පෙරමුණු සංවිධාන වූයේ කම්කරු, ශිෂ්‍ය, තරුණ, කාන්තා, භික්ෂු වේ. ඉන් භික්ෂු පෙරමුණ මෙන්ම ශිෂ්‍ය කාන්තා අංශභාර වුයේ ඩී.එම්. ආනන්දටය. ඔහු බස්නාහිර සබරගමු කලාපයේ දේශපාලන ලේකම්වරයාද විය. එමෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රය වැනි සුවිශේෂිත අංශ සඳහා විශේෂ වැඩසටහන් ද ඒ යටතේ විය.

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයට පසු වඩාත්ම ක්‍රියාකාරි වුයේ සමාජවාදී භික්ෂු සංගමයයි. අරගලය ව්‍යාප්ත වන විට සමාජවාදී භික්ෂු සංගමය නමින් උද්ඝෝෂණය මෙහෙයවීම පටු ස්වභාවයක් ගැනීම සහ තම ක්‍රියාකාරිකයින් ආරක්ෂක අංශවලට හෙළිදරවිවීම සිදුවන හෙයින් භික්ෂූන් වැඩි දෙනෙකුට එකඟවිය හැකි සංවිධාන ජවිපෙ මගින් පිහිටුවනු ලැබීය. ඒවා අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශප්‍රේමි භික්ෂු සංවිධානය සහ මානව හිතවාදී භික්ෂු සංගමය වේ. මේවායේ එළිපිට පෙනෙන නාමික නායකයින් සහ එය සැබවින්ම මෙහෙයවන අදිසි නායකයින් යනුවෙන් දෙවර්ගයකි.

විරෝධය පැමේ අරගලවලදී භික්ෂූන්ගේ අධිකාරි බලය ඈත අතීතයේ සිට ලාංකේය ඉතිහාසයේ වැදගත් සාධකයක් වූයේය. කැරලිකාර කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීමේදී භික්ෂූන්ට විශේෂ උපක්‍රමශීලී සහ සංවිධානාත්මක වාසියක් තිබිණි. සියළු කොටස් පුබුදු කිරීමේ සහ මෙහෙයවීමේ අවස්ථා භික්ෂූන්ට තිබිණි. සමාජයේ ජීවත් වූ භික්ෂූන් එක්තරා ආකාරයෙන් “වෘත්තීයමය  බුද්ධිමතුන්” පන්තියක් බවටද පත්ව සිටියහ.

ලන්දේසි පාලන සමයේ දී පමණක් නොව  බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන පෙලඹීම සඳහා සිදුවූ කැරලි සහ කුමන්ත්‍රණ වලදී ඒවායේ ක්‍රියාශිලී නියෝජිතයෝ වූයේද භික්ෂූන්හ. වසර 1818 කැරැල්ලේ ප්‍රධාන වැඩ කොටසක් ඉටුකල ඉහගම රතනපාල හිමි කැරැල්ලේදී තම සිවුරු ඉවත දමා අවි අමෝරා ගෙන විශාල පිරිසකගේ පෙරමුණ ගත්තේය. ජවිපෙ 71 කැරැල්ලේදී සහ 86-90 ධවල භීෂණයේදීද එය සිදුවිය. ඔවුහු සමාජවාදී භික්ෂු සංගමය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ දේශප්‍රේමි භික්ෂු සංවිධානයේ සාමාජිකයින් හෝ හිතවතුන් විය.

මානව හිතවාදී භික්ෂු සංවිධානය මූලික වශයෙන් සිදු කලේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි වීම සහ සමාජ පරිවර්තනයක් ඉල්ලා සිටිමින් සංස්කෘතික ක්ෂේත්‍රයේ පෙරටුගාමියෙකු මෙන් කටයුතු කිරීමය. එය ඇරඹුණේ 1983 කළු ජූලියෙන් ජවිපෙ තහනමට පත්වීමත් සමඟය. ප්‍රථම රැස්වීම පැවැත්වූයේ පිළියන්දල පුවක්දණ්ඩාව විහාරයේදීය. මාර්ග ආයතනයේ සභාපති ගෝඩිෆ්‍රි ගුණතිලකද එයට සහභාගි විය.

අසූව දශකයේ මුල් භාගයේ මර්ජ්, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය ඇතුළු බොහෝ මානව හිමිකම් සංවිධාන කතෝලික ව්‍යාපාරයේ අනුග්‍රහය සහ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක විය. එමෙන්ම කතෝලික ව්‍යාපාරයේ නිල සහ නිල නොවන අනුග්‍රහය යටතේ විවිධ සංවිධාන මගින් මාවත, විවරණ, යුක්තිය, තරණය, අත්වැල, ප්‍රජාතන්ත්‍රීය, විකල්ප, සංවාද, නිදහස, ඇමතුම, ජන හඬ, සාධාරණය, ශක්ති යනුවෙන් සඟරා සහ පත්‍රිකා මාසිකව නිකුත් කෙරිණි. ඩෙස්මන් ප්‍රනාන්දු සහ සූරියා වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ප්‍රජා අයිතිවාසිකම් පෙරමුණ පමණක් යම් තරමින් ස්වාධීන විය.

මානව හිතවාදී භික්ෂු සංවිධානය පිහිටුවීමේ ජවිපෙ අරමුණ වූයේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිවීම සහ මාසික ප්‍රකාශයක් වූ විනිවිද සඟරාව මගින් ජනතාව අතර සංවාදයක් ඇති කිරීමය. එම ක්ෂේත්‍රය තුළ කතෝලික ව්‍යාපාරයේ සංවිධාන වලට විකල්පයක් වීමය. මෙහි පුරෝගාමී නියමුවන් වූයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, මණ්ඩාවල පඤ්ඤානන්ද හිමි, පිටුවල ධම්මකීර්ති හිමි, බුද්ධියාගම චන්ද්‍රරත්න හිමි, භාතිගම්මන උත්තරානන්ද හිමි ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකි. ජවිපෙ වෙනුවෙන් සංවිධානය මෙහෙය වූයේ හික්කඩුවේ ගුණසිරි හිමිය. ඔහුට සහාය වූයේ දික්වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි.

මානව හිතවාදී භික්ෂු සංවිධානයේ නාමික මූලස්ථාන ලෙස මුල් කාලයේ පිහිටා තිබුණේ රාජගිරියේ බණ්ඩාරනායකපුර සහ නාරාහේන්පිට ශ්‍රී මහා  බෝධි විහාරයේයි. පසු කාලයේ එය කොළඹ 08 ගෝතමී විහාරයේ ස්ථාපිත විය. ජගත් කීර්තිධර ජෝජ් කිට්ගේ බිතු සිතුවම් හේතුවෙන් සුප්‍රකට ගෝතමී විහාරයේ විහාරාධිපති වුයේ මරදාන මහා බෝධි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි පොල්වත්තේ නාභිත හිමියන්ය.

මානව හිතවාදී භික්ෂු සංවිධානයට ප්‍රථම වරට රුපියල් ලක්ෂ දෙකක ආධාර මුදලක් මාර්ග ආයතනයේ මැදිහත් වීමෙන් ලෝ ඒෂියා ආයතනයෙන් ලැබිණි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ රෙඩ්බානා ආයතනයේ අනුග්‍රහයෙන් එහි භික්ෂූන් පිරිසක් තායිලන්තයේ සති තුනක පුහුණු වැඩසටහනකට 1985දී සහභාගී වූහ. සිංහල බෞද්ධ බලවේග සමඟ වැඩකල ආචාර්ය හේමා සහ සුසන්ත ගුණතිලක යුවල පසු කාලයේදී සංවිධානය දිරිගන්වනු ලැබීය.

කලකට පසු එහි ක්‍රියාකාරියෙකු වූ කරඹේ ගුණානන්ද හිමි උපැවිදි වී මර්ජ් ආයතනය මගින් ප්‍රකාශිත යුක්තිය පුවත්පතට සම්බන්ධ විය. කරුවලගස්වැව විජයාරාම විහාරයේ බුද්ධියාගම චන්දරත්න හිමි මෙම සංවිධානයේ සිටියදීම තිස්ස බාලසූරිය සහ යොහාන් දේවානන්ද පියතුමාලා සමඟ සමීප සබඳතා පැවැත්වූ හෙයින් එම හිමියන් සමඟ සංවිධානය වැඩවලින් බැහැර කරන ලදී.

මෙම සංවිධානය මගින් ප්‍රකාශිත විනිවිද සඟරාව 1987/88 යන කාලයේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සඟරාව විය. එක් සඟරාවකින් අළෙවි වූ පිටපත් සංඛ්‍යාව 62,000ක් වූ අවස්ථාද විය. සංස්කරණය සදහා සහායට සමුනි සමරකෝන් ඇතුළු කිහිප දෙනෙකුම එක්වී සිටියහ. රට පුරා සිදුවන මානව හිමිකම් කඩවීම් සහ විශේෂයෙන් භික්ෂූන් අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන්වීම් සහ ඝාතනය වීම් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩපිලිවෙලද ක්‍රියාත්මක කළේ එබැවිනි.

සංස්කෘතික ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරි නියමුවෙකු වූ මහානාම මෙම භික්ෂු සංවිධානයට සිටි ලොකුම න්‍යායචාරවරයා විය. උපැවිදි ශූර කථිකත්වයක් තිබූ අයෙකු වූ ඔහු මාක්ස්වාදය සහ ජාතිකවාදය පිළිබදව මෙහි හිතවතුන් සමඟ සංවාදවල නිරත විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිකායන් 03කි. එම නිකායන් යටතේ ක්‍රියාත්මක වන පිළිගත් පාර්ශවයන් සංඛ්‍යාව 32කි. අසූව දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ පන්සල් 8,582ක් තිබූ අතර සිටි උපසම්පදා භික්ෂූන් සංඛ්‍යාව 14,681කි. සාමණේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. ඉන්දු ලංකා ගිවිසුමට සහ ඉන්දීය හමුදාව පැමිණීමට බහුතර භික්ෂූන් වහන්සේලාම  එරෙහි වී තිබිණි. ඔවුන් මතවාදිව හැඩගැස්වීමෙහිලා මානව හිතවාදී භික්ෂු සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේය.

එමෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයේ විවිධ තලයන්හිදී සුවිශේෂ කාර්යභාරයක් කෝ ආනන්ද හිමි සහ මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි විසින් ඉටු කරන ලදී. ආචාර්ය විලේගොඩ හිමි ජාතික මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා මව්බිම සුරකීමේ ව්‍යාපාරය ඇතුළු විවිධ බහුජන ව්‍යාපාරවලට එක්ව සිටියහ. මානව අයිතීන් රැකගනිමින් සහ ජාතික සමගිය ඇතිකර ගනිමින්ද බෞද්ධ උරුමය සහ දර්ශනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් මගින් සමාජ පරිවර්තනයක් ඇතිවිය යුතු බව මානව හිතවාදී භික්ෂු සංවිධානයේ දැක්ම විය.

විනිවිද සඟරාවේ කලක් සම සංස්කාරකවරයා වූ කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් භීෂණය හේතුවෙන් ප්‍රංශයට පිටුවහල් විය. එසේම මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද දැන් වැඩ වසනුයේ  එක්සත් ජනපදයේය.

රටට රහසක් වූ ජවිපෙ වැඩ කලාව තුළ මානව හිතවාදී භික්ෂු සංවිධානය තීරණාත්මක වැඩ කොටසක් කළේය. සාධාරණය සහ අසාධාරණය අතර මැදක් නොමැති බව එම සංවිධානයේ සඟරාව වූ විනිවිද නිරතුරුවම කියා පෑවේය. ජවිපෙ අරගලයට ආශ්වාදය එමගින් සැපයිනි. එය වැදගත් වූයේ තව තවත් ජනයා අරගලය වෙත ආකර්ෂණය කර ගැනීමට අතවශ්‍ය වූ බැවිනි. ආශ්වාදය තුල පැමිණෙන අධ්‍යාපනික වැඩපිළිවෙළක් තුළ පක්ෂයට සහ අරගලයට හරවා ගැනීමේ ක්‍රියාවලියක්ද ඒ හා සමාන්තරව දියත් විය.

සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ පිටුවල ධම්මකීර්ති හිමි ප්‍රචලිත වූයේ ලෙනින් හාමුදුරුවෝ නමිනි. අසූවේ ජුලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ උපාධිධාරියෙකු වූ උන් වහන්සේ 1989 අගෝස්තු 29වැනිදා කෑගල්ලේදී පැහැර ගෙන ගොස් තිරශ්චීන ලෙස ඝාතනයට ලක්විය.  ආරක්ෂක හමුදා ගෝතමී විහාරයට 1988 සැප්තැම්බර් 07වැනිදා පැමිණ එම සංවිධානයට අයත් සියලු ලේඛන සහ බඩු බාහිර ආදිය අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී භික්ෂූන් 08 දෙනෙකුද අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසු නිදහස් කරන ලදී.

මානව හිතවාදී භික්ෂු සංවිධානය එම දැඩි මර්දනකාරී තත්ත්වයන් යටතේ 1990 ඔක්තෝබර් මස දක්වා රට පුරා විවිධ තැන්වල ස්ථාන ගත වෙමින් ක්‍රියාකාරි වූහ. මානව හිමිකම් කඩවීම පිළිබඳ වාර්තා, ඡායාරූප සහ දත්තයන්  දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධානවලට එමගින් දෛනිකව යොමු කරන ලදී. එසේම අත්අඩංගුවට ගත් අයගේ අයිතීන් වෙනුවෙන් හබයා කෝපුස් පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා නිතිඥයින් ඉදිරිපත් කළේය.

එහි සම්බන්ධීකාරක වූ එගොඩබැද්දේ ගුණසිරි හිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. වසර 1988 පෙබරවාරි 05වැනිදා අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා ගන්නා ලදි. වරෙක කොළඹ සරසවියේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විසින් 1987 මුල් භාගයේදි ගුණසිරි හිමියන් ප්‍රාණ ඇපයට ගෙන අමානුෂික පහරදීමක්ද සිදුකරන ලදී.

හික්කඩුවේ ගුණසිරි හිමියෝ නිරතුරුව ලියුම්කරුට මාධ්‍ය ආයතනයේදී සහ ගෝතමී විහාරයේ හමුවී තිබිණි. හදිසියේම ලියුම්කරුට එම ගුණසිරි හිමියෝ හමු වූයේ 1989 ඔක්තෝබර් 23වැනිදා කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගතවීමට නියමිතව තිබූ තායි ගුවන් සේවයට අයත් යානයකදීය. ලියුම්කරු තායිලන්තයට ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමුළුවකට සහභාගිවීම සඳහාය. දිවි බේරා ගැනීම සඳහා තමා පලා යන බවද ඒ සඳහා ලොකු වැඩ කරන පොඩි හාමුදුරුවන් කෙනෙකු කල උදව් උන්වහන්සේ පැවසුවේය.

බැංකොක් නුවර තෙක්ම උන්වහන්සේ ගුවනේදී සංවාදයක නිරත වෙමින් ලියුම්කරු සමඟ බොහෝ කරුණු කාරනා ආවර්ජනය කළේය.  අවසානයේ තමාගේ තාවකාලික නවාතැන තායිලන්තයේ සුලක් ශිවරාක්ෂගේ ස්ථානය බැවින් හැකියාවක් ඇත්නම් එම ස්ථානය සොයා ගෙන එතනට ගෙන යන මෙන් කාරුණික ඉල්ලීමක්ද කළේය. ලියුම්කරු එය ඉටු කළේය. පසුව උන් වහන්සේ ඔස්ට්‍රේලියාවට ගිය අතර පසුව උපැවිදි විය.

මානව හිතවාදී භික්ෂු සංගමයේ ක්‍රියාකාරකම් 1989 වසරේ මුල් භාගයේ අඩපණ වන විට එයට සමාන්තරව ජවිපෙ විසින් මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එය 1989 මැද භාගය වන විට එය ඉතා ක්‍රියාශීලී තත්ත්වයකට පත් විය. කැලණි සරසවියේ විද්‍යාපීඨ දෙවන වසරේ සිසුවෙකු සහ කොළඹ නීති විද්‍යාලයේ ප්‍රථම වසරේ සිසුවෙකු වූ ගැමුණු යසස් සෙනෙවිරත්න එහි සම්බන්ධීකාරකයා විය. පසුව ගැමුණු යසස්ද 1989 දෙසැම්බර් 10වැනිදා බොරැල්ලේ කොටා රෝඩ්හි ටර්නර් පාර අසළදී පැහැර ගත් අතර පසුව ඝාතනයට ලක් විය.

ලංකීය වාමාංශික දේශපාලන පක්ෂ තුළද මුලසිටම දේශපාලන භික්ෂූන් ක්‍රියාත්මක වූහ. එය 1935 දෙසැම්බර් 18වැනිදා ලංකා සම සමාජ පක්ෂය ආරම්භයේ සිට සිදුවිය. ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943දී පිහිටුවාගත් අවස්ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේද උඩකැන්දවල සරණංකර හිමිය. භික්ෂූන් සංවිධානාත්මකව විශාල වශයෙන් පක්ෂ දේශපාලනයට සම්බන්ධකරගත් වාමාංශික දේශපාලන පක්ෂය වන්නේ 1965 බිහිවූ ජනතා විමුක්ති පෙරමුණය. එහි දෙවන කැරැල්ල දියත් කල 1986/90 කාලයේදී එම කැරැල්ල තුළ සැලකිය යුතු කාර්යභාරයක් මානව හිතවාදී භික්ෂු සංවිධානය මගින් ඉටු කරන ලදී.

සොක්‍රටීස්ගේ මාවතේ පියනැගූ හිපොක්‍රටීස්ගේ දරුවෝ – භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ  1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 14 කොටස

පේරාදෙණිය සහ ‍කොළඹ වෛද්‍ය පීඨයන්හි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස පත්වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) සහාය නොමැතිව වෛද්‍ය සිසුන් හුදකලා වූහ. පසුව අන්තරේ සමඟ එක්වී අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ස්ථාපිතකර අන්තරේ සමඟ එක්වී වැඩ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරියෝ කටයුතු කළේය. අන්තරේ එකල යෂ්ටිය වූයේද අදිසි නායකයා වූයේද ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහාය.(අන්තරේට වර්තමානයේ නායකත්වය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගිනි.)

වෙද සිසු අරගලය හරහා වෙද සිසුන් 20කට පමණ 1987 සිටම පක්ෂයේ කොක්ක ගැසීමට ජවිපෙ සමත්වූ අතර තවත් වෙද සිසුන් 200කට ආසන්න පිරිසක් අන්තරේට ඉතා හිතවාදීව කටයුතු කලහ. එජාප රජයට එරෙහිව 1988 මාර්තු 07වැනිදා තීරණාත්මක සටනකට යොමුවීමට ජවිපෙ තීරණය කල අතර අන්තරේ බල කඳවුර බවට එම කාලයේදී කොළඹ වෛද්‍ය පීඨය පත්ව තිබිණි.

කොළඹ සරසවියේ පමණක් නොව පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් ගණනාවක්ද භීෂණ සමයේදී ඝාතනයට ලක්විය. ඒ අතර රංජිත් වීරසිංහ, ජයශ්‍රී උපාලි ජයසේකර, දන්ත වෛද්‍ය පීඨයේ ජයනන්දන ඇතුළු කිහිප දෙනෙක්ම වේ.

පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තුළ ඔවුන්ට අමතරව එම යුගයේ වෛද්‍ය පීඨයේ ක්‍රියාකාරිකයින් අතර රංජිත් සෝමරත්න, කමල් දේශප්‍රිය මාන්නපෙරුම(ජවිපෙ 1994 දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඔහු පක්ෂය වෙනුවෙන් වෛද්‍ය උපාධිය කැප කරමින් පූර්ණකාලීන දේශපාලනයට යොමුවිය.), කුමුදු බණ්ඩාර, චම්පා සෝමරත්න(වර්තමානයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ බිරිඳ), සතරසිංහ, දන්ත වෛද්‍ය පීඨයේ එදිරිසිංහ, සුනිල්, පශු වෛද්‍ය පීඨයේ බී. එස්. පෙරේරා වැනි අයද පෙරමුණේම විය.

භීෂණ සමයේදී පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ ගාමිණී සිසිර කුමාරගේ මුළු පවුලම 1989 ජුනි 17 වැනිදා කුලියාපිටියේ ඉඟුරුවත්ත වැවගම පිහිටි නිවසේදී ඝාතනය කරන ලදී. ඒ අතර පියා මව සහ සොහොයුරන් දෙදෙනා විය. එවැනි පසුබිමක් ඔස්සේ වෛද්‍ය සිසුන්ගේ පවුල් වෙත පවා භීෂණය පැමිණ තිබිණි.

කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය අන්තරේ ක්‍රියාකාරිකයින්ගේ තාවකාලික නවාතැනක් සහ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් හැදින්වූවාට වරදක් නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්‍රීමා ඇතුළු කිහිපදෙනෙක්ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයෙකුට විවෘත විය. බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන්ද ආගන්තුකයින්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්ථාවකදී හමුවූ එවැනි තවත් ස්ථානයක් වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ නිති ශිෂ්‍ය ගැමුණු යසස් සෙනෙවිරත්න  සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.

වෛද්‍ය සිසුවෙකු ප්‍රථම වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පද්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිසුන් 11 දෙනෙකු පේරාදෙණිය සරසවියේ පොලිසිය ඉදිරිපිටින් ගමන් කරන විට ලයනල් අලහකෝන් ශිෂ්‍යයාගේ අත පොලිස් ජනේලයක වැදීමේ සිද්දියකි පසුව එය ගාලගෝටිටියක් බවට පත්විය. රාත්‍රී 10.10ට තැබූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් වශයෙන් පද්මසිරි ඝාතනයට ලක්විය.

කොළඹ වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 09 දෙනා පමණක් නොව බොහෝ වෙද සිසුන් ලියුම්කරු සමීපව ඇසුරු කර ඇත. සමරනායක, ජයසේකර, මුණසිංහ, අබේසේකර ඇතුළු කිහිප දෙනෙක්ම ඒ අතර විය. අත්අඩංගුවට පත්වූ වෙද සිසුන් කිහිප දෙනෙක්ම පසුව නිදහස් විය.

වෙද සිසු හඬ පුවත්පත 1987 සැප්තැම්බර් මස ඇරඹූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනමතයක් රටතුල ගොඩනැගීම එහි අරමුණ විය. වෙද සිසු හඬ පුවත්පත සකස් කිරීමට දායක වූ වෙද සිසුන් හතකට පමණ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ඉල්ලීම අනුව ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ  ලියුම්කරු එක්වී මාධ්‍ය පුහුණුවක් ලබාදීමටද කටයුතු කළේය. පුවත්පත කලක් මුද්‍රණය කළේ බංගලා හන්දියේ සහ පාගොඩ මුද්‍රණාලයකදීය.

පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ විරෝධතා රැස්වීම් කළුතර සහ මීගමුව පුරහල, මහනුවර බේක්හවුස් සහ කොළඹ නව නගර ශාලාව ඇතුළු ස්ථාන 13කදී පැවැත්වූ අතර ඉන් ගණනාවකට ලියුම්කරු මාධ්‍යවේදියෙකු ලෙස සහභාගි විය. ගම්පහ වයි.එම්.බී.ඒ. ශාලාවේදී රැස්වීම අවසානයේ අස්ගිරියේ නිවසකට රැස්වී රාත්‍රී පැවැත්වූ සුහද හමුව තවමත් මතකයෙන් බැහැර නොවේ. වෙනුර, කොල්ලුරේ, වසන්ත, අතුල, සුගත් සමඟ අසල්වැසියෙකුවු ඉරිදා දිවයින විශේෂාංග කර්තෘ කරුණාදාස සූරියආරච්චිද එයට එක්වී සිටියේය.

වෙද සිසු සටනට ආධාර ලබා ගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේද එකලය. එමගින් ලක්ෂ 5ක පමණ ලාභයක් ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට ලබාගත හැකි විය. නාට්‍යය අවසානයේදී එලිවෙන තෙක් පැවති සාදයේදී සුගත් අයියා සමඟ මරාසාද් දෙබස් ඛණ්ඩ වෙද සිසූහු ප්‍රතිරාවය කරමින් සතුටු වූහ. සුගත් අයියා සමඟ බිරිද ශිලා අක්කා එහි බොහෝ වේලාවක් රැදී සිටියේ ඔවුන් දිරිමත් කිරිමට මෙනි.

අන්තරේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය 1988 මැයි 08වැනිදා බෝම්බයක් රැගෙන යන්නෙකුට අදාල ඉලක්කය පෙන්වීමට යාමේදී වැල්ලවත්ත කුරේ මාවතේදී බෝම්බය සිය අතේ පිපිරී ජීවිතක්ෂයට පත්විය. බාලසූරියගේ අවමගුල කුරුණෑගලදී තිබීමට තීරණය කලද පසුව එය සිදුකලේ මැයි 10වැනිදා බොරැල්ල සුසාන භූමියේදීය. එහි සිටියේ චම්පික රණවක සහ ලියුම්කරු ඇතුළු සුළු පිරිසකි. වෙනුර සිය වේදනාව එහිදී හඬමින් පල කළේය. සතියකට පසුව ඔහු අන්තරේ කැදවුම්කරු ලෙස පත් විය.

ත්‍රීමා විතාරණගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්ෂයකට අධික පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. එවිට වෛද්‍ය පීඨය දිස් වූයේ සටන් බිමක් ලෙසය. නීතිඥ චරිත ලංකාපුර 1989 ජුලි 07 වැනිදා ඝාතනය වූ අවස්ථාවේදී ඔහුගේ දේහයද අවසන් ගෞරවය සඳහා වෛද්‍ය විද්‍යාලයට ගෙන ආවද පසුදා පස්වරු 2.10ට ආරක්ෂක හමුදා මෙහෙයුමකින් දේහය යළි පවුලේ ඥාතින්ට භාර දෙන ලදී.

ඝාතනයට ලක්වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් 09 දෙනා පිළිබඳ විස්තර මෙසේය. කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයන් වූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම

1990 වසර මුලදීද  ලීල් සමරනායක 1989 වසර අගදී ඝාතනය කරන ලදී.

වෙනුර වර්ධිත එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. උපන්නේ 1966 සැප්තැම්බර් 08වැනිදාය. තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොහොයුරෙක් සහ සොහොයුරියකි. පියා වූ දොම්පෙ තිලකරත්න එදිරිසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව ඥානවතීය.

මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මීගමුවේදී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ කණ්ඩායමෙන් ඉහළම ලකුණු ලබාගත්තේද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනි වූයේද වෙනුරය. රාජකීය විද්‍යාලයේ 1984 වසරේදී ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙසින් අනුස්මරණ ත්‍යාගයන් 05ක් දිනා ගත්තේද ඔහුය.

නීති-වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ප්‍රථම වසරේදීම පත් විය. ක්‍රීඩකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය. අන්තරේ කැදවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මිය යන තෙක්ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කළේය. කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් ද සොයියාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට ගොස් පිටතට පැමිණෙමින් සිටියදී බම්බලපිටියේදී පැහැර ගෙන ගොස් 1989 සැප්තැම්බර් 21වැනි දින ඝාතනය ලක් විය.

සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චතුර කථිකයෙකි. දක්ෂ සංවිධායකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වූයේ නිලවරණයෙන් සියයට 85ක් ඡන්ද ලබාගනිමිනි. අන්තරේ මාතලේ දිසා ලේකම් වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 03 මාතලේදී ඝාතනය කරන ලදී.

අතුල සේනාරත්න කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකි. සාලිය නමින්ද හැදින්විය. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වෙද සිසුහඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි එකතු කිරීමට කටයුතු කළේය. වසර 1990 මාර්තු මස අත්අඩංගුවට පත්වූවද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. අන්තරේ කැදවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට මාර්තු දක්වාද 1990 මැයි සිට සැප්තැම්බර් දක්වාද කටයුතු කළේය.

භීෂණයේ දෙවන වටය ඇරඹීමට පෙර පක්ෂය සහ අන්තරේ යළි ගොඩනැගීමට අතුල සේනාරත්න කැපවී කටයුතු කළේය. මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මගින් බිදී තිබූ බොහෝ සබඳතා අළුත් කිරීමට හෙතෙම සමත් විය. පුවත්පත් නිවේදනද නිකුත් කළේ ඔහුය. කහ උණ සෑදී වැදගත් සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත යළිත් බොරැල්ලේදී 1990 අගෝස්තු 15 අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 1990 සැප්තැම්බර් 17වැනිදා ඝාතනයට ලක්විය.

සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවෙකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984දී මුළු දිවයිනේ පස්වැනි ස්ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. වෙද සිසුහඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශී කිරීමට කටයුතු කළේය. අන්තරේ කැදවුම්කරු වශයෙන් 1990 මාර්තු සිට මැයි දක්වා කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17වැනිදා අත්අඩංගුවට ගත්තද පලායෑමට සමත් විය. එහෙත් යළිත් 1990 මැයි මස කොළඹ මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඝාතනයට ලක්විය.

පද්මසිරි ත්‍රීමාවිතාරණ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. අංකුර කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ත්‍රීමා උපන්නේ අම්බන්ගොඩ කහව ගල්දූව ගමේදී 1964 පෙබරවාරි 29වැනිදාය. රොන්නදුව කණිටු විදුහලෙන්ද, වේරෙගොඩ විජයබා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලැබීය. උසස් පෙළ සමත්වූයේ ගාල්ල මහින්ද විදුහලෙනි. ඔහුගේ පියා ගාල්ල උසාවියේ සේවය කළේය. මල්ලිලා තිදෙනෙකු සහ එක් නැගනියකට වැඩිමල් සොහොයුරා වූයේ ඔහුය. ත්‍රීමාවිතාන වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වූ බැවින් මව ඇසලින් මාතාවට ලෙබනන් රැකියාවකට යෑමටද සිදුවූවාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ අන්තරේ ලේකම් වශයෙන්ද සබරගමු පළාතේ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ලේකම් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරමින් සිටියදී 1988 ඔක්තෝබර් 22වැනිදා රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලය අසලදී තවත් දෙදෙනෙකු සමඟින් පැහැරගෙන යන ලදී. පසුව ඔක්තෝබර් 23වැනිදා වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ එල්.ආර්.සී ඉඩමක තිදෙනාගේම පුළුස්සා මරාදමා තිබූ සිරුරු හමුවිය. එය රත්නපුර ප්‍රාදේශීය ජේෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි විසින් හෙළි කරන ලදී. ත්‍රිමාගේ දේහය කොළඹට ගෙන වෛද්‍ය විද්‍යාලයේ අවසාන ගෞරවය සඳහා තිබූ අතර 1988 ඔක්තෝබර් 31වැනිදා ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කනත්තේදී අවසන් කටයුතු සිදු විය.

සුගත් අශෝක ද සිල්වා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ ජේෂ්ඨ ශිෂ්‍යයෙකි. ප්‍රියන්ත නමින්ද හැදින්විය. අන්තරේ මාතර දිසා ලේකම් විය. අත්අඩංගුවට ගෙන සිටියදී පලායෑමට උත්සාහ ගැනීමේදී යළිත් අත්අඩංගුවට ගෙන 1989 ඔක්තෝබර් මසදී මාතර වැලිගමදී ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ගඟේ පාවෙමින් තිබියදී හමුවිය. ගඟ පහලදී පක්ෂයේ භූගත සඟයන් පිරිසක් විසින් ගොඩගෙන විවෘතකර අවසන් ගෞරව දක්වා නාඳුනන සොහොනක මිහිදන් කළේය. ඔවුහු ඡායාරූපද ලබාගත් බව කියති.

වසන්ත කුමාර කුලතුංග කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයෙකි. වෛද්‍ය පීඨයට සරමක් ඇඳ ගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාය. එසේම රබර් සෙරෙප්පු දෙකක් පැළඳ සායන පන්තිවලට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාද ඔහුය. පෞද්ගලික වෙද විදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්වීම් මාලාව සම්බන්ධීකරණය කළේය. දෙහිවල කටුචිකිස්සා නේවාසිකාගාරයේදී පැහැරගෙන 1989 දෙසැම්බර් 11වැනිදා ඝාතනයට ලක්විය.

තමාගේ පලමු පෙම්වතා වූ වසන්ත කුලතුංග තිරශ්චීන ලෙස ඝාතනයට ලක්වූ බව ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 04වැනිදා ඉරුදින පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ඇයගේ පියා එජාප කෘත්‍යාධිකාරි සභිකයෙකු සහ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ තිදෙනාගෙන් එක් අයෙක් වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්දය. කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් නිදහස් කර ගැනීමේදී ඉන් එක් කණ්ඩායමකට රැකවරණය සැලසීමටද ඔහු උදව් කළේය. වසර 1988 ඔක්තෝබර් 24වැනිදා නීතිඥ කීර්තිනන්ද ඝාතනයට ලක්විය. එය පතාල නායකයෙකු ප්‍රබල දේශපාලනඥයෙකුගේ උපදෙස් මත සිදුකල බවට “ගිවිඅවි සහ ගිනිකෙළි” ග්‍රන්ථයේ සඳහන්ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා කල සටන අවසානයේ නිමාවූයේ එය කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි. සොක්‍රටීස් සම්භාව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හිපොක්‍රටිස් සම්භාවනාවට පාත්‍ර වේ. දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන හිපොක්‍රටිස් ආවරණය කල තොරතුරු අදටත් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන අතර ඒවා වැඩිදියුණු කිරීම ඉකුත් දශක 50ක කාලය තුල භෞතවේදීන්ගේ ප්‍රධාන කාර්ය භාරයක් විය. හිපොක්‍රටීස්ගේ පරපුරට එක්වීමට සිටි මෙම වෛද්‍ය සිසුහු සොක්‍රටීස්ගේ මාවතේ පිය නැගූ අතර අවසානයේදී එජාප ආණ්ඩුවේ ධවල භීෂණයේ  ගොදුරු බවට පත්වී ඝාතනය විය

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2015
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: