06
අප්‍රේල්
15

සර්පයාගේ අතිශය හිරිකිත ඌරා විදීම

පුවක් වල්ල පොලේ ගැසූ පසු 19814_10205421053181157_5985154610220501617_n 11082543_10205421052461139_908764391259351102_n ඊඒපියේදී සිදුවූ සිදුවීම නිමිති කොට මා විසින් යුධ ප්‍රකාශ කිරීමක් සිදුනු ලැබිණි. ඒ වඩාත් යහපත් මානවීය යමක් වෙනුවෙන් උත්කර්ශනය විය යුතු ෆැන්ටසියක් විපරීතත්වය කරා අවරෝධනය වූ සමාජ, සංස්කෘතික, දේශපාලන හා ඓතිහාසික කාරණාවනුත්, එහිදී අපගේ වගකීම කුමක්ද යන්නත් අරභයා විග්‍රහයක් වෙනුවෙනි. එහෙත් මේ වන විට එය ගමන් කරමින් තිබෙන්නේ වෙනත් තලයකය.

මා සංවිධිත දේශපාලන ක්‍රියාකාරිත්වයක නොමැත, කිසිදු කල්ලියකට හෝ කණ්ඩායමකට අයත් නොවන්නෙක් බැවින් ඒ පිළිබඳ නිගමනාත්මක යමක් නොකියමි. එසේම එය කතිකාවක් බවට පත් කිරීම සම්බන්ධව එයට එක්වූ සැමටම ස්තූතිය පිරිනමමි. 

පළමු කාරණය වන්නේ එයට නිමිතිවූ පුද්ගලයන් පුද්ගල තලයෙන් මෙන්ම ප්‍රසිද්ධියේද සමාව ඉල්ලා ඇති බවත්, කණගාටුව ප්‍රකාශ කර ඇති බවත් අප සැළකිල්ලට ගත යුතු වගයි. මනුෂ්‍යයකු වරද පිළිගෙන සමාව ඉල්වූ පසුව නැවත එවන් වැරදි නොවීමට වගබලා ගන්නා බවට ශපථ කළ පසුව තව දුරටත් මස් රාත්තලම ඉල්ලමින් පහර එල්ල කිරීම සදාචාරාත්මක නොවේ. 

නුඹලා අතරින් පව් නොකළ යම් තැනැත්තෙක් වේද පළමු ගල ගසාපන්නැයි යේසුස් කීවේය. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබෙන බව මේ කතිකාව තුළම හෙළිදරව් වෙමින් තිබේ. මෙය නිමිති කොට ගෙන විකල්ප-බොහිමියානු-ස්ත්‍රීවාදී-පශ්චාත් නූතන ගම් පොජ්ජේ සංගායනාවක් වනවා නම් හොඳය. එහෙත් බුදුවරුන් බුදුවරියන් පහළ වන්නට පටන් ගෙන තිබේ.

ජේතවනාරාමයේ මල් අසුන පසුපසින් මල් ගොඩ අස්සෙන් මතුවූ ස්ත්‍රී මළ සිරුර සියළු ආරාමවලින් මතුවන්නට පුළුවන. අනෙක් අතින් නාගාගිරිලා මේ අව්අස්සේ රා කළ සැටක් බීවන් මෙන් දිවෙති. චිංචි මානවිකාවන් විශාඛාවන් බවට වෙස් බඳිති. අංගුලිමාලයන්ද ආලවකයන්ද ඩෙඟා නටති. බුදුකෙනෙක් පහළවී ඇති දැයි මා නොදනිමි.

 මේ විකල්ප ගම්පොජ්ජේ ගම්පාලූ කුරුල්ලන් බිජුදමා ඇත. ගම්පාලු කුරුල්ලා රාත්‍රියට ගම්පොජ්ජ උඩින් විලාප නගමින් පියාඹා යැම සුපුරුදු දසුනකි. එවිට ගමක් කා කොටා ගන්නට නියමිතය. එහෙත් එය දෛනික චරියාව වී බොහෝ කල්ය. 

කෙසේ වුව අනුන්ගේ හොදිවල මිරිස් බවට පත්වීමෙන් කවර හෝ පලක් නැත. කරපිංචා වීද අපට පළ නැත. දඬුවමක් වශයෙන් ලෝදිය කටාරමකට දැමූ විට ඇඟ සෝදා ගෙන ඉන් ගොඩ එන තක්කඞීන් බිහි කර පලක් නැත. මෙය ආඬි සත් දෙනාගේ කැඳ හැලියකි. ඒ අතරේ සංගායනා බලාපොරොත්තු වීම ලාහට ගෙම්බන් එකතු කිරීමකි. පුවක් වල්ල පොලේ ගැසූ සදිසිව ගොස් ඇති විකල්පය යළි වෑල්ඩින් කිරීමේ මුවාවෙන් අලියාගේ නැට්ටේ එල්ලී දිවිය ලෝකෙ යන්නට තැත්දැරීම ලෙහෙන් වලගින් සයුර ගොඩ ඉසින්නට තැත් කිරීමකි. පුවක් වල්ලේ ඉතිරිවූ ගොලෑ දෙක තුනත් හැලූනත් අපට නම් වගක් නැත. එහෙත් බිජ්ජ හංගාගෙන ඇට දෙකින් කෙලින වුන්ගේ මයිල් අස්සේ ඉණිකුනන් වන්නට හෝ ඇඹරෙන කුණු කෑලි බවට පත්වන්නටද අපට  ඕනෑ නැත. ගූ බෙට්ටේ ඒ කොනයි මේ කොනයි දෙකම එක වගේම ගඳ බව අපි දනිමු. 

 

බළලූන් ලවා කොස් ඇට බෑවීම් බොහෝ සිදුවෙයි. සමහරුන් මූන එක්ක තරහට නහය දැනටමත් කපාගෙනය. හැම්ලට්ට සිය පියාගේ අවතාරය දර්ශණය වී ඇත. ‘බොබොක්…. බොබොක්, හඬින් අවකාශය නින්නාදවී ඇත. 

 

මා යුධ ප්‍රකාශ කළේ බලා එල්ල හෙලා හෙල්ල මුලම බෙල්ල මරු තැනේ කියා නර බිල්ලක් ඉල්ලන්ට නොවේ. කිසිවකුට රනින් කුකුලු රුවක් පුදන්නටවත් රිදියෙන් බිජුවටක් පුදන්නටවත් නොවේ. එසේම එය ඔන්න නයා මෙන්න පොල්ල මං සිල් ආකාරයෙනුත් නොවේ. කොටින්ම පුද්ගල ත්‍රස්තවාදී, චරිත ඝාතක, මනෝබද්ධ තලයකට මෙය නංවන්නට නොවේ. සමාජ සංස්කෘතික ඓතිහාසික වශයෙන් මේ තත්වය විමසුමට ගෙනෙන්නටය. එහෙත් රැවුල ගිනි ගනිද්දී එය සුරුට්ටු පත්තු කිරීමක් මෙන් වූයේ සෑහෙන පිරිසක් සුරුට්ටු කොන් තලමින් බලා සිටි නිසාවෙනි. බොහෝ දෙනා බොරදියේ මාලු බාන්නට පටන් ගෙනය. ඌරන් තැකුණ තලනවිට ඉන් කුකුලන්ටද දැන් ජයමගුල් වන බව පෙනෙන්ට තිබේ. ඒ හබන් කුකලන් ගැන පසුව බලා ගමු. 

 

මෙයට නිමිතිවූ සිද්ධිය පසුදා උදය වන විට අංගො නැන්දාගේ දුව පැන ගියා සේ විකල්ප ගම්තුලාන පුරා පැතිර තිබිණි. ළිං ළඟ, කඩපිල්වල, දොල ළඟ, පාරතොටේ, කුස්සිවල කක්කුස්සිවල, නිදනකාමරවල, ගෙපිලේ සැවොම ජාතික ප්‍රවෘත්තියක් මෙන් පැතිර ගිය මේ කටුකුටු ගාන්නට පටන්ගෙන තිබිණි. 

 

නදීකා බංඩාර සොයුරිය ඇයට මුහුණ පාන්නට සිදුවූ සිද්ධිය සම්බන්ධව සප්‍රමාණික පැහැදිලි කිරීමක් කර ඇතැයි මා විශ්වාස කරමි. එයට විවිධ අපබ්‍රංස  ප්‍රතිචාර දක්වන්නන්ට ඇය තවත් පැහැදිළි කරන්නට යනවා නම් ඇය සිය කට ගලක උලා ගැනීම ඊට වඩා යහපත්ය. ප්‍රදර්ශනකාමී පුංචි පවුල් පැකේජ් ගෙවමින් අනෙකුන්ට උපදෙස් දෙන පත්තිනි අම්මලාගේ රෙදිවල තුත්තිරි ගැනද අපි හොඳින් දන්නෙමු. මෙයින් කිසිසේත්ම මෙම කාරණාවේදී සාධනීය ලෙස කතිකාවට මැදිහත් වූ සහෝදරියන්ව ඉඟි නොකෙරෙන අතර විවිධ කල්ලිවල උවමනාවන්ට උසි ගන්වමින්, දියයටින් ගින්දර ගෙනයමින්, දියරෙද්දෙන් බෙල්ල කපමින් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට සදන පුරුෂ අතකොළු බවට පත් කිහිපදෙනෙකු පමණක් අදහස් කෙරේ. මොවුන් මෙම කතිකාවට කිසිසේත්ම දායක නොවී වෙනත් කිරියක් කරමින් සිටිති.

 

චිත්‍රපටයේ නාමය මා සිතින් ගිලිහී ගිය එක් ඉන්දියානු චිත්‍රපටයක තරුණියක මුහුදු වෙරළෙහිදී තරුණයන් කිහිපදෙනෙකු අතින් දූෂණය වෙයි. එම ජවනිකාව විනාඩි පහක් වන් කාලයකට සීමා කරන අධ්‍යක්ෂකවරයා ඉතිරි පැය එකහමාරම උසාවිය දක්වයි. අධ්‍යක්ෂකවරයාගේ තර්කය වූයේ ඇය දූෂණය වූයේ මුහුදු වෙරළේදී නොව උසාවියේදී බවය.

 

නදීකා සොයුරියගේ සිදුවීම මෙහිදී අධිනිශ්චය වුවද බොහෝ විට මේ සිද්ධියට සර්පයා ගෑවුනේ නැත්නම් මෙය මෙතරම් තලයකට පොලා පනින්නට නොහැකි වන්නටද තිබිණි. එබැවින් අදාල සිද්ධිය පිළිබඳ මගේ පැත්තෙන් කෙටි පැහැදිළි කිරීමක් කළ යුතුය.

 

කනත්තේ අවසානයේදී ඉතිරිවූ මිතුරන් සමග මාද ඔහේ කදේ වැටී සිටියෙමි. කිසිවකුට යාමක් ගැන අදහසක් තිබුණේ නැත. දස්කොන් සහ දිනුක බීර කුප්පියක් බොන්නට මටද ආරාධනා කර යන්නට ගියේය. හර්ෂත් සමග අජිත් , මා සහ නිලන්ත කොහේ හෝ අවන්හලක සෙට් වෙමුයි කතිකා කොට ගෙන තිබුනත් එතැනින් ගැලවී යන්නට, අනෙකුන් දමා යන්නට නොහැකි විණි. මා සිතන්නේ අප විස්සකට ආසන්න කොල්ලන් කෙල්ලන් ප්‍රමාණයක් කනත්ත ළඟින් පහළට ගොස් රේල් පාර අයිනේ පැල්පත් කඩයකින් රේල්පාර දෙපසත් පීලි උඩත් හිඳ තේ බීවෙමු. සිගරට් ඉරුවෙමු. විවිධ කල්ලිවල විවිධ නියෝජනයන් එහි විය. එහෙත් අප සියල්ලන් භුක්ති වින්දේ එකම දෙයකි. ඉස්කෝලෙ කාලේ වල බහින විට ලද මේ විකල්ප ගම් තුලානේ බොහෝ දෙනෙක් නොලද ප්‍රමෝදයයි. 

 

ඉන්පසු කළවර වැටෙද්දී  අපි භූමිතෙල් කරත්ත මෙන් තැනින් තැන නැවතෙමින් යළි මහ පාරට ආවෙමු.

 

එතැනින් තුම්මුල්ල දෙසට යන පිරිසකුත් රාජගිරිය දෙසට යන පිරිසකුත් වෙන්ව ගිය පසු ඉතිරි වූ අප සැවොම ටිකල් පාරදිගේ බොරැල්ලට ආවේ සමුගන්නටය. එහෙත් අජියා දමා සමුගන්නට මටත් මා ආ යුතු ඉසව්වට එන නිලන්තටත් නොහැකි විණි. අජිත් සමග ජගත් සොයුරාගේ හා නදීකා සොයුරියගේ නාට්‍ය කණ්ඩායමේ සගයනුත් විදර්ශන හා ප්‍රභාතුත් විය. මේ වෙන්ව යන්නට බැරි පාසල් වියේ වලක ප්‍රමෝදය අපව ඊඒපියට ගාල් කළේය. එතැනදී සිදුවූ අප ඉවසූ ආක්‍රමණය වන තෙක් අප විහිලූ තහලූ කරමින් ආගිය කතා කියමින් සිටියා මිස බරපතල කිසිවක් කතා කළේ නැත. කොටින්ම කනත්ත ළඟින් සමු ගැනීමට පෙර අප ට්‍රිප් එකක් යමු යැයිද මා යෝජනා කළ අතර සියල්ලන් එයට එකපයින් එකඟ වූහ. 

 

එකිනෙකාට තම තමන්ගේ පාරවල් ඇති, තම තමන්ගේ අදහස් කිල්ලෝට ඇති පිරිසක් මිස එතන කල්ලියක් නම් නොවීය. 

 

වචන විශ්වාස නොකරන්නේ යැයි යන්න මත නිලන්ත සමගත්, පිචින් අවුට් කීමේ පේටන්ට් අයිතිය ගැන අජිත් සමගත්, මගේ ඩිග්‍රිය විමසා මා කර ඇත්තේ මොනවාදැයි යන්න හා විදර්ශනට කිසිදු ස්කිල් එකක් නැතැයි යනුවෙන් ටලන්ට් ෂෝ සික්ල් ටෙස්ටර් තැනකින් කළ ප්‍රකාශය සමගත් චාපා සමග ගැටුමක් මතු විණි. 

 

සිතන්නට වචන  ඕනෑ යයි යන පශ්චාත් නූතන හෝ ලකානියානු හෝ පව්ලෝවියානු දෙවන සංඥාපද්ධති කතාන්දර කෙසේ වේවා මා දකින්නේ වචනවලින් මිනිසාගේ සිතීම වළක්වන බවයි. විට්ගන්ස්ටයින්ගේ විදිහට මා භාෂා හරඹ, භාෂා උගුල, සිරගෙය, මෙන්ම භාෂාව නිවාඩුවකට හැරීම ඊට වඩා විශ්වාස කරමි. කෙසේ හෝ කසින් කස් බෝවේ බසින් බස් බෝවේ යන්න සෑම තැනකටම අදාල බව මම දැඩිව අදහමි. එක් අභූතරූපී නාට්‍යයක මහාචාර්යවරයකුට ජීවිතයේ සැඳෑසමයේ තමා විසින් කළ දේශනයක හඬ පටයක් හමුවේ. එය ඇසූ මහාචාර්යවරයාට තමා කියා ඇත්තේ කුමක්දැයි කිසිසේත්ම වටහා ගන්නට නොහැකිවේ. එහි තමා කතා කර ඇති වචන කිසිවක් ඔහුට නොතේරේ. එහෙත් භාෂාව නිසා උජාරුවෙන් තම තමන්ගේ පැල්ලසයන් සහ ඉගෝවන් පුම්බාගෙන සිටින මේ පශ්චාත් නූතනයන් මෙයට නිෂේධනාත්මක ප්‍රතිචාර දැක්විය හැක. 

 

අජිත් පිචින් අවුට් පේටන්ට් ගැන තමන්ගේ උගුරවල්වල කඩ නොව ගණිකා මඩම් දමා ගත් යුධ සමයේ යුධාභිමානය ”රොක්” කිරීමෙන් දෙමළ ලෙයින් පිසූ බත් කෑ අයට උත්තර දෙනවාද නැද්ද යන්න ගැන ඔහුගේ ගැටළුවකි. 

 

මගේ ඩිග්‍රිය ගැන මට කියන්නට ඇත්තේ මට කිසිදා එවන් සිහිනයක් නොතිබුණු වගයි. උසස් පෙළ විභාගය 21 වනදා පටන් ගන්නට තිබියදී මා 15 වනදා මගේ පහළ පංතිවල සිටි චන්න දේශප්‍රිය ඇතුළු මිතුරු පිරිස සමග නාට්‍යයක පුහුණු වීම් එසේ වී නම් අරඹන්නේ නැත. පාසල යනු මට ගෙදරින් එලියට එන්නට අම්බලමක් පමණක් විය. එක් විෂයයක ප්‍රශ්න පත්‍රයක මුල් කොටසට පිළිතුරු ලියා සෙන් ජෝන්ස් එක ඉදිරිපිට කඩපිලේ දුමක් දාන විට මම මෙට්‍රෝ එකේ බිත්ති හතර තිබෙනු දුටුවෙමි. නැවත විභාග ශාලාවට නොගිය මා පාර පැන චිත්‍රපටය බලන්නට ගියෙමි. චිත්‍රපටය පටන් ගන්නා තෙක් පැය තුනක් ෂෝ කාඞ් බලමින් සිටියෙමි.

 

කේමදාසගේ සංගීතය ගැන අජිත්, මනු, දීප්ති, නිහාල් සහ මා ප්‍රශ්න කරන්නට ගන්නේ දශක තුනකට පෙරය. එහෙත් කේමදාස මොකෙක්ද, කළේ මොනවාදැයි යන ආකාරයෙන් නොවේ. වෙනත් සන්දර්භයකිනි. කේමදාස ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පසෙක ලා විභාග ශාලාව දෙවනත් වන්නට බටනලාව පිඹ තාප්පයෙන් පැන ගෙදර ආවේය. අජිත් තරම් බරපතල ලෙස කේමදාසව අපහසුවට පත් කරන ප්‍රශ්න නැගූවෙක්, තාප්පයට හේත්තු කළ කිසිවෙක් නොවූවත් අජිත් කිසිදා කේමදාසගේ ඩිග්‍රිය හෝ සුදුසුකම් ඇසුවේ නැත. එහෙත් දැන් දැන් පළමු වසරේ විභාගයට කොපි කර අසුවී වසර තුනක් විභාගයට පෙනී සිටීම තහනම් කොට තිබූවන් අනෙකුන්ගෙන් ඩිග්‍රිය අසන්නට පටන් ගෙන තිබේ. 

 

අජිත්ගේ සංගීතය සංගීතයද ඇසුවා මෙන් මේවා කව්ද, මේවා නාට්‍යයද, ඩ්‍රාමා නෑ, මේවා ඉතිහාසෙ ප්ලේස් වෙන්නෙ කොහේද වැනි ප්‍රශ්න අසන සෞන්දර්යවේදීන් ඉදිරියේදී පහළ වීමට නියමිතය. නූතන කලාවන් හෝ ප්‍රතිකලාවන් කලාව නොම වන කලාවන් ගැන අබමල් රේණුවක් නොදත් බාලයන් පසන් නික්ම ගිය පසු එන්නට පටන් ගෙන තිබේ. අහෝ පසන්….  නුඹගේ රික්තය දැන් හොඳින්ම පෙනෙන්ට අරන්ය. 

 

දෙවනුව මා කර ඇත්තේ කුමක්ද යන්න ගැන ඇසීම ගැන නම් මම චාපාට ස්තූතිවන්ත වෙමි. එය මා මගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. එයට පිළිතුරු මා දිය යුත්තේ මා කරන්නට සිහින මවන, සැම විටම එදිනෙදා ජීවිතයේ පටලැවිලි හා දුක්ඛ දෝමනස්සයන් නිසා අතපසු කරන, කළ යුතු දෙයට උර දීමෙනි. එහෙත් මා කිසිවක් කර නැති වුවත්, කිසිවක් නොකොට මේ දැන් හුස්ම පොජ්ජ වා තලයට මුහු වුවත් මට නං වගේ වගක් නැත.

 

එහෙත් මගේ ජීවිතයේ මා මුහුණ දුන් දුර්ස්වප්නකාරී ඛේදවාචකයේදී මා බලන්නට ආ, මට සවිය දුන් ද්‍රව්‍යමයව උපකාර කළ සියල්ලන් මා වෙනුවෙන් දැක්වූ ඒ සෙනෙහස වෙනුවෙන් මා යමක් කළ යුතුය. ඒ විශ්වාසය රැකිය යුතුය. එබැවින් මම ලියමි. 

 

විදර්ශනගේ ස්කිල් එක ගැන ඔහු උත්තර දෙනවාද, තමන්ගේ ස්කිල් පෙන්වනවාද යන්න ඔහු සතුය. නමුත් මා අතිශයින් කෝප ගැන්වූයේ එයයි. අප මාලූන්ට ගස් නගින්නැයි අභියෝග කරන්නේ නැත. ගස් නගින මාලූවන්ද සිටිති. එහෙත් ඒ අතිශය දුර්ලභයහ. නමුත් අප පාරේ සිටින යාචකයකුවවත් එසේ අවතක්සේරු කරන්නේ නැත. 

 

මා සම්බන්ධයෙන් වන චෝදනාවක් වනුයේ මා කබ්බන් ෆෝම් කරනවාය යන්නයි. පෙරවදන්, පසුවදන්, පසුපිට වැකි, දේශන, විචාර ලිපි වැනි දේවලින් මා මෙය කරන බව බොහෝ දෙනා කියති. අපට කලින් වූ පරපුරේ ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි නිර්ප්‍රභූ ගතිකයක් එහි තිබෙන බව ඇත්තය. එහෙත් මගේ වැඩක් කර ගන්නේ නැතිව කළ මේ විචාරවලින් අන්තිමේ සිදුව ඇත්තේ අලූත් ප්‍රභූ පන්තියකට ලැයිසන් දීම ඇතුළු බොහෝ නරක ආදර්ශාවලියකි. ඒ වෙනුවෙන් සමාව යදින අතර යළිත් එවැනි දෑ වෙනුවෙන් මගේ කාලය සොරා නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. 

 

ඇච්චො බැච්චො එක්ක කරේ අත දා ගැනීම, එකට සිගරට් බීම, ගෝලයොත් එක්ක බාර් එකට රිංගීම වැනි බොහෝ චෝදනා මට තිබේ. මා සේවය කළ ආයතනවල සිකියුරිටිටත්, ඩ්‍රයිවර්ටත්, සභාපතිට හා අධ්‍යක්ෂකටත් යන සියල්ලන්ටම මචං කී, ඔවුනගෙන්ද එසේ ඇමතුම් ලද මට මේ වියරණය නොතේරේ. මැරෙනකං එසේ ඉන්නට මා කැමතිය. මට සර් කියන විට මා මල්ලි, මචං කියන්නේ බොරුවකට නොවේ. මට මා වැඩිහිටියකු යැයි සිතෙන්නේම නැත. මගේ ජීවිතය ඇඞ්වාන්ස් ලෙවල් කාලේ වලෙන්, මහරගම ප්‍රායෝගිකේ චන්නලා, රංජිලා, ආනන්දලා, දයන්තලා, රංජනීලා සමග වූ නාට්‍ය පුහුණුවක නැවතී ඇත. 

 

කෙසේ වුවත් මට වැඩිහිටියකු වන්නැයි ඉල්ලා තිබේ. ඉතින් මට අවසර…

 

එහෙත් වැඩිහිටියකු වන්නට පෙර වැඩිහිටියන්ගෙන් මා අසා ඇති යමක් වැඩිහිටි ඔබට මතක් කර දෙමි. 

 

වඳින්න වඳින්න ගහන මිනිසා මෙන්ම ගහන්න ගහන්න වඳින මිනිසාද මෝඩයෙකි.

 

එබැවින් මේ නරි නාටකය නවතා අප විද්‍යාමානය විනිවිදිමු. නැතිනම් අප දායක වනු ඇත්තේ ථෙරවාද විශුද්ධි මාර්ගයත්, චූලවංශික මතවාදයත්, මිෂනාරිකරණයත්, කුහක වමත් විසින් ගෙනා ගං කබර සදාචාරවාදයෙන් ස්ත්‍රීවාදී හැලියක කබරතෙල් හිඳීම කෙරේය. මේ නිමිති කොට සංගායනාවක් වන්නේ නම් යෙහෙකි. එහෙත් පුවක් වල්ල පොලේ ගසා ඇත. බුදුවරුන් කුළල් කා ගන්නා බැවින් සංගායනාද විහිළුවකි. 

 

තීන්දුයි නිවාරණයි කියන්නට මට බැරිය. මෙය දැන් අපගේ වෙන්දේසියක් නොවේ. එහෙත් ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියන්නට සිදුව ඇත. අපේ පසින් කංකාරිය අවසන්ය. දිවිදෝසය සමහන් නැති බව ඇත්තය. ඌරා විදමන කොච්චිකඬේ ඌරා කැපිල්ලක් වන එක අතිශය හිරිකිතය. 

 

එබැවින් 

 

සමාව ඉල්ලූ තැනැත්තන්ට එය දෙනු ලැබ ඇත්තේය. 

 

-සර්පයා 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2015
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: