Archive for මාර්තු 20th, 2011

20
මාර්තු
11

බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්: රොන් අයියා ලි‍යයි…

http://www.seegiri.com

බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්:

මා මරා දැමූ අයුරු නුඹලා හරිහැටි දන්නවාදැයි මම නොදනිමි.

මට වෙඩි තබා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට මා වීසි කෙළේ ඒ වන විටත් මගේ හදවත ගැහෙද්දී බව නුඹලා දන්නවාදැයි මම නොදනිමි.

ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟන්නට මා ගත් වෙහෙස විඳි දුක් වේදනා සහ අවසාන මොහොතේ මා විඳි වද වේදනා ගැන නුඹලා දන්නවා දැයි මම නොදනිමි.

එකල අපි පාන් කාලක් ප්ලෙන්ටි වීදුරුවක පොඟවා බඩ පුරවාගෙන තැනින් තැනට… ගමින් ගමට… සෙරෙප්පු දෙක ගෙවී කෑලි හැලෙන තුරු ඇවිද්ද හැටි නුඹලා දන්නවාදැයි නොදනිමි.

අපේ සහෝදරවරුන්ගේ කන්වලට කාබන් පෑන් රිංගවූ හැටි නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ගුද මාර්ගයෙන් කටු කම්බි යවා කරකැවූ හැටි නුඹලා දන්නවාදැයි නො දනිමි.

ඒ වද වේදනා ඉවසාගත නොහැකි ව කන් සිදුරුවලින් ලේ ගලද්දී ගුද මාර්ගයෙන් ලේ ගලද්දී ඒ සහෝදරවරුන් කෑ ගැසූ අයුරු නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

උපතිස්ස ගමනායක සහෝදරයාට වද දෙන මොහොතේ ඔහු නැඟූ හඬ නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

බටලන්ද වධකාගාරයේ බිත්ති අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් වී රත් පාට වූ අයුරු නුඹලා දුටුවේදැයි මම නොදනිමි.

පේරාදෙණිය සරසවි බිමෙහි අපේ සහෝදරවරුන්ගේ ‘ඔළු’ පෙළට තබා තිබුණු සැටි නුඹලා දැක ඇද්දැයි මම නොදනිමි.

සහෝදරවරුනි…. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නුඹලා ද තල්ලු කරගෙන මේ ගමන් කරන්නේ බටලන්ද වධකාගාරය පසුබිමෙහි සිටි ඝාතකයන්ගේ ඔඩොක්කුවට නොවේදැයි සිහිපත් කරන්න.

මාත් ගමනායක සහෝදරයාත් විඳි වේදනා අමතක කරන්න. එහෙත් බටලන්ද වධකාගාරයේ බිත්ති පුරා විසිරුණු අපේ සහෝදරයින්ගේ “ලේ” ඔබලාට අමතක කළ නොහැකි ය. ඒ ගැන සිතන්න. ඔබේ වර්තමාන නායකයන් ඔබ තල්ලු කරන්නේ අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් අත් දෙසට නොවේදැයි මොහොතක් සිතන්න.

මොහොතකට මා අමතක කරන්න, ඩයස් මුදලාලි නමින් වෙස් වලාගෙන සිටියදී කුදලාගෙන ගොස් අමු අමුවේ ගමනායක සහෝදරයා මරා දැමූ පක්ෂයක් දෙසට නුඹලා තල්ලු කර ගෙන යන බවක් නුඹලාට නොදැනෙන්නෙහි ද?

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියා කෙනෙක් නැත. නුඹලාට පෙන්වන නිර්පාක්ෂික අපේක්ෂකයා වට කොට සිටින පුද්ගලයන් ගැන යළිත් වරක් සිතන්න.

මම ආයුධ සන්නද්ධ අරගලය අත් හැරියෙමි. මම ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අවතීර්ණ වූයෙමි. එහෙත් මම මගේ පෙරමුණ අත් නොහැරියෙමි.

අපේ ව්‍යාපාරය වෙනුවෙන් ස්වාධීනව තරග කිරීමට තරම් ආත්ම ශක්තියක් මට තිබිණි. මම අපේ ව්‍යාපාරය සමග එක්වී සිටි තරුණ පරපුර අතරමං කොට දුෂ්ට කල්ලි පසුපස නොගියෙමි.

ආත්ම ගෞරවය රැක ගනිමින් මම ස්වාධීනව තරග කෙළෙමි.

අපේ සහෝදරයන් මරා දැමූ දුෂ්ට කල්ලිවල ඔඩොක්කුවට වැටෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ජරාජීර්ණ වී තිබීම ගැන කනගාටු වෙමි.

එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් මරා දැමූ හැට දහසක් පමණ තරුණ තරුණයින්ගේ ශාපය නුඹලාගේ නායකයන් වෙත එල්ල වනු නියත ය.

පාන් කාලක් ප්ලෙන්ටී වීදුරුවක පොඟවාගෙන කමින් ගොඩනංවන ලද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින් සුඛෝපභෝගී පැජරෝවලින්, කාර්වලින්, වෑන්වලින් බැස පය තබන්නේ සහෝදරවරුන්ගේ ලේ පැල්ලම් මත බව සිහිපත් කරන්න.

දුෂ්ඨ කල්ලියක ඔඩොක්කුවට වැටෙන්ඩ එපා සහෝදරවරුනි!

මම….

රෝහණ විජේවීර

Advertisements



අනවශ්‍ය දේවල්

  • 171,246 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements